නාමල්ට ඇප දුන්නු ගමන් ඉවත් කරගත් අල්ලස් නඩුව මතකද? : රුපියල් මිලියන 450ක ක්‍රිෂ් ගනුදෙනුව ගැන අල්ලස් කොමිසම නව විමර්ශනයක් අරඹයි !

Share post:

ඉන්දියාවේ අමිත් කට්‍යාල්ගේ අත්අඩංගුවට ගැනීම ලංකාවේ මාධ්‍යවලට ද ප්‍රවෘත්තියක් විය. අමිත් කට්‍යාල් යනු ලංකාවට සෘජු ව සම්බන්ධ වූ අයෙකි. කිහිප වරක් ලංකාවට පැමිණි අයෙකි.

ආන්දෝලනාත්මක ක්‍රිෂ් ව්‍යාපෘතියට ඔහු මුදල් යොදවා ඇති බව මේ වන විට තහවුරු වී තිබේ. කළු සල්ලි සුදු කිරීම සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ල වී ඇති කට්‍යාල්, 2023 වසරේදී ද ඉන්දියාවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගැනිණි. දකුණු ආසියානු කලාපයේ රටවල් රැසක කළු සල්ලි ආයෝජන සිදුකිරීමේ චෝදනාව ඔහුට එල්ල වී ඇත.

කොළඹ – කොටුවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි අක්කර 4.3ක ඉඩම ක්‍රිෂ් ව්‍යාපෘතිය සඳහා ලබාගැනිණි. නාගරික සංවර්ධන අධිකාරිය මගින් මීට අදාළ කටයුතු සිදුකරනු ලැබුවේ විපක්ෂයේ විරෝධතා මැද 2012 වසරේදී ය. එම ගොඩනැගිල්ල ද මේ වන විට ගැටලුවක් වී තිබේ. ඊට හේතුව එය අනතුරුදායක බවට වාර්තා ඉදිරිපත් වීමයි.

මේ ක්‍රිෂ් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් 2015 දෙසැම්බර් 26 වැනිදා දූෂණ විරෝධී හඬ වෙනුවෙන් වර්තමාන ඇමැති වසන්ත සමරසිංහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් කළේය. එහි සඳහන් වූයේ මෙහිදී දැවැන්ත කොමිස් ගනුදෙනුවක් සිදු වී ඇති බවයි. ඒ පිළිබඳ කඩිනම් විමර්ශනයක් කරන ලෙසයි.

එවකට ක්‍රියාත්මක වූ දූෂණ විරෝධී ලේකම් කාර්යාලයට ද එම පැමිණිල්ල ඉදිරිපත් කෙරුණු අතර, එම කාර්යාලය මගින් අදාළ පැමිණිල්ල විමර්ශන සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට යොමුකෙරිණි. එෆ්සීඅයිඩී හෙවත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අංක 07 විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා විසින් තමන් විසින් ක්‍රිෂ් ව්‍යාපෘතිය පිළිබඳව සිදුකරන විමර්ශන පිළිබඳ තොරතුරු කොළඹ – කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තා කළේය. ඒ, බී/196/2016 අංකය යටතේ ය.

එම කරුණු වාර්තා කිරීමෙන් පසුව ය, අදාළ කොමිස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගනු ලැබුවේ.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් මේ පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු විශේෂයෙන් ඉල්ලා සිටියේ ක්‍රිෂ් සමාගමේ කාර්යාලයේ ඇති පරිගණක සිය බාරයට ගැනීමට අවසර ලබාදෙන ලෙසයි. එවකට කොළඹ – කොටුව මහෙස්ත්‍රාත්වරයා වූ ලංකා ජයරත්න ඊට අවසර ලබාදුන්නේය. ඉන්පසුව එහි මහෙස්ත්‍රාත් ධුරය දැරූ රංග දිසානායක ද මේ විමර්ශනයට අදාළ වැදගත් තීරණ කිහිපයක් ගත්තේය. ඔහු දැන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ය. 16 දෙනකු ඉදිරිපත් වූ සම්මුඛ පරීක්ෂණයෙන් ආණ්ඩුක5ම ව්‍යවස්ථා සභාව මගින් තෝරාගනු ලැබුවේ රංග දිසානායක ය.

පසුව නාමල් රාජපක්ෂට ඇප ලැබිණි. ඉන්පසු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අධිකරණයට දැනුම් දුන්නේ මේ පිළිබඳ ඉදිරි විමර්ශන නොකරන බවකි. අල්ලස් කොමිසම ඊට අදාළ ව පවරා තිබූ නඩුව ඉල්ලා අස්කර ගත්තේය.

රුපියල් මිලියන 70ක කොමිස් ගනුදෙනුවක් මෙහි දී සිදු වී ඇති බවයි, මාධ්‍ය මගින් මුලදී වාර්තා කරනු ලැබුවේ.
මේ සමස්ත ව්‍යාපෘතිය ඇමෙරිකානු ඩොලර් මිලියන 650ක ව්‍යාපෘතියකි. විමර්ශන අංශ පසුව අනාවරණය කරගෙන තිබුණේ මෙහිදී රුපියල් මිලියන 450ක කොමිස් මුදලක් හුවමාරු වී ඇති බවයි. මීට අදාළ සියලු ලේඛන සකස් කර තිබුණේ එන් ආර් කන්සල්ටේෂන්ස් සමාගමයි. එන් ආර් යනු නාමල් රාජපක්ෂ බවට එවකට හඳූන්වනු ලැබිණි. එහි ලියකියවිලි සකස් කර තිබුණේ සුජානි බෝගොල්ලාගම ය.

2022 වසරේදී මේ ගනුදෙනුවට අදාළ තවත් තීරණාත්මක දෙයක් සිදු විය. පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ මේ විමර්ශනය බාරව සිටි ප්‍රධානියා දැන් ක්‍රිෂ් සමාගමේ අධ්‍යක්ෂවරයකු බවයි. එනම්, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශනf කාට්ඨාසයේ එවකට අධ්‍යක්ෂ ධුරය දැරූ රවී වෛද්‍යලංකාර ය. මේ කරුණු අනාවරණය වීමත් සමග එවකට කොළඹ – කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් නියෝගයක් නිකුත් කළේය. එම නියෝගයට අනුව මේ සිදුවීමට අදාළ විමර්ශන මුල සිට නැවත කළ යුතු විය.

දැන් ඊට අදාළ විමර්ශන බොහොමයක් අවසන් ය. එම විමර්ශන ලිපිගොනු ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුව බාරයේ ය. පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ මීට අදාළ ප්‍රධාන සැකකරුවකු ඉදිරි සති දෙකේදී අත්අඩංගුවට ගැනීමට නියමිත බවකි.

දේශපාලන පළිගැනීම් කතා ද ඒ අතර ඇසේ. කෙසේ වෙතත් කරුණු සහිතව අධිකරණය හරහා විධිමත් යුක්තිය පසිඳලීමේ ක්‍රමවේදයක් අනුගමනය කිරීම පොලිසියේ කාර්යභාරයයි. ජනතාව මේ ආණ්ඩුව පත්කර ගත්තේ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ය.

  • ශාලික විමලසේන

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...