යථාර්ථය සහ සත්‍ය අතර පවත්නා පෑහීම හෝ නොපෑහීම කාලාන්තරයක් පුරා සෑම විෂය ක්ෂෙත්‍රයක්ම අරක් ගත් කතිකාමය අවකාශයකි. සාහිත්‍යයේදී මෙය වඩාත් ප්‍රබලව මතු වී පෙනේ. යථාර්ථය යනු ගොඩනංවන ලද දෙයක්ය යන ප්‍රවාදයද නිරන්තරයෙන් අසන්නට ලැබෙන්නකි. එහෙයින් ප්‍රබන්ධ සාහිත්‍යයේ දී යථාර්ථය විනිවිදීමට යථාර්ථවාදී ශෛලිය සතු හැකියාව අභියෝගයයට ලක් කෙරේ. මේ නිසා ඇතැම් ප්‍රබන්ධකරුවෝ පාඨකයාට යථාර්ථය වඩාත් සමීප කිරීමට යථාර්ථය ඉක්මවා යන ශෛලියක් භාවිත කිරීමට පෙලඹෙති. ජීවිතයේ පවත්නා අතාර්කිකත්වය, සාංදෘෂ්ටිකත්වය, නරුමත්වය සහ විපරීතත්වය යනාදී ලක්ෂණ වඩාත් නිර්මාණශීලි අයුරින් ප්‍රබන්ධයට මුසු කිරීමට බොහෝ ලේඛකයන් අධියථාර්ථවාදී ශෛලියට ආශක්ත වන්නේ එහෙයිනි. සාහිත්‍යයේදී ජීවිතයේ සැබෑව තැතිගන්වන ආකාරයකින් නිරාවරණය කිරීමට යථාර්ථවාදී ශෛලියට වඩා අධියථාර්ථවාදී ශෛලියට හැකියාවක් ඇති බවට ලෝක සාහිත්‍ය සාක්ෂි දරයි. සත්‍යපාල ගලකැටිය විසින් පරිවර්තිත ‘ යුදෙව් කුරුල්ලා ‘ නම් කෘතිය එලෙස අධියථාර්ථවාදී ශෛලියේ මහිමය පෙන්වා දෙන කෙටිකතා සංග්‍රහයකි.
මෙහි සංගෘහිත කෙටිකතා ප්‍රමාණය දහයකි. මෙම සෑම කෙටිකතාවකම පොදුවේ දැකිය හැකි ලක්ෂණයක් වන්නේ ඒවායේ ආකෘතික ප්‍රබලත්වයයි. එම ආකෘතික ප්‍රබලත්වය පාඨකයාට තමාගෙන් පිටත ලෝකය දෙස නොව තමා තුළ පවත්නා ලෝකය දෙස බැලීමට බල කර සිටී. තීරණ ගැනීම සඳහා මහා සැලසුම් සකසමින් පුරෝකථන ඉදිරිපත් කිරීමේ නිසරු සහ මුග්ධ බවත් අර්ථ සම්පාදනයට උත්සාහ කිරීමේ නිරර්ථක බවත් අසාමාන්‍ය දෙය සාමාන්‍යයක් බවට පත් නොකර එයට අසාමාන්‍ය ලෙසම පැවතීමට ඉඩදීමේ වැදගත්කමත් ආවේග හරහා ඥානය මතුකර ගැනීමේ ප්‍රබලත්වයත් යුද්ධයකදී ආදරය වැඩියෙන්ම දැනෙන ආකාරයත් හිස්කම නැතහොත් අඩුව ජීවිතයට අත්‍යවශ්‍ය සාධකයක් වන ආකාරයත් ශෝකය හා හුදෙකලාව ජීවිතයට අලංකාරයක් වන ආකාරයත් පාඨකයාට දැනවීමට මෙම කෙටිකතා සමත් වේ.
පරිවර්තකයා තෝරාගෙන ඇති කෙටිකතා සියල්ලේම තේමාත්මක පොදු බවක්ද දක්නට ලැබේ. මිනිසා පෙලන හිස්කම, හුදෙකලාව , තනිකම මෙන්ම මිනිසා අත්පත් කරගැනීමට වෙර දරන ශුන්‍යත්වය එකී තේමා වේ. එම තේමා පාඨකයාට සමීප කිරීමේදී අපට චරිත ලෙස ඇතැම්විට ගෙම්බන්, පූසන්, හාවුන් මෙන්ම කුරුල්ලන්ද මුණ ගැසේ. ඔවුන් සිතීමේ සහ කථනයේ යෙදෙන පැවැත්මවල් වෙති. එමෙන්ම අතේ ඇඟිලි දියවී බිමට ඇදහැලෙන කාන්තාවක් ද තරුණයෙකුට තමන්ගේ අතක් ගලවා දෙන කාන්තාවක් ද එම අත අන් අයට නොපෙනෙන්නට සුරැකිව තබා ගන්නා තරුණයෙක් ද ශරීරය දියවී යන දැරියක් ද නින්දේද නොනින්දේද කියා නිශ්චිතව කිව නොහැකි පලතුරු උයනක බංකුවක් මත සිටින යුවතියක් ද අන්ධකාරයේ මුහුදු වෙරළකට වී ගිනිමැලයක් දල්වාගෙන තනිකම වසා ගැනීමට තැත් කරන ස්ත්‍රියක් ද මෙම කෙටිකතා සංග්‍රහයේදී අපට අභිමුඛ වේ.
කලාව ආනන්දයෙන් ප්‍රඥාව කරා යා යුතුය යන්න කලක් තිස්සේ ලාංකීය සාහිත්‍ය කලා ක්ෂෙත්‍රයේ පැවති අධිපති ප්‍රවාදයකි. මෙය බොහෝවිට යථාර්ථවාදය සමඟ බැඳී තිබේ. මන්ද , යථාර්ථවාදී සාහිත්‍ය තුළින් අප කිසියම් දැනුමක් ගොඩනංවා ගැනීමට උත්සාහ කරන හෙයිනි. එහෙත් යථාර්ථයේදී අප සිදුකරනුයේ දැනුම භාවිතයෙන් අප තුළ ම පවත්නා නරුමත්වය, විපරීත බව, තනිකම, හිස්කම, හුදෙකලාව මගහැර යාමට තර්ක සකසා ගැනීමය. අපි බාහිර ලෝකය අර්ථකථනය කිරීමට මිස අප දෙස බැලීමට උත්සාහ නොකරමු. යථාර්ථය තර්කය මත පදනම්ව ඇති බැවින් එසේ කළ හැකිය. එහෙත් තර්කයෙන් පැහැදිලි කරගත නොහැකි කලාපයක් ද අපට තිබේ. මෙය එම අතාර්කික කලාපය පාඨකයාට දැක ගැනීමට සලස්වන කෙටිකතා සමුච්චයකි. මෙම කෙටිකතාවලින් මතු කරන ප්‍රඥාව ඇත්තේ ආනන්දය තුළ ම මිස ඉන් ඔබ්බෙහි නොවේ. එවිට ප්‍රජානනය (දැනුම ) සහ ආවේදනය (හැඟීම් ) එකිනෙකින් වෙන් නොවී එකිනෙක තුළ දියව යයි. හරුකි මුරකමිගේ තුන් කොන් භූමිදර්ශනය කෙටිකතාව කියවීමේදී දැනෙන හුදෙකලාව සහ හිස්කම , ලියොනාරා කැරින්ටන්ගේ සුදු හාවෝ කෙටිකතාවේදී අසාමාන්‍ය එලෙසින්ම පැවතීමට ඉඩහරින විට මතු වන හැඟීම , යසුනරි කවබතාගේ තනි අත කෙටිකතාවේදී දැනෙන කාංසිය යනාදිය දැනුම හරහා කිසිවිටෙකත් විග්‍රහ කරගත හැකි දෑ නොවේ.
සත්‍යපාල ගලකැටිය පරිවර්තනය කිරීමට තෝරාගත් මෙම කෙටිකතා කියවීමේදී නිතැතින්ම මතකයට නැඟෙන්නේ ඇල්බෙයා කැමුගේ ප්‍රකාශයකි. ” මිනිසාට ජීවිතයේ සතුට අත්පත් කරගත හැක්කේ එහි අර්ථය සොයායාම නවතා දැමූවිටය.”