අවසන් වන්නේ තවත් කළු ජනවාරියකි. ඝාතනයට ලක් වූ, අතුරුදන් කළ, පැහැරගෙන ගිය, වධහිංසාවට ලක් වූ, පහරදීම්වලට ලක් වූ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් සැමරීම වෙනුවෙන් ජනවාරි මාසය වෙන්කර ඇත. ඊට හේතුව වන්නේ මේ අතරින් වැඩි ම සහ කැපීපෙනෙන සිදුවීම් සංඛ්‍යාවක් සිදු වූ මාසය ජනවාරි වීමයි.
කළු ජනවාරිය හුදෙක් සැමරුමක් පමණක් නොවිය යුතු අතර, එය අසාධාරණයට ලක් වූ මාධ්‍යවේදීන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට යුක්තිය ඉටුකර දීම සඳහා සිදු කරන සාමූහික ප්‍රයත්නයක් බවට පත්කර ගත යුතුය. මාධ්‍යවේදීන්ට සහ මාධය ආයතනවලට එරෙහිව සිදු වූ ප්‍රහාර සම්බන්ධයෙන් විධිමත් විමර්ශන පවත්වා, අධිකරණ ක්‍රියාමාර්ගයක් සිදුවන්නේ සිදුවීම් 10කට අඩු සංඛ්‍යාවක පමණි. ඒවායින් බහුතරයක ද හිස්තැන් බොහෝ ය. කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීම සහ තර්ජනය කිරීම පිළිබඳ විමර්ශන වාර්තා වසර 06කට වැඩි කාලයක් තිස්සේ නීතිපති දෙපාර්තමේන්තුවේ ය.
පෝද්දල ජයන්ත පැහැරගෙන ගොස් පහරදීමේ සිදුවීමට අදාළ විමර්ශනවල ඇඳ ඉහපත් ඇතුළු වැදගත් ලියකියවිලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අතුරුදන් වී තිබේ. අතුරුදන් කළ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ සිදුවීමේ අධිකරණ කටයුතුවලට අවශ්‍ය තොරතුරු රාජ්‍ය ආයතනවලින් ලබානොදුන් අවස්ථා 20කට වැඩි ය. ඝාතනය කළ ලසන්ත වික්‍රමතුංග සිදුවීමට අදාළ ව අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ සාක්ෂි සැඟවීමේ සහ තොරතුරු වසන් කිරීමේ චෝදනා මත පමණි. ඝාතනයට සෘජු ව සම්බන්ධ කිසිවකු අත්අඩංගුවට ගැනීමට හෝ විමර්ශකයන් සමත් වී නැත.
පහත ඇත්තේ 2006 ජනවාරි මාසයේ සිට 2012 ජනවාරි මාසය දක්වා ජනවාරිය කළු කළ එවැනි සිදුවීම් එකතුවකි.
2006
ජනවාරි 01 – සිරස මාධ්‍ය ආයතනයේ හිමිකරු ඝාතනයට සැලැස්මක් ඇතැයි සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග විසින් හෙළිදරව් කිරීම.
ජනවාරි 05 – වීරකේසරී පුවත්පතේ ඡායාරූප ශිල්පි ජෝ ජෙයකුමාර්ගෙන් පුවත්පතේ පළ වූ ජායාරූප සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීම.
ජනවාරි 05 – යාපනයේ යාල් තිනක්කුරල් පුවත්පත් කාර්යාලය ආරක්ෂක අංශ විසින් වටලා සෝදිසි කිරීම.
ජනවාරි 12 – ජනාධිපති මහින්ද රාජපක්ෂ දුරකතනයෙන් කතා කොට සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංගට දරුණු ලෙස බැණ වැදීම. (මේ පිළිබඳ වාර්තා සහිත ය.)
2007
ජනවාරි 09 – එස්.බී. දිසානායකගේ නායකත්වය යටතේ නුගේගොඩ දී පැවැත්වීමට නියමිත වූ එක්සත් ජනතා සන්ධානයේ මංගල රැළිය මර්වින් සිල්වා විසින් නායකත්වය දුන් පිරිසක් විසින් කඩාකප්පල් කිරීම සහ එය වාර්තා කිරීමට ගිය ජනමාධ්‍යවේදී ඥානසිරි කොත්තිගොඩට සහ ඡායාරූප මාධ්‍යවේදී අජිත් සෙනෙවිරත්නට පහර දීම.
ජනවාරි 18 – ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මව්බිම සහ ද සන්ඩේ ස්ටෑන්ඩර්ඩ් පුවත්පත් කාර්යාලයට සහ එම පුවත්පත් හිමිකරුගේ වෙනත් ව්‍යාපාර දෙකකට හදිසියේ පැමිණ ප්‍රශ්න කිරීම සහ පුවත්පත් සඳහා වෙළද දැන්වීම් සපයන ආයතන ලැයිස්තුව රැගෙන යෑම. පසුව දිගින්-දිගටම එල්ල වූ මර්දනය හමුවේ පුවත්පත් දෙක ම වසා දැමීමට සිදු විය.
ජනවාරි 24 – ත්‍රීකුණාමලයේ මාධ්‍යවේදී සුගීර්දරාජන් වෙඩි තබා ඝාතනය කිරීම.
2008
ජනවාරි 03 – යුද්ධයට ඇති ලොකුම බාධාව අතළොස්සක් වන ද්‍රෝහී ජනමාධ්‍යකරුවන් යැයි එවකට හමුදාපති සරත් ෆොන්සේකා විසින් ප්‍රකාශ කිරීම.
ජනවාරි 05 – ජනමාධ්‍යවේදියකු වූ ලලිත් සෙනෙවිරත්න සහ අකුණ නම් වෘත්තීය සමිති වාර ප්‍රකාශනයේ මාධ්‍යවේදීන් වූ සිසිර ප්‍රියංකර සහ නිහාල් සේරසිංහ පැහැරගෙන යෑම.
ජනවාරි 06 – යාපනයේ උදයන් පුවත්පත වසා දමන ලෙස තර්ජනය කිරීම් ආරම්භ වීම. ඉන්පසු එම පුවත්පතට පහරදීම්, බෝම්බ ප්‍රහාර එල්ලකිරීම්, මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයන් ඝාතනය කිරීම් රැසක් සිදු විය.
ජනවාරි 07 – ඩග්ලස් දේවානන්දා විසින් ශක්ති රූපවාහිනී අධ්‍යක්ෂවරයකු වූ ජනමාධ්‍යවේදී ශ්‍රී රංගා එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ ත්‍රස්තවාදියකු බවට තර්ජනය කිරීම සහ ඔහුට මරණ තර්ජන එල්ල වීම.
ජනවාරි 07 – ජනමාධ්‍යවේදියකු සහ වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ එවකට ලේකම්වරයා වූ පෝද්දල ජයන්තගේ නිවසට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් පිරිසක් රාත්‍රියේ පැමිණීම සහ තර්ජනය කිරීම.
ජනවාරි 25 – ජනමාධ්‍ය වාරණයක් අත්‍යවශ්‍ය බව ආරක්ෂක අමාත්‍යංශයේ එවකට ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම පුවත්පතකට පැවසීම. ඉන්පසු යුද මෙහෙයුම් සම්බන්ධයෙන් වාර්තා සැපයූ ජනමාධ්‍යවේදීන් දෙදෙනකුට දරුණු මරණීය ප්‍රහාර එල්ල විය.
ජනවාරි 25 – ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නිෂ්පාදකවරයකු වූ ජනමාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේ රාත්‍රියේ සිය නිවස බලා යන අතරතුර ඔහුට තියුණු ආයුධයකින් පහර දීම. මේ ප්‍රහාරයෙන් ඔහුගේ දකුණු අත දරුණු ලෙස කැපී තිබූ අතර, ශල්‍යකර්මයකට ද භාජනය කරන ලදි.
ජනවාරි 28 – තිනකරන් දිනපතා පුවත්පතේ සහකාර කර්තෘ සුහීබ් එම්. කසීම්ට එල්ල වූ කිණිසි ප්‍රහාරය.
ජනවාරි 29 – ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ මාධ්‍ය සේවක දුලිප් දුෂ්‍යන්ත ඝාතනය කිරීමේ අරමුණින් පිස්තෝලකරුවන් දෙදෙනකු රාත්‍රියේ ඔහුගේ නිවසට කඩාවැදීම.
2009
ජනවාරි 02 – සිරස මැදිරි සංකීර්ණයට එල්ල වූ බෝම්බ ප්‍රහාරය.
ජනවාරි 08 – සන්ඩේ ලීඩර් ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම.
ජනවාරි 22 – ප්‍රකාශ් ශක්තිපිල්ලෙයි නම් ජනමාධ්‍යවේදියකු ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනීම.
ජනවාරි 24 – රිවිර පුවත්පතේ ප්‍රධාන කර්තෘ උපාලි තෙන්නකෝන් ඝාතනය කිරීමේ අරමුණින් එල්ල වූ සන්නද්ධ ප්‍රහාරය.
2010
ජනවාරි 01 – සිරස රූපවාහිනී ජාලයේ ශක්ති නාලිකාවේ යාපනය විකාශන තරංග රජය විසින් අත්පත් කර ගැනීම.
ජනවාරි 13 – සන්ඩේ ලීඩර් පුවත්පත් කාර්යාලය පොලීසිය මගින් හදිසි පරීක්ෂාවකට ලක්කිරීම.
ජනවාරි 24 – ජනමාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම.
ජනවාරි 28 – ලංකා පුවත්පතේ ප්‍රධාන කර්තෘ චන්දන සිරිමල්වත්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගැනීම.
ජනවාරි 28 – නිදහස නිව්ස් නම් ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාට සහාය දුන් ප්‍රවෘත්ති වෙබ්අඩවිය වාරණය කිරීම.
ජනවාරි 28 – රූපවාහිනී සංස්ථාවේ වැඩසටහන් නිෂ්පාදක රවී අබේවික්‍රමට පහර දීම.
ජනවාරි 29 – සිරස මාධ්‍ය ජාලයේ විකාශන බලපත්‍රය අහෝසි කිරීමට තීරණය කිරීම. (පසුව එම තීරණය ක්‍රියාත්මක නොකිරීමට තීරණය කරන ලදි.)
ජනවාරි 29 – ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කාර්යාලය මැර පිරිස් විසින් වැටලීම.
ජනවාරි 29 – ලංකා පුවත්පත් කාර්යාලයට සීල් තැබීම.
2011
ජනවාරි 31 – ලංකා ඊ නිව්ස් කාර්යාලයට කිසියම් පිරිසක් විසින් ගිනි තබා එහි සියලු දේපොළ විනාශ කිරීම.
2012
ජනවාරි 07 – යාපනයේ නිදහස් ජනමාධ්‍යවේදීන් කිහිපදෙනකු අහේතුකව පොලිස් පරීක්ෂණ සඳහා කැඳවීම සහ ආණ්ඩුව විවේචනය කරන බ්ලොග්කරුවන් පිළිබඳ පරීක්ෂණ පවත්වන බව ප්‍රසිද්ධියේ පැවසීම.
ජනවාරි 09 – ශ්‍රී ලංකාවේ තහනම් කරන ලද ලංකා ඊ නිව්ස් වෙබ්අඩවියට හැකර් ප්‍රහාරයක් එල්ල වීම.
ජනවාරි 11 – නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට රාජ්‍ය මාධ්‍ය මගින් චෝදනා කිරීම සහ එහි ප්‍රධානීන් ඉලක්ක කොට තර්ජනාත්මක පුවත් පළකිරීම.
ජනවාරි 16 – මව්බිම පුවත්පතේ කතරගම වාර්තාකරුට පහර දීම.
මේ සියලු සිදුවීම් නොවේ. අවශ්‍ය වන්නේ මේවා පිළිබඳ විධිමත් විමර්ශන පැවැත්වීම ය. ජනවාරිය තවමත් කළුයි යන්න වෙනස් කිරීමට නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීම තීරණාත්මක පොරොන්දුවක් ලෙස ලබාදුන් මේ ආණ්ඩුව කටයුතු කළ යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කර ඇති භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් පෙනී සිටි, එම අයිතිය ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් භාවත කළ පිරිසකි, මෙසේ ප්‍රහාරයන්ට ලක්වී තිබෙන්නේ. එම නිසා ආණ්ඩුව මෙන්ම සමස්ත ජනතාව ද කළු ජනවාරිය සුදු කර ගැනීම වෙනුවෙන් එක් ව බලපෑම් කළ යුතුය.
- ශාලික විමලසේන