නව කවි මංජුසාවක බහාලූ ස්ත්‍රීවාදී සමාජ කියවීමක අරුමයැ “වැස්සක වෙස් අරන්”

Share post:

ශ්‍රීලාංකේය සාහිත්‍යයේ අයාලේ ගිය සාහිත්‍ය ප්‍රකාරය අතර වර්තමාන නවකතාව හා කවිය ඉදිරියෙන්ම තිබෙන බව නොකියාම බැරිය.එහෙයින්
නවකතාකරුවන් , නවකතාකාරියන් සමාජයේ කෙතරම් සංඛ්‍යාවක් සිටිත්ද ඊට වඩා දෙගුණයකින් හෝ තෙගුණයකින් සමන්විත සංඛ්‍යාවක් කවියන් හා කිවිඳියෝ සිටිති. බැලූ බැල්මට නම් මෙය සාධනීය ලක්ෂණයක් ලෙස යමෙකුට පෙනුනද මා එහි දකින ප්‍රධාන අසාධනීය ලක්ෂණය නම් පවතින දේශපාලන, සමාජීය හා ආර්ථික පසුබිම හෝ මානව ජීවිතයේ විවිධ සංවේදනා හෝ තම නිර්මාණ අනුභූතීන් ලෙස ගෙන ඒ පිළිබදව කිසියම් වූ ගැඹුරු කියවීමක් කිරීමට සමත් නිර්මාණකරුවන් කීයෙන් කීදෙනකු ඒ අතර ඉන්නවා ද යන්නයි. ඊට බලපාන ප්‍රධාන කාරණාව නම් මෙම සාහිත්‍ය ප්‍රකාර දෙක පිළිබඳව කිසියම් වූ
න්‍යායාත්මක කියවීමක් හෝ ස්වයංධ්‍යනයක් ඔවුන් බහුතරයකට නොමැති වීමයි.

මෙම කාරණාවට ප්‍රධානතම හේතුකාරණාව වනුයේ වර්තමාන බොහෝ දෙනෙකු සාහිත්‍යකරණයේ , එහිලා නවකතාකරණයේ හා කාව්‍යකරණයේ නිරත වනුයේ තමාට “සමාජී පෞරුෂයක්” ( A Social Personality ) සාදාගැනීමට ඇති තදබල උවමනාව හෝ අවශ්‍යතාවය මත බව පෙනේ. එසේ නොඑසේනම් තමාට සමාජයේ රූපාන්තරණය වීමට අවශ්‍ය මෙවලමක් වශයෙනි. එය වර්තමානයේ එක්තරා රැල්ලක් බවට පත්ව ඇතැයි කියා යමෙකුට තර්ක කිරීමට පුලුවනි. මේ නිසාම න්‍යායාත්මකව ගැඹුරු කාව්‍යකරණය ඔවුන්ගේ අවබෝධයට අනුව සරල යැයි සිතා බොහෝදෙනෙකු එහි නියැලීම වර්තමාන ශ්‍රීලාංකේය කවියේ ඕලාරිකත්වයට හා පිරිහීමට හේතුකාරණා වන්නේ ය.

එවන් වූ වටපිටාවක් හමුවේ වුවද අපට අතරින් පතර ප්‍රතිභාසම්පන්න ලේඛක ලේඛිකාවන් ද මෙහිලා සාකච්ඡා කරන සාහිත්‍ය ප්‍රකාරයට අනුව කවියන් හා කිවිඳියන් කීපදෙනෙකු හෝ හමුවීම මහත්වූ සොම්නසට කාරණාවකි. මෑත කාලීන මට හමුවූ කවියන් හා කිවිඳියන් අතර “කිවිඳියක” යැයි කටපුරා කිවහැකි ප්‍රතිභාසම්පන්න තුරුණු කිවිඳියකි, නයෝමි අමරසිංහ කිවිඳිය.

මැය තම දිවිගමනේ දී ගැහැණියක් , බිරිඳක් හා මවක වශයෙන් මුහුණදීමට සිදුවන අපමණ බාධක හා ගැටලු මධ්‍යයේ කවිය තම කලා ( සමාජ ) ප්‍රකාශනය කොට ගනිමින් මෙතෙක් පැමිණි ගමන්මගෙහි එක් සුවිශේෂී සංධිස්ථානයක් පසුගියදා සනිටුහන් කළාය. එනම් ඒ තම කුළුදුල් කාව්‍ය සංග්‍රහය “වැස්සක වෙස් අරගෙන” – 2025 යන නමින් එළිදැක්වීමයි.
මෙම සටහන මෙතැන් සිට වැස්ස වෙස් අරගෙන යන කාව්‍ය සංග්‍රහය කියවීම
වෙනුවෙන් වෙන්වේ.
.
සැබවින්ම කවිය යනු කුමක්ද ?

කවිය පිළිබඳව විශ්ව සාහිත්‍යයෙහි වූ අප්‍රමාණ නිර්වචන අතුරෙන් මා වඩාත්ම ප්‍රියකරන නිර්වචන කීපයක්ම තිබේ. එයින් ද මා වඩාත්ම ප්‍රියකරන නිර්වචනය නම් .. ඇමෙරිකානු ජාතික විශිෂ්ට කවියකු වූ රොබට් ෆ්‍රොස්ට් ( Robot Frost : A American Great Poet/ 1874 – 1963 ) වරක් ප්‍රකාශ කරන ලද”කවියෙහි රුව-ගුණ කවියාට කිව හැකිනම් එය කොතරම් දෙයක් ද “යන්නයි.
එය සැබෑය. භාෂාව තම ආත්මය කොට ගත් ජීවිතානුභූතික ප්‍රබල භාව ප්‍රකාශනයක් වන කවිය ( කාව්‍ය ) කාව්‍ය වින්දකයාගේ හදවතේ ගැඹුරුතම ස්ථානයන් ස්පර්ශ කොට ඔහුට විශ්මයත් , චමත්කාරයත් එසේම ජීවිතාවබෝධයත් රැගෙන එන සුවිශේෂී
භාෂාමය මෙවලමක් වන්නේ ය. එබැවින් කවිය අන්‍ය‍ය සාහිත්‍ය ප්‍රකාර අතර සුවිශේෂී වූ නිර්මාණය පරිචිතයක්
වන අතර එහි රුව – ගුණ කවියාට වුවද කියනු බැරිය .

කවිය භාෂාව ආත්මය කොට ගත් ජීවිතානුභූතික් ද ? තවත් ආකාරයකින් විග්‍රහ කලහොත්

කවිය වූ කලී සංවේදනාවේ භාෂාව යැයි කිවහැකි ය. එහිලා කවියාගේ සංවේදීත්වයෙහි ප්‍රබලත්වය ඔහු භාවිතා කරන භාෂාවේ අපූර්වත්වය මත රඳා පවතින්නේ ය. තම කාව්‍ය නිර්මාණයට වස්තු විෂයය වන්නේ කුමක් වුවද , කවියා විසින් එය කාව්‍යයාත්මක ප්‍රකාශනයක් ලෙස ඉදිරිපත් කිරීම සදහා භාෂාව භාවිතා කරන ආකාරයෙහි රම්‍යතාවය,. මටසිළුටුභාවය හා ප්‍රබලත්වය යනාදිය අතිශයින්ම වැදගත් වන්නේ ය. එමගින් වහණය වන්නා වූ විචිත්‍රත්වය නිසා එකී නිර්මාණ කවියක් ලෙස රසික හදවත් ආමන්ත්‍රණය කිරීමට නිතැතින්ම සමත් වන්නේ ය.
කවියා විසින් කරන ලද කාව්‍ය ආමන්ත්‍රණය වඩාත්ම අර්ථපූර්ණ වනුයේ කාව්‍ය වින්දකයා ලබාන්නා වූ වින්දනය – ආශ්වාදය සමගින් ඔහු ලබන්නා වූ ජීවිතාවබෝධයේ සහානුභූතික ධාරිතාවෙහි පෘථුලත්වයෙහි ධාරිතාවට අනුව ය. එහිලා කවියා විසින් විචිත්‍රණය කරන්නා වූ භාව ලෝකය සමග ඒකාත්මික වීමට හෝ සම-වැදීමට කාව්‍ය වින්දකයාට හැකිවනුයේ ඊට ඇති ශක්ති ප්‍රභවය අනුවය . භාව හා ස්මෘති මානව ජීවිතය සමගම අවියෝජනීයව බැඳී හෝ වෙලී පවතී. එබැවින් නිර්මාණාත්මක කාව්‍ය මගින් වහණය වන්නා වූ හෘද සංවාදය ( භාව භාෂණය ) මානව ජීවිතයේ විවිධ සංකීර්ණතාවයන්, විවිධ චමත්කාරයන් හා විවිධ මනෝභාවයන් ස්පර්ශ කිරීමට
හැකිවනුයේ ඊට ඇති හැකියාව මතය .

කවිතාව සතු කිවිඳියකගේ ස්ත්‍රීවාදී සමාජ කියවීම කෙබඳුද?

වර්තමානයේ ආධුනික කවියකු හෝ කිවිඳියකට තම කාව්‍ය නිර්මාණයක් ( කාව්‍ය සංග්‍රහයක් ) ප්‍රකාශයට පත් කරගැනීමේ දී මහත්වූ දුෂ්කරතා – අභියෝග රාශියකට අනිවාර්යයෙන්ම මුහුණදීමට සිදුවන්නේ ය. මූල්‍ය වටිනාකම මත සියල්ල තීරණය වන පාරිභෝගික සමාජයක් තුළ යහමින් වියපැහැදම් කිරීමට මිල-මුදල් ඇත්නම්

යටකී අපහතාවයන් බොහෝ සෙයින් අවම කරගැනීමට හැකියාව ඇත්තේ ය. මක්නිසාදයත් ඒ වර්තමානයේ මූල්‍ය හා සමාජ සම්බන්ධතා.පමණක් තම ආභරණය කරගෙන කිනම් හෝ නිර්මාණයක් එළිදැක්වීමට ඕනෑම අයකු සමාජ වාතාවරණයක් නිර්මාණය වී ඇති බැවිනි.
එවන් සමාජ වාතාවරණයක් හමුවේ වුවද තමා හමුවට පැමිණි අනේක දුෂ්කරතාවයන් කෙසේ හෝ ජයගෙන තමාගේ කුළුදුල් කාව්‍ය සංග්‍රහය නමෝවිත්තියෙන් සමාජගත කිරීමට කිසිවෙකුට හැකිනම් එය බෞද්ධ දර්ශනයට අනුව එක්තරා පුණ්‍ය-මහිමයකැයි සිතේ. එවන් වූ පුණ්‍ය- මහිමයක් හිමි නයෝමි අමරසිංහ කිවිඳියගේ මෙම ආගමනය වර්තමාන කවියට පෙම්බඳන සුවහස් කාව්‍ය වින්දක සමාජයේ අමන්දානන්දයට හේතුවන බව මෙහිලා සදහන් කරනු කැමැත්තෙමි.

එපරිදි “වැස්සක වෙස් අරන්” කාව්‍ය සංග්‍රහය රැගෙන අප හමුවට එන්නී නයෝමි අමරසිංහ කිවිඳිය යි.

“වැස්සක වෙස් අරන්” කාව්‍ය සංග්‍රහයට ඇතුළුව ඇති කාව්‍ය සංඛ්‍යාව තිස්අටකි ( 38 ) කි. එහිලා එකිනෙකට වෙනස් වූ කාව්‍ය අනුභූතීන් එහි සෑම කාව්‍යයක් තුළින්ම ගෙනහැර දක්වන කිවිඳිය සමස්‌තයක් වශයෙන් ස්ත්‍රිවාදී සමාජ දෘෂ්ටිකෝණයකින් අප අවට සමාජය කියවීමට ගන්නා ලද උත්සාහය මගේ
විශේෂ අවධානයට ලක්වූ කාරණාව වන්නේ ය . එය කිවිඳියගේ වචනයෙන් කියන්නේ නම් උස් මිටි විෂමතා කවියෙන් ඇහිඳිමින් ….
නයෝමි අමරසිංහ කිවිඳියගේ සුවිශේෂත්වය වනුයේ තම සමාජීය අත්දැකීම් ඒ ආකාරයෙන්ම ගෙන ඉදිරිපත් කරනු වෙනුවට ඒවා සියුම් ලෙස තම පරිකල්පනය ගෙන එතුළින් කිසියම් වූ ගැඹුරු දේශපාලන හා සමාජ කියවීමක් කිරීමට උත්සුක වීමයි. එහිලා ඇය පසුගිය කාලවකවානුව පුරාම වාමවාදී දේශපාලන ක්‍රියාකාරිණියක් වශයෙන් මෙරට මෙතෙක් පැවත ආ මජර හා පාදඩ දේශපාලන ධාරාව හා එමගින් නිර්මිත දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට ගත් උත්සාහයේ රිද්මය ඊට වෙසෙසින්ම අඩු-වැඩි වශයෙන්
සම්මිශ්‍රණය වී ඇතැයි සිතේ.

මෙහි අන්තර්ගත කාව්‍ය කීපයකින්ම කිවිඳිය විසින් කිසියම් වූ ( සමාජ ) දාර්ශනික සමාජ චින්තාවක් මතුකර දැක්වීම උත්සුක වන බව පෙනේ. ඊට පහත සදහන් කාව්‍යයන් කදිම උදාහරණය වන්නේ ය.

  1. කවිවර පියාපත්
    අම්බරුවෙක් කෙවිටි
    පහරින් රිදුණු තැන
    ගින්දරකින් දැවුණු කෝවක් මැදට පැන
    සම්බලයක් හැදෙන මිරිසක් කෙටෙන වන අන්දරයක් මැදින් කවියක් ගනිමි කැණ
    කළුවර කපා ගෙන කරගැට පිරිමදින
    වරුවක් දිගාවී සී පදයට වඩින …..

6.නාරි
කදා වළලුත් විකුට දරු රැක
පටචාරා තනිව මහ මග
වනේ ගොර සපුනෙකුට බිය වැද
දිසාලා මග බලයි සසලව …..

8.සෙල්වරාණි
බංගලාව ළග
රබර් ගස් මණ්ඩිය
ඊයේත් මුළු රෑම
වැස්ස බදු අරන්
කන්ද උඩ ලැයිමේ ඉඳන්
ඇගේ කෙසඟ දරු පැටවු
අඩි පාරට දුවන් එන්නේ
මං ගේන ලැවරිය කන්න
කිරි ගහේ කැපුම දිගේ
රබර් කිරි ගලනවා වගෙයි …..

  1. රචනා පාඩම
    වේවැල් අරන් විමසන්නට හැදූ විගස
    දරුවක් පොත් ගණන් ,
    යැයි කීවෙන් සැරට
    උඩ ගොස් බීම වැටුණි වේවැල් හීටිවනම
    බැස යමි උන් ළගට දැන් කාගෙද වරද ..

21.පසු වෛද්‍ය පැමිණෙයි
ජීවිතයක් ලදුව මිහිපිට අවැසි වුණු
මූලික අයිතියද මිනිහම .උදුරාගෙන
අහසක විසල් සෙවණෙහි
මට ඉතිරි වුණු
යායක තණ නිල්ල කෝ රුපියල්ම වුණු

25.වසන්තයේ මල් විලකදී භමුවන්න
සංකා තැවුල් අතුරා ජීවිත බිස්සේ
නිදිකුම්බා පවා කටු මත මල් ඉස්සේ
හංගා අවුල් සහගත මුල් පස අස්සේ
කොට්ටම්බා වියන හෙවණක්
දෙයි වැස්සේ

29.ඇඳ හැලෙමි අලුත් වැස්සක්ව
අප්පච්චිත් අන්න ඇවිල්ලා
ලියැද්දෙන් ගොඩට
අහසටත් වඩා අන්ධකාරයි
ඒ මුහුණ

( මතු සැබැඳේ )

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

Related articles

යුක්තිය නොදැකම මිය ගිය මනෝරානී..

එක්තරා මිනිසෙකු කොවුලෙකු මරා සිය පිහාටු ඉවත් කල පසු කන්නට ඉතිරිව ඇත්තේ ඉතා කුඩා දෙයක් බව ට දැන...

තවත් කළු ජනවාරියක් අවසන් : පෝද්දලගේ ෆයිල් මිසින් – ලසන්තගේ සැකකරුවන් නෑ – ප්‍රගීත්ගේ තොරතුරු දෙන්නෑ – විමර්ශනයක්වත් නැති අපරාධ කීයක්ද?

අවසන් වන්නේ තවත් කළු ජනවාරියකි. ඝාතනයට ලක් වූ, අතුරුදන් කළ, පැහැරගෙන ගිය, වධහිංසාවට ලක් වූ, පහරදීම්වලට ලක් වූ...

‘දවස් 06ක් වධහිංසා කරලා අම්මගෙන් සමාව ගත්තා’ : සිද්ධියට සම්බන්ධ ඕඅයීසීලා තිදෙනකුට ඇප !

තරුණයකුට දින 06ක් තිස්සේ වධහිංසා කිරීම සම්බන්ධයෙන් චෝදනා ගොනු කර තිබූ වීරකැටිය පොලිස් ස්ථානාධිපති නුවන් බුද්ධික විජේතුංග ඇතුළු...

ක්‍රිෂ් – නාමල්ට අධිචෝදනා ගොනුකරයි : මාධ්‍යයෙන් මිලියන 70ක් කිව්වට ප්‍රශ්නගත ගනුදෙනුව මිලියන 450ක් ?

ආන්දෝලනාත්මක ක්‍රිෂ් ව්‍යාපෘතියට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව කොළඹ මහාධිකරණයේ...