වැලිකඩ ලැයිස්තුගත සමූහ ඝාතනයේ ‘කුප්‍රකට’ එමිල් රංජන්ට අධිකරණ ඇමැතිගෙන් ගෞරව සම්මාන ලැබුණේ කෙසේද?

Share post:

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ගෞරව සම්මාන සාදයකදී ආන්දෝලනාත්මක එමිල් රංජන් ළමාහේවාට අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර විසින් ගෞරව සම්මානයක් පිරිනැමීම දැඩි කතාබහට ලක්වී තිබේ.

තමන්ගේ වසර 37ක සේවා කාලය අගය කිරීම සඳහා මේ සම්මානය ලැබුණු බව ළමාහේවා විසින් ම සිය ෆේස්බුක් පිටුවේ ද ඡායාරූප සහිතව සඳහන් කර ඇත.

වැලිකඩ බන්ධනාගාරයේ සිදු කළ ලැයිස්තුගත සමූහ ඝාතනයේ ප්‍රධාන චූදිතයකු වූයේ එවකට හිටපු බන්ධානාගාර කොමසාරිස්වරයකු වූ එමිල් රංජන් ළමාහේවා ය. කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ඔහුට මරණ දඬුවම නියම කළද, පසුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඔහු ව නිදොස් කොට නිදහස් කෙරිණි.
එම දඬුවමට එරෙහිව විත්තිකාර ළමාහේවා විසින් ඉදිරිපත් කළ අභියාචනයක් පිළිගැනීමෙන් අනතුරුව පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මේ තීන්දුව ලබාදුන්නේය.

2012 නොවැම්බර් 09 දින වැලිකඩ බන්ධනාගාරය තුළ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදුකරන ලද සෝදිසි මෙහෙයුමක් අතරවාරයේ ඇති වූ ගැටුම්වලින් සිරකරුවන් 08ක් මරාදැමීම, ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම, නීතිවිරෝධී ජනරාශියක් වශයෙන් කටයුතු කිරීම ඇතුළු චෝදනා 33ක් යටතේ නීතිපතිවරයා විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර අධිකාරිවරයකු වන එමිල් රංජන් ළමාහේවා යන අයට එරෙහිව 2019 වසරේ නඩු පවරනු ලැබිණි.

මේ නඩුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ වසර තුනකට අධික කාලයක් විභාගයට ගැනිණි.

එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් නියොමාල් රංගජීව නිදොස් කොට නිදහස් කළ අතර, හිටපු බන්ධනාගාර අධිකාරිවරයකු වන එමිල් රංජන් ළමාහේවාට මරණ දඩුවම නියම කරනු ලැබිණි.

නඩුවේ පළමු විත්තිකරු වන නියොමාල් රංගජීව යන අයව සාක්ෂිකරුවන් විසින් සෘජුව හඳුනාගැනීමට අපොහොසත්වීම හේතුවෙන් නිදොස් කොට නිදහස් කරන බව විනිසුරු මඩුල්ල එහිදී නිදහස් කළේය.
මේ නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවෙකු වූ කුඩා බණ්ඩාර නමැති සාක්ෂිකරුගේ සාක්ෂිය පදනම් කරගනිමින් මෙම නඩුවේ දෙවැනි විත්තිකරු වූ එමිල් රංජන් ළමාහේවාට මරණ දඩුවම ලබාදීමට විනිසුරු මඩුල්ල තීරණය කර තිබිණි.
කුඩා බණ්ඩාරගේ සාක්ෂියෙන් කියැවුණේ කළු තුෂාර නමැති බන්ධනාගාර රැදවියාව පැහැරගෙන රැගෙන යන ආකාරය තමන් දුටු බවයි.

ඒ අනුව එමිල් රංජන් ළමාහේවාට එල්ලවූ 33 වැනි චෝදනාවට වරදකරු කරමින් ඔහුට මරණ දඬුවම නියම කෙරිණි.

2012 නොවැම්බර් 09 වැනිදා කොළඹ වැලිකඩ බන්ධනාගාරයට ඇතුළු වූ තුන්සීයක පමණ කණ්ඩායමකින් සැදුම් ලත් පොලිස් විශේෂ කාර්ය බලකායේ භටයන් පිරිසක් සිරකුටි තුළට යමින් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබිණි. සිරකරුවන් අත ඇති අනවසර අවි ආයුධ අත්අඩංගුවට ගැනීම එම සෝදිසි මෙහෙයුමේ අරමුණ වූ බව විශේෂ කාර්ය බලකාය බන්ධනාගාර නිලධාරීන්ට දැනුම්දී ඇත.

පළමුව, දරුණු අපරාධකරුවන් රඳවා තබන වාට්ටුව පරීක්ෂා කරමින් සිරකරුවන්ට තහනම් ජංගම දුරකථන ආදිය තමන් භාරයට ගත් විශේෂ කාර්ය බලකාය, ඉන් අනතුරුව මරණ දඬුවමට යටත් කරන ලද, එසේම ජීවිතාන්ත හෝ දීර්ඝ කාලීන සිර දඬුවම් නියමවූවන් රඳවනු ලබන චැපල් වාට්ටුව නමින් හැඳින්වෙන සිරමැදිරි වෙත ඇතුළු වීමත් සමඟ බන්ධනාගාරය තුළ තත්ත්වය දරුණු අතට හැරිණි.

එම සිරමැදිරිවල රඳවනු ලැබ සිටි සිරකරුවන්ට මාංචු දමා සෝදිසි කිරීම සැලැස්ම වුවත් සිරකරුවන් ඊට එරෙහිවීමත් සමඟ එය ගැටුමක් බවට පෙරළුණු බව බන්ධනාගාර රැදවියන් සඳහන් කර තිබිණි.

එවැනි වාතාවරණයක් තුළ නොවැම්බර් 09 වැනිදා සවස එකයි තිහට පමණ ආරම්භ වූ සෝදිසි මෙහෙයුම අවසන් වූයේ මරණ විසි හතකින් සහ හතළිහකට අධික සිරකරුවන් පිරිසක් මරණීය නොවන මට්ටමේ තුවාල ලැබීමෙනි.

‘2012 වැලිකඩ බන්ධනාගාර කැරැල්ල ලෙස එය සමාජගත වූ අතර, පසුව එය ජාත්‍යන්තර වශයෙන් පවා සාකච්ඡාවට ලක්වෙමින් පවතින මාතෘකාවක් බවට පත්විය.

එසේම 1983 ජූලි කෝලාහල සමයේ දමිළ සිරකරුවන් මරාදමනු ලැබීමේ ප්‍රහාරයෙන් පසු සිදු කරන ලද දරුණුතම ප්‍රහාරය ලෙසත් එය හැඳින්වේ. මේ සම්බන්ධයෙන් සියලු‍ම කරුණු ඇතුළත් පරිපූර්ණ කෘතියක් මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල විසින් වැලිකඩ නමින් රචනා කර ඇත.

Related articles

පාස්කු ප්‍රහාරයේ විමර්ශන වෙනතක යැවීමේ තවත් අසාර්ථක පිටපතක් ගැන අලුත් විමර්ශනයක් – පිටපතේ මුල මැද අග මෙන්න !

බොරැල්ල ඕල් සේන්ට්ස් දේවස්ථානයේ සිදුවූ බෝම්බ නාටකය සම්බන්ධයෙන් නව පරීක්ෂණයක් පවත්වා අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවන ලෙස ශ්‍රී ලංකා...

ආණ්ඩුව තීරණයක් ගනී – අභියාචනාධිකරණ සභාපතිට තරු පෙනෙයි : ශ්‍රේෂ්ඨාධිකරණයෙන් චූදිතයකු කළ නිශ්ශංක බන්දුලගේ ඉල්ලා අස්වීම ජනවාරි අවසානයේ !

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මේ මස අවසානයේදී සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. ඔහුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය...

දුමින්ද සිල්වා නාටකය – 15 වැනිදාට තවත් තීන්දුවක් !

මරණ දඬුවම නියම වී සිටින දුමින්ද සිල්වා සිරකරුවා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. බන්ධනාගාර රෝහලේ...

SITC කැම්පස් නව ඩිප්ලෝමා පාඨමාලා රැසක් අරඹයි !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනයක් වන, අධ්‍යාපන අමාත්‍යාංශයේ යටතේ ක්‍රියාත්මක SDFL ලියාපදිංචිය සහ අනුමැතිය ලත් SITC කැම්පස්...