‘දවස් 06ක් වධහිංසා කරලා අම්මගෙන් සමාව ගත්තා’ : සිද්ධියට සම්බන්ධ ඕඅයීසීලා තිදෙනකුට ඇප !

Share post:

තරුණයකුට දින 06ක් තිස්සේ වධහිංසා කිරීම සම්බන්ධයෙන් චෝදනා ගොනු කර තිබූ වීරකැටිය පොලිස් ස්ථානාධිපති නුවන් බුද්ධික විජේතුංග ඇතුළු පොලිස් නිලධාරීන් හතර දෙනකු රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදා හැරීමට මාතර මහාධිකරණය නියෝග කළේය.

එසේ ඇප නියම වූ සෙසු නිලධාරීන් වූයේ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන එකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍ර ජයවික්‍රම, මාලිම්බඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත විජේසේකර සහ පොලිස් කොස්තාපල් සමන් ජයවර්ධන ය.

මාතර, තෙලිජ්ජවිල පොලිසියේ සේවය කරමින් සිටියදී තෙලිජ්ජවිල පදිංචි දිල්ෂාන් මධුසංඛ නම් තරුණයකු අත්අඩංගුවට ගෙන දින 06කට ආසන්න කාලයක් රඳවා තබා ගනිමින් වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය කළ විමර්ශනයකින් පසු නීතිපතිවරයා විසින් මේ නිලධාරීන්ට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබිණි.

මාලිම්බඩ හා මාතර පොලිස් ස්ථානවලදී නීතිවිරෝධී ලෙස රඳවාගෙන දින ගණනාවක් තිස්සේ මේ තරුණයාට වධහිංසා කර තිබිණි.

‘මාව හාන්සි කරලා යටි පතුල්වලට මට පොලු‍ තුනකින් ගැහුවා. කුඩු දාලා හරි ඇතුළට දානවා කිව්වා. උඹ නිර්දෝෂීයි කියලා කියන්න කෙනෙකුත් නෑ, පොලිසියෙ හැටි දන්නවනෙ, ගොරකත් දඩමස් කරන්න පුළුවන්. පොලිසියත් එක්ක හැප්පෙන්න එපා උඹලා කිව්වා. මගේ බේත් එහෙම ගෑවේ ඔය පොලිසියෙ අපරාධ අංශයේ ස්ථානාධිපති. මගෙන් වුණු අතපසුවීමට කියලා අපේ අම්මගෙන් වැඳලා සමාවගත්තා.

සටහන් යූටියුබ් නාලිකාව සමග මේ තරුණයා එසේ සඳහන් කර තිබිණි. මේ සිදුවීම සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම ද විමර්ශනයක් ආරම්භ කළේය. මාතර, තෙලිජ්ජවිල මත්පැන් අළෙවිසැලක සිදු වූ බව කියන සොරකමක් සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගෙන නීතිවිරෝධී අයුරින් රඳවාගෙන පොලු‍වලින් පහර දී බරපතළ තුවාල කළ බවට එම ප්‍රදේශයේම පදිංචි 28 හැවිරිදි තරුණයකු කළ පැමිණිල්ලකට අනුව අදාළ විමර්ශනය සිදු කළ බව පොලිස් කොමිසමේ නිලධාරියෙක් තහවුරු කළේය.

මාලිම්බඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් පිරිසක් විසින් මෙම තරුණයා අත්අඩංගුවට ගෙන මාලිම්බඩ පොලිස් ස්ථානයේ සිර මැදිරියේ රඳවා අතින් පයින් හා පොලු‍වලින් ද පහර දෙමින් ප්‍රශ්න කර ඇත. විකට් කූරකින් පහර දුන් එක් අවස්ථාවක එය කැඩී තම පාදය සිදුරු වන ආකාරයට බරපතළ තුවාල වී යැයි ද, ඉන්පසුවත් එක් නිලධාරියකු රෙදි කෑල්ලක මිරිස් අඹරා තම මුවට තබා ගැට ගැසුවේ යැයි ද අදාළ තරුණයා සඳහන් කර ඇත.

තමන් අත්අඩංගුවට ගෙන ඇති බව දැනගෙන පවුලේ ඥාතීන්ගේ උපදෙස් මත නීතිඥවරයකු පොලිසියට පැමිණියද, පහරදීම් නතර නොකළ බවත්, පසුව මාතර පොලිසියට රැගෙන ගොස් පහරදුන් බවත් පෙත්සම්කරු සඳහන් කර ඇත. කෙසේ වෙතත් මත්පැන් අළෙවිසැලේ සොරකම සිදු වූ අවස්ථාවේ වීඩියෝ පට මාතර පොලිසියට ගෙනැවිත් තම පවුලේ සාමාජිකයන්ටද පෙන්වා එහි ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් පරීක්ෂා කිරීමේදී එහි සිටින්නේ තමන් නොවන බව හඳුනාගැනීමෙන් පසු පොලිස් ස්ථානාධිපතිවරයා තම මවගෙන් සමාව ඉල්ලා සිටි බව ද ඔහු සඳහන් කරයි.

පසුව පොලිස් නිලධාරින් පිරිස එක් වී තරුණයාගේ තුවාලවල ආලේප ගල්වා උණු දියෙන් තවා ප්‍රථමාධාර දී ඇත. අදාළ තරුණයා රෝහල්ගතවීම වළකා 1990 සුවසැරිය ගිලන්රථයක් භාවිත කර, ඔහුට ප්‍රථමාධාර ලබාදීමට මාතර පොලිස් ස්ථානාධිපතිවරයා කටයුතු කළේ යැයි ද දින දෙකක් පොලිසියේ රඳවාගෙන බෙහෙත් කර, පස් වැනි දිනයේ පොලිස් ජීප් රථයකින්ම නිවෙසට ඇරලවා ඇතැයි ද පොලිස් කොමිසට ඉදිරිපත් වූ පැමිණිල්ලේ සඳහන් ය. තම යටිපතුල්වල අස්ථි බිඳී ඇති බවට එක්ස් කිරණ පරීක්ෂණයෙන් හෙළි වූ පසුව පොලිස් නිලධාරින් පිරිස තමන් මාතර රෝහලට රැගෙන ගොස් මෙම තුවාල සිදුවූයේ තාප්පයකින් පැනීමට ගොස් බවට ව්‍යාජ කටඋත්තරයක් ලබාගත්තේ යැයි ද සඳහන් වේ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...