වැලිකඩ ලැයිස්තුගත සමූහ ඝාතනය සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් මරණ දඬුවම නියම වූ ළමාහේවාගේ එමිල් රංජන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිදොස් කොට නිදහස් කෙරිණි. අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර අතින් කටුනායක, ඊගල් ලැගූන් හෝටලයේදී පසුගිය 03 වැනිදා එමිල් රංජන් ළමාහේවා සේවා ඇගයීමක් ලබාගැනීමත් සමග මේ ගැන යළිත් කතාබහට ලක්වෙමින් තිබේ. මෙහිදී තවත් විශ්‍රාමලත් බන්ධනාගාර අධිකාරිවරුන් සහ කොමසාරිස්වරුන් පස්දෙනකුට සේවා ඇගයීම් ලබාදී ඇත. එහෙත් ආන්දෝලනාත්මක වැලිකඩ සිදුවීමේ ප්‍රධාන සැකකරුවකු සම්බන්ධයෙන් ඇමැතිවරයා එසේ කටයුතු කිරීම දැඩි විවේචනයට ලක්වී තිබේ.
ඇත්තටම මේ අපරාධයෙන් සැකකරුවන් නිදොස් කොට නිදහස් වුණේ කොහොමද?
2012 නොවැම්බර් 09 වැනිදා පොලිස් විශේෂ කාර්ය බලකායේ 700කට අධික පිරිසක් ආයුධ සන්නද්ධව බන්ධනාගාරය තුළට ඇතුළු වූයේ බන්ධනාගාර ආඥා පනත ඇතුළු ඊට අදාළ නීති උල්ලංඝනය කරමිනි. එම නීතිවලට අනුව පූර්ව අවසරයකින් තොරව බන්ධනාගාරය තුළට මෙසේ පිටස්තර කණ්ඩායම්වලට ආයුධ සන්නද්ධව ඇතුළු විය නොහැකිය.
මේ බව එදින වැඩ බලන ප්‍රධාන ජේලර්වරයා ලෙස කටයුතු කළ කුඩාබණ්ඩාරට ආරංචි විය. ඔහු ඊට විරුද්ධ විය. පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් චැපල් වාට්ටුව දෙසට යෑම ආරම්භ කළ විට කුඩාබණ්ඩාර ඒ ගැන බන්ධනාගාරයේ ප්‍රධානීන්ට දැනුම් දී ඇත. බන්ධනාගාර නිලධාරීන්ගේ විරෝධය නොතකා මෙහිදී විශේෂ කාර්ය බලකාය කටයුතු කර ඇත.
රැඳවියන්ගේ විරෝධය නිසා මෙහිදී සිරමැදිරිවලට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කෙරිණි. සිදුවීමෙන් පසු රැඳවියන් කලබල කරන්නට පටන් ගත්හ. යුද හමුදාව පැමිණ රැඳවියන් අත තිබූ ආයුධ ගෙන, ඒවා බන්ධනාගාර නිලධාරීන්ට බාර දෙන ලදි. මේ වන විට විශේෂ කාර්ය බලකාය සිටියේ සිර මැදිරි තිබෙන ප්‍රදේශයෙන් පිට, එහෙත් බන්ධනාගාර පරිශ්‍රයේ ය.
පසුදින අලුයම බන්ධනාගාරය සාමාන්‍ය තත්ත්වයට පත්වීමෙන් පසු හමුදා නිල ඇඳුම් ඇඳගත් කිහිපදෙනකු සමග කොට කලිසමක් සහ ටී ෂර්ට් එකක් ඇඳගත් පුද්ගලයකු ඇතුළට ගොස් තිබිණි. කුඩාබණ්ඩාර විසින් ඒ කවුද යනුවෙන් විමසූ විට, නිල ඇඳුම් ඇඳගත් පිරිස පවසන්නේ ‘ඒ නාකොටික් රංගජීව’ යනුවෙනි.
ඔවුන් ගොස් දණගස්වා තිබූ පිරිසක් අතරින් හත්දෙනකු තෝරාගෙන වෙනත් ස්ථානයකට රැගෙන යන අතර, පසුව එසේ රැගෙන ගිය පිරිසගේ මළ සිරුරු හමු විය. ඉන්පසු තවත් පුද්ගලයකු එමිල් රංජන් නම් බන්ධනාගාර නිලධාරියා රුගෙන යන ලදි. ඔහුගේ සිරුර ද පසුව හමු වී තිබිණි. එමිල් රංජන් ඔහුව රැගෙන ගොස් තිබුණේ යුද හමුදා මේජර්වරයකු සමග ය.
කුඩාබණ්ඩාර නම් ජේලර්වරයා විසින් හිටපු අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ ඉදිරියේ මේ සිදුවීම පවසා තිබිණි. ඉන්පසු ඒ ගැන විමර්ශනය කිරීමට කමිටුවක් පිහිටුවන ලදි. එම කමිටුවට ලැබුණු සාක්ෂි සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන මගින් අනාවරණය කරගත් තොරතුරුවලට අනුව නීතිපතිවරයා විසින් තිදෙනකුට එරෙහිව මහාධිකරණයේ අධි චෝදනා ගොනුකරන ලදි.
වැලිකඩ බන්ධනාගාරයේදී තෝරාගත් රැඳවියන් අටදෙනකු ඝාතනය කිරීම පිළිබඳව චෝදනා 33ක් මෙසේ ගොනුකරනු ලබන්නේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක රංගජීව නියොමාල්, බන්ධනාගාර අධිකාරි එමිල් රංජන් ළමාහේවා, බන්ධනාගාරයේ බුද්ධි ප්‍රධානී ඉන්දික සම්පත් ඉමදූව යන තිදෙනාට එරෙහිව ය. ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත වූ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයක ය, මේ නඩුව විභාග වූයේ.
2022 ජනවාරි 12 වැනිදා එහි තීන්දුව ප්‍රකාශයට පත්කරන ලදි.
නඩුව යන අතරතුරදී ම සාක්ෂි නොමැති වීම නිසා බන්ධනාගාර බුද්ධි ප්‍රධානී ඉන්දික සම්පත් ඉමදූව චෝදනාවලින් නිදහස් කෙරිණි. මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රංගජීව නියොමාල් තීන්දුවේදී නිදොස් කොට නිදහස් කෙරිණි. බන්ධනාගාර අධිකාරි එමිල් රංජන් එක් පුද්ගලයකු ඝාතනය කිරීමට වැරදිකරු කරන ලද අතර, ඔහුට ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් මරණ දඬුවම නියම කෙරිණි.
තෝරාගත් සිරකරුවන් පිරිසක් මේ සිදුවීමේදී ඝාතනය කරන ලද බව මහාධිකරණ තීන්දුවේ පැහැදිලිව සඳහන් විය. ඒ අතරින් හත්දෙනෙක් පිටතින් සිවිල් ඇඳුමින් සැරසී පැමිණි අයකුගේ ප්‍රධානත්වයෙන් රැගෙන ගිය බවත්, තවත් එක් අයකු බන්ධනාගාර අධිකාරි එමිල් රංජන් රැගෙන ගිය බවත් නඩු විභාගයේදී අනාවරණය විය.
ඇසින් දුටු සාක්ෂිකරුවන් සිව්දෙනකු ඇතුළු 40කගේ සාක්ෂි, ලේඛන ඇතුළු පිටු 5,000ක සාක්ෂි අධ්‍යයනය කොට තීන්දුව ලබාදී තිබිණි. නියොමාල් රංගජීව නිදහස් කෙරුණද, ඔහු පිළිබඳ නිරීක්ෂණ කිහිපයක් ද මේ තීන්දුවේ ඇතුළත් ය. ඔහු රැගෙන ගිය පිරිසගේ මළසිරුරු හමු වූ බව ද තීන්දුවේ දැක්වේ. එමිල් රංජන් රැගෙන ගිය පුද්ගලයාගේ ද සිරුර හමු වූ බව එහි ඇතුළත් ය. ළමාහේවාට බන්ධනාගාරයෙන් ලබාදුන් ගිනිඅවි මියගිය පුද්ගලයන්ගේ සිරුරු අසල තිබූ බව ද තීන්දුවේ දැක්වේ.
මේ අතර කුඩාබණ්ඩාරගේ සාක්ෂිය පිළිගත හැකි, විශ්වසනීය සාක්ෂියක් බව තහවුරු වී ඇතැයි සඳහන් කරන තීන්දුව, ඒ අනුව ළමාහේවාට මරණ දඬුවම නියම කරන ලදි.
එහෙත් රංගජීව ඒ මොහොතේ ඇඳ සිටි ඇඳුම පිළිබඳ පරස්පර ප්‍රකාශ දෙකක් අධිකරණය නිරීක්ෂණය කර ඇති අතර, එම නිසා ඔහු නිදොස් කොට නිදහස් කර ඇත. ඔහු බන්ධනාගාරයෙන් එළියට ගොස් වෙනත් ඇඳුමක් ඇඳගෙන පැමිණි බවක් සඳහන් වුවද, එය තහවුරු කිරීමට නීතිපතිවරයාට හැකියාවක් ලැබී නැත. එහි වාසිය විත්තියට ලැබී තිබේ. අපරාධ නඩුවකදී සැකයේ වාසිය ලැබෙන්නේ විත්තියට ය.
මහාධිකරණ තීන්දුවේ තවත් වැදගත් කරුණක් සඳහන් වේ. එනම් 2012 වසරේ මේ සිදුවීමෙන් පසු 2017 වසර දක්වා විධිමත් විමර්ශනයක් මේ පිළිබඳ සිදුනොවීමයි. එය වින්දිතයන්ට බරපතළ අසාධාරණයක් බව ද එහි දැක්වේ.
කොණ්ඩ අමිල, එනම් ළමාහේවා සහ හමුදා මේජර්වරයා රැගෙන ගිය රැඳවියාගේ ආමාශයේ ජීර්ණය නොවූ ආහාර කොටස් තිබී ඇති බව මරණ පරීක්ෂණ වාර්තාවේ දැක්විණි. මේ සිදුවීම වූ දිනයේ දහවල් ආහාර වේලෙන් පසු ආහාර ගැනීමට රැඳවියන්ට අවස්ථාවක් නොතිබූ බව නිල වශයෙන් දැක්වුණද, පසුව රැඳවියන් බන්ධනාගාරයේ කුස්සිය කැඩූ බව දැක්වුණු නිසා එහි ගැටලුවක් නැති බව මහාධිකරණය තීන්දු කර තිබිණි. මෙහිදී ළමාහේවාට පැහැරගැනීම සම්බන්ධයෙන් ද චෝදනා ගොනු කළ යුතු බව තීන්දුවේ දැක්විණි.
ඔහු තීන්දුව සම්බන්ධයෙන් අභියාචනයක් ගොනුකරන ලද අතර, එය ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග කරන ලදි.
ඊට ද හේතුවක් තිබිණි. සාමාන්‍යයෙන් මහාධිකරණයක නඩු තීන්දුවක් සම්බන්ධයෙන් අභියාචනයක් අභියාචනාධිකරණයට ගොනු කළ යුතු වුවද, මෙය ත්‍රිපුද්ගල මහාධිකරණයක් නිසා එහි තීන්දුවක් පිළිබඳ අභියාචනයක් ගොනු කළ යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට ය.
පිටු 32ක මේ අභියාචනා තීන්දුව මගින් ත්‍රිපුද්ගල මහාධිකරණ තීන්දුවේ ඇතැම් කොටස් දැඩි විවේචනයට ලක්කර ඇත. මහාධිකරණයේදී විශ්වසනීය සාක්ෂියක් ලෙස පිළිගත් කුඩාබණ්ඩාරගේ සාක්ෂිය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ප්‍රතික්ෂේප කර ඇත. මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කර ඇති එක් කරුණක් වන්නේ කොණ්ඩ අමිල රැගෙන ගියේ ළමාහේවා සහ මේජර්වරයකු නම්, නීතිපතිවරයා එක් අයකුට පමණක් නඩු පැවරුවේ ඇයි ද යන්න ය. අනෙක් පුද්ගලයාට නඩු පැවරීමට අපොහොසත් වූයේ ඇයි ද යන ප්‍රශ්නය ශ්‍රේෂ්ඨාධිකරණය මතු කර තිබේ. එවැනි මේජර්වරයකු නොසිටි බවක් එයින් ඇඟවේ නම්, කුඩාබණ්ඩාරගේ සාක්ෂිය විශ්වාස කරන්නේ කෙසේද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය මෙහිදී වැඩිදුරටත් ප්‍රශ්න කර ඇත.
මුලදී, එනම් මේ සිදුවීම පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසයෙන් සිදු වූ විමර්ශනයේදී සහ කමිටු දෙකකින් සිදු කළ විමර්ශනවලදී කුඩාබණ්ඩාර සාක්ෂි නොදුන්නේ ඇයි ද යන්න මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් ප්‍රශ්න කර තිබේ. ඊට හේතු වශයෙන් දක්වා තිබුණේ ඔහුගේ බිරිඳට තර්ජනාතාමක දුරකතන ඇමතුමක් ලැබීම සහ ඒ කාලයේ තිබූ තත්ත්වයයි. කෙසේ වෙතත් මේ තර්ජනාතාමක දුරකතන ඇමතුම පිළිබඳව තහවුරු කරගැනීමට නීතිපතිවරයා විසින් කුඩාබණ්ඩාරගේ බිරිඳ සාක්ෂි සඳහා කැඳවා නොතිබීම ද ශ්‍රේෂ්ඨාධිකරණයේ දැඩි අවධානයට යොමු වී ඇත. එනම්, නීතිපතිවරයා විසින් කුඩාබණ්ඩාරගේ සාක්ෂිය වෙනත් සාක්ෂි මගින් තහවුරු කිරීමට සමත් වී නැත. මේ ආකාරයට මහාධිකරණයේදී ඇතැම් සාක්ෂි මෙහෙයවීම්වලදී නීතිපතිවරයාගේ පාර්ශ්වයෙන් බරපතළ අඩුපාඩු සිදු වී ඇති බවක් ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ඇත.
මෙය අපරාධ නඩුවක් වන නිසා මතු වී ඇති සැකසංකා පිළිබඳ වාසිය මෙහිදී ද හිමි වී ඇත්තේ විත්ති පාර්ශ්වයටයි. එනම් මහාධිකරණයේදී රංගජීවටයි. ශ්‍රේෂ්ඨාධිකරණයේදී ළමාහේවාටයි.
වැලිකඩ බන්ධනාගාරයේ සිදු කළ ලැයිස්තුගත සමූහ ඝාතනයේදී 28 දෙනෙක් ඝාතනය කෙරිණි. එහෙත් ඝාතනය කළ අයෙක් නැත.
මෙහි විමර්ශකයන්ගේ අඩුපාඩු තිබිය හැකිය. සාක්ෂිවල අඩුපාඩු තිබිය හැකිය. කෙසේ වෙතත් වැඩියෙන් ම කැපීපෙනෙන්නේ සාක්ෂි තහවුරු කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ පාර්ශ්වයෙන් මැදිහත් වී ඇති උදාසීන ස්වභාවයයි.
- ශාලික විමලසේන