‘ඇතුළු වියමන්’ නූතන විචාරවාදයන් පාඨකයා වෙත යොමුකරන ආලෝක සංඥාවක්

Share post:

සිංහල කවියට හිමි දීර්ඝ ඉතිහාසය පිරික්සීමේදී දෘශ්‍යමාන ලකුණක් වන්නේ නිර්මාණ කරණයත් න්‍යායික හා විචාර සිද්ධාන්තත් අතර වූ අන්‍යොන්‍ය සබඳතාවයි.ඒ නිසාම සෑම කවියක්ම හා බැඳුණු විචාර මඟක් ද පැවතුණි .සියවස් ගණනාවක් පුරාම සම්භාව්‍ය කවිය වැඩුණේ සියබස්ලකරින් අනුදත් විචාර සිද්ධාන්ත හා අඩුවැඩි වශයෙන් බැ⁣ඳෙමිනි.

නූතන කවියේ හැඩරුව මෙන්ම එහි අන්තර්ගත දෘෂ්ටිය ද කියැවිය යුත්තේ පසුගිය හා නූතන සියවස් වල ලොව බිහි වූ දේශපාලන න්‍යායන් ද දාර්ශනික හැදෑරීම ද සහිතව ය. ඇතුළු වියමන් කෘතිය ඒ පිළිබඳව කෙරෙන ප්‍රවේශය ක් මෙන්ම එම විචාර වාදයන් වෙත පාඨකයා යොමු කරන ආලෝක සංඥාවක් ද වෙයි .

කතුවරයා නූතන කවිය කියැවීම සඳහා මාක්ස්වාදය ස්ත්‍රී වාදය සාංදෘෂ්ටිකවාදය යන විචාර සිද්ධාන්ත පදනම් කර ගනී. මාක්ස්වාදය මූලික වශයෙන් දේශපාලන හා ආර්ථික ක්ෂෙත්‍රයට මුල් තැන දුන් න්‍යායික ප්‍රවේශයක් වුවත් එය මාක්ස්වාදී චින්තකයන් හා විප්ලවවාදී දේශපාලන ක්‍රියාධරයන් මගින් ලැබූ පෝෂණය ඔස්සේ කලා හා සාහිත්‍ය ක්ෂෙත්‍රය විමසන පුළුල් හා සංකීර්ණ න්‍යායික සිද්ධාන්ත යක් ලෙස වැඩි ගොස් තිබේ.විශේෂයෙන්ම නිදහස් කවියේ නව යුගය බිහිවන්නේ ම පවතින ධනේශ්වර සමාජ ක්‍රමය විමසන දෘෂ්ටිවාදයෙන් සාරය ලබමිනි.එනිසා ම හැත්තෑව දශකයේ සිට කලාව සාහිත්‍ය විමර්ශනය සඳහා මාක්ස්වාදය භාවිත කෙරුණි .

තත්කෘතියේදී නූතන සිංහල කාව්‍ය යේ නිරූපිත මාක්ස්වාදී චින්තනය සහ දේශපාලන දැක්ම යන හිසින් වන ලිපිය එම ශීර්ෂයට සීමා නොවී ඉන් ඔබ්බට යමින් සමස්ත මාක්ස්වාදය පිළිබඳව සාරාංශගත කියැවීමක් දක්වා ගමන් කර තිබේ.එනිසා ම එහි මාක්ස්වාදී කලා හා සාහිත්‍ය විචාරය අරබයා ලියැවී ඇති ප්‍රමාණයේ සීමාවක් ද පෙනේ.විශේෂයෙන්ම මාක්ස්වාදී කලා හා සාහිත්‍ය න්‍යායික පදනම විවිධ දෘෂ්ටි වාදයන් ඔස්සේ විමසූ ලියොන් ට්‍රොස්කි මාඕසේතුන් ආදි සම්භාව්‍ය මාක්ස්වාදී න් ගේ මතවාද පිළිබඳව පුළුල් කියැවීමක් ඇතුළු වී නම් එය වැදගත් වනු ඇතැයි යමෙකුට කල්පනා කළ හැකියි .

එමෙන්ම කතුවරයා ස්වකීය විචාර ප්‍රවේශය සඳහා දෘෂ්ටාන්ත කර ගත් මීය සහ පැණි යදඬු හස්තය යට ආදිය ධනේශ්වර සමාජයක ශ්‍රම භූමියේ සිදුවන පන්ති ගැටුම විෂය කරගත් නිර්මාණ වන අතර යටිවියනට කිරණ ඉරක් නම් පද්‍යය එම සීමාව අති ක්‍රමණය කළ පුළුල් සමාජ කියැවීමකට පාඨකයා කැඳවන්නකි .

නූතන කවියේ එන ස්ත්‍රිය පිළිබඳව විෂය ක්ෂෙත්‍රය විමසීම සඳහා දෘෂ්ටි වාදයක් ලෙස ස්ත්‍රී වාදීන් කෙබඳු සංකල්පීය පදනමකින් යුතුව භාවිත කළ යුතු ද යන්න පිළිබඳව ද කතුවරයා පුළුල් කියැවීම ක් දක්වයි. ස්ත්‍රී වාදය මූලික වශයෙන් මාක්ස්වාදයෙන් වෙන් කළ නොහැකි වන අතර පීතෘ මූලික සමාජ ක්‍රමය තුළ පුරුෂාධිපත්‍ය යක් ගොඩ නැගීම නිසාම ස්ත්‍රී ය මුහුණ දෙන ද්විත්ව පීඩනය හෙළි කෙරුණේ මාක්ස්වාදය විසිනි . ස්ත්‍රී වාදය වෙනම පඪිතයක් ලෙස බටහිර සමාජය තුළ වැඩීයාමත් සමග කිසියම් අන්තයකට ගමන් කිරීමක් ද වර්තමානයේ දැකිය හැක්කකි .කතුවරයා ම දක්වන ග්ලොර්යා ස්ටයිනම් ගේ ප්‍රකාශ ඒ බව සනාථ කරයි .කතුවරයා ස්ත්‍රී වාදය සඳහා ආරියවංශ රණවීර එරික් ඉලියප්පාරච්චි රත්න ශ්‍රී විජේසිංහ ආදි කවීන් ගේ නිර්මාණ දෘෂ්ටාන්ත කර ගන්නා අතර මොනිකා රුවන්පතිරණ ඇතුළු නූතන කිවිඳිය යන් ගේ නිර්මාණ ඇතුළත් නොවූයේ මන්ද යන්න ගැටළුවක් වෙයි .

කතුවරයා යොදා ගන්නා අනෙක් විචාර සිද්ධාන්ත ය වන්නේ සාංදෘෂ්ටිකවාදය යි.ඒ සමග ආගමික විෂය පිළිබඳව ද සාකච්ඡා කෙරේ.ඔහු පෙන්වා දෙන්නේ බුදු දහම සාංදෘෂ්ටිකවාදය හා සීමිත කරුණු කීපයකදී හැර බොහෝ විට එකඟ වන බවය.කෙසේ වුවත් දෘෂ්ටි වාදයක් ලෙස සාංදෘෂ්ටිකවාදය අපේ සාහිත්‍යය ට බලපෑම් කර ඇත්තේ කවියට වඩා නාට්‍ය හා ගද්‍ය සාහිත්‍යය අරබයා ය.

මෙම කෘතියේදී වර්තමාන තරුණ සාහිත්‍ය කරුවන්ගේ මෙන්ම පාඨකයා ගේ ද වැඩි අවධානය ට පාත්‍ර වී ඇති නූතන වාදය පශ්චාත් නූතන වාදය වැනි විචාර සිද්ධාන්ත පිළිබඳව ද කතිකා කෙරුණේ නම් කෘතිය තව දුරටත් සාරගර්භ වීමට ඉඩ තිබුණේ යැයි සිතේ.
සාම්ප්‍රදායික කාව්‍ය විචාර න්‍යායන් හි තවදුරටත් එල්බගෙන ඒ ඔස්සේ කවිය විමසන නිල විචාර ධාරාවන් ගේ ආධිපත්‍යයට නතු වූ වර්තමාන කාව්‍ය විචාරයෙන් මිදී ඉන් ඔබ්බට ගිය විචාර සිද්ධාන්ත ඇසුරෙන් නූතන කවිය කියැවීමට වත්මන් පාඨකයා ට යම් සංඥාවක් පෙන්වා දීමට කතුවරයා දක්වන සමත්කම විශේෂිත වේ.

ප්‍රීති බණ්ඩාර ධනපාල

Related articles

“අපි හැමෝම තේ කොළ වගේ ඈන්මරී. උණුවතුරෙ පැහෙනකං තේ කොළ දන්නේ නෑ තමන්ට තියෙන හැකියාව.”

උක්ත උපුටනය විරාජිනී තෙන්නකෝන් නම් ලියන්නිය විසින් වැවූ කැමෙලියා දල්ලකින් කඩා ගත්තකි. උණූවතුරේ පැසෙන්නා වූ තේ කොළ මේ...

“ඔව්, මං සරාගිකයි. රාගික සිතුවිලි වැඩියි.” ‘ප්‍රේමයේ මහඇදුරු’ පටන් ගන්නෙ එහෙම

"මනෝවිද්‍යාත්මකව ගැහැනිය ඒක පුරුෂ නැහැ. බහු පුරුෂයි. පිරිමියා ඒක භාර්යා නැහැ. බහු භාර්යායි. කිසිම පිරිමියෙක් කවමදාක්වත් එක ගැහැනියකගෙන්...

පාස්කු ප්‍රහාරය ‘සිදු කර‘ – ‘මරා දැමූ‘ සාරාගේ කතාව !

2019 අප්‍රේල් 21දා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදු කෙරිණි. තවදුරටත් එය සිදු විය කියන්නට නොහැකිය. එය සැලසුම් සහගත...

ගිනිගන්නා ඉන්දීය ප්‍රාන්ත මැතිවරණ හමුවේ මෝදිගේ අනාගතය !

අසල්වැසි ඉන්දියාවේ ඇතැම් නගරවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 38-40 ඉක්මවා ඇති බව වාර්තා වේ. ඒ නිසා ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල ජනතාව පසුවන්නේ අධික...