සංගිද්ධ කවිතාව සහ සංගත සංරචනය: “මා තුළම වැඩුණේද අන් යමෙකු”

Share post:

චින්තක සමන් හේරත්ගේ -මා තුළම වැඩුණේද අන් යමෙකු- කවි පොත කිසියම් න්‍යායික රාමුවක හෝ දැලක අළලා මේ සටහන ලියන්නට මට සූදානමක් නෑ. ඒ නිසා මේ සටහන අර බරසාර විචාරාභිමුඛ එකක් නෙමෙයි මගේ කියවීම හා බැඳුණු පුද්ගලික මතකය අවදිකිරීමක් සහ චින්තකට නොව ඔහුගේ කවිය වෙත එක්තරා සහෘදයෙක් ඈත සිට සිය අදහස් ලියා එවීමක් වැනි දෙයක්. (මේ සටහනේ එන කවියක් දෙකක් පින්තූර සේ අමුණනව.)

මේ පොත මා කියවූයේ මව්බිමෙන් සෑහෙන ඈත විදේශ විශ්වවිද්‍යාලයක පශ්චාත් උපාධියක් හදාරන්නට ආපු ශිෂ්‍යයෙක් ලෙස ගෙවන මුල් මාසය දෙක තුළ. මා මෙහි ආ මුල් කාලයේ කළ දෙයක් තමයි ඇතෑන්ස් නගරයේ විවිධ බීමහල් වෙත වැදී ලාබම බියර් එකක් දෙකක් තොලගාමින් පැය ගණනක් මොකක් හෝ පොතක් කියවීම. (ලංකා මුදලින් බැලුවත් ඊට වඩා අඩුවෙන් මෙහෙ බියර් එකක් බොන්න පුළුවන්. හැබැයි කෝපි එකක් තේ ඒකක් ඊට වඩා ගණන්.) සමහරවිට ලැප්ටොප් නැත්තම් පොතක් අරගෙන ගිහින් පැයගණන් මොනහරි මධුවිතක් තොලගාන එක මෙහෙ බොහෝ අයගෙ සාමාන්‍ය පුරුද්දක්. මං මේක කළේ නම් ඇමෙරිකානු ඉංග්‍රීසි උච්චාරණ කණට හුරු කරගන්නත් එක්ක. කොහොමත් ඇමෙරිකානුවො කටකාරයි තමයි ඒ වගේම බීමහලක ළා මතින් උන්නම ඒ අය වඩාත් මුඛරියි සහ සුහදයි. මං පොත කියවන අතරෙ ඒ් ඒ් අය කතා කරන දේවල් අහගෙන මේ කතා කණට හුරුකරගන්න උත්සාහ කරනව. මං ඇත්තටම හිතනවා මට ඒක උදව්වක් වුණා කියල. මේ ඉන්න අතරෙ ඇතැම් ගැහැණු කෙනෙක් හෝ පිරිමි කෙනෙක් අමතර මධුවිතක් අරගෙන බලෙන්ම වගේ මං ළඟට ඇවිත් මට පිරිනමල පොඩි කයියකුත් ගහල ගිය අවස්ථා බොහොමයි. මම ඉතිං කැඩිච්චි ඉංග්‍රීසියෙන් කතා කළත් එයාලා කොහොමහරි තේරුම්ගන්නවා. එයාලගේ බස බස කතාත් මම අහුල අහුල තේරුම් ගන්නවා.

චින්තක සමන්ගෙ -මා තුළම වැඩුණේද අන් යමෙක්- මා කියෙව්වෙ ඔන්න ඔවැනි පසුතලයක. මේ ඔහුගෙ පොතේ එන පළමු කවිය.

තනිව ආ ගමනක්

පැනවූ වාරයන්වල
රංචු සේ නැඟී මුදුනට
සපැමිණි දනන් කී බසින්
විස්සෝපයට පත් සිතින්

එක් අවාරයක තනිව
එළැඹියෙමි ගිරි තරණයට

මල් ඵල දරා නැති නමුදු
නොදුටුවෙමි කිසි තුරු බඳෙක
ශෝකී බවක කැල්මක්
එමග දෙපසෙහි කිසි විටෙක

අලුයම් අඳුර පිසලමින්
සිය කුඩා අත්තටුවලින්
විහඟෙක් නැගේ එක් වරම
හිස් අහස වෙත තනියෙන්

අවාරය යැයි නම් කොට
කිසිවෙකුත් නාවද මෙදෙසට
අතත් දුර පෙදෙසක සිට

අරුණාලෝකය පැමිණෙයි
මිහිදුම් පටල වියැකෙයි

චින්තකගෙ කවිය ගැන අර සංවාදයකදි මහාචාර්ය ප්‍රභාත් ජයසිංහ මතුකරනව වගේ චින්තකගෙ පොතේ විවිධ ආකෘතික ලක්ෂණවල එහෙම නැත්තම් විවිධ පැහැ කවි හමුවෙනව. විටෙක ඔහුගෙ කවියෙ සමස්තය (පද වැළම) එකම රූපකයක්. උදාහරණයක් ලෙස: -ලී පොරොව සහ රන් පොරොව- අපිට කියවන්න පුළුවන්. (පි.15) තවත් විටෙක ඒ් කවිය ඊටත් එහා සංදිග්ධාර්ථවත් රූපකයක්. -ගැලවිය නොහැකි පින්තූර- (පි.24) -අතුරුදන් වූ මාළුවා-(පි. 50) වැනි කවියක් නියම කාව්‍යමය රූපක තනන බව මට හිතෙනව.

තව විටෙක ඔහුගෙ කවියක් ක්ෂුද්‍ර කාව්‍යාඛ්‍යානයක්. බලන්න: -දේදුනු අක්කා හෙවත් මගේ ගිම්හාන ගීතය- වැනි කවියක්. (පි. 10) ඔහු රංජිත් කුරුප්පු විසින් පරිවර්තනය කළ -ගිම්හාන ගීතයේ- කොටසක්ද උපුටමින් තමන්ගෙ නව යෞවන අත්දැකීමක් කාව්‍යාඛානගත කරන ආකාරය. එය කොහොමද අපේ සමාජ සම්මුතීන්, දෘෂ්ටිවාද සහ අපේ සැබෑ සංස්කෘතික අත්දැකීම සමග තුලනාත්මකව කියවන්නෙ කියන එක පාඨකයගෙ කාර්යය. මේ ක්ෂුද්‍ර ආඛානමය ස්වරූපයේ කවි කිහිපයක්ම ඔහුගෙ පොතේ එනවා. මේ ක්ෂුද්‍ර කතන්දර කාව්‍යාත්මක ලෙස සංරචනය කිරීමේ දේශපාලනය හෙවත් වෙන කිසිම විදිහකින් නොකිව හැකි අර්ථ සහ නව සෞන්දර්යය අත්දැකීමක් නිෂ්පාදනය කරන්නෙ කොහොමද යන්න ඔහු තවදුරටත් හිතනව බලන්න මං ආසයි.
තවත් ඔහුගෙ සමහර කවිවල පුරාණෝක්තිමය යථාර්ථවාදයෙන් වැඩ ගන්න කරන උත්සාහය පෙනෙනව. -සඳට ගිය ගැහැණියක්- (පි. 25). මේක කෙටිකතාකාරයො දැන් කාලයක් තිස්සෙ නිතර කරන වැඩක්. චින්තකගෙ කවියට මේ පුරාණෝකිත්මය යථාර්වාදය එක්ක තවත් පුරුද්දමින් සියුම් ලෙස කවිකමත් තේමාවත් ඉස්මතු කළ හැකි බවයි මට හිතෙන්නෙ. එය කොලු-කෙලිකාර භාෂාවෙන් කියනව නම් අමුවෙන්ම භාවිත කරනව වගේ කියලත් මට හිතෙනව. (මම කවි ලියන්න උගන්නන්න දන්නෙ නෑ විතරක් නෙමෙයි මේ වගේ ලස්සන කවියක් කවදාවත් ලියන්න දක්ෂ වෙන්නෙත් නැතිවෙයි.) කොහොමවුණත් මේක හොඳ කවියක්. මේ බලන්න ඔහු කවිය පටන් ගන්න අන්දම.
සඳට ගිය ගැහැණියක්.

නිදහස ලැබෙන්නත් කාලෙකට ඉස්සර
ආම්ස්ට්‍රෝන්ලා ඉපදිලාවත් නැති කාලෙක
සඳට ආ ගිය ගැහැණියක පිළිබඳ
පුරාවෘත්තයක් පවතී අප ගම
ඇසින් දුටු අය සිටියා මෑතක් වන තුරුම
එබැවින් නොදමමි එය කටකතා ගොඩටම

කවියේ අවසානයට එන විට ඔහුගේ පද්‍යමය රමණීයත්වය රැකගත්තා වුවද අර්ථකථනීය බව හෝ ඒහි අඬහැරය – සෞන්දර්යාත්මක ලෙස තීව්‍ර කරන්නේද යන්න නැවත සලකා බලන්නැයි මම යෝජනා කරනව. තවත් ඔහු මේ යාථාර්ථවාදයෙන් ලියන කවියක් තමයි -දික්තලාට- නම් කවිය (පි. 33-34). මෙහිදී නම් ඔහු අර දික්තල-කාලගෝල ප්‍රශ්නය රූපකාර්ථයෙන් ගෙන සමකාලීන පසුතලයක පිහිටුවනව.

මේ ක්ෂුද්‍ර කාව්‍යාඛ්‍යාන, පුරාණෝක්ති ඇසුරින් සමකාලය දැකීම අතරේ ඔහු සිව් පද ආකෘතියෙනුත් ලියනව. -සර්කස් කණ්ඩායමෙහි වඳුරු පියාට දියණියගෙන්- (පි.23), -බෝල නන්දන- (පි. 38) එවැනි කවි. මේවා ඉතාම රමණීය කවිකම්. මෙවැනි කවිවලදි අලුත් සෞන්දර්යමය ප්‍රජානනයක්ද සමග මේ සමාජය පිළිබඳ හෝ මේ ජීවිත වෙත – මෙතෙක් අප නොදුටු විරූ දයාර්ද්‍ර බැල්මක් හෙළන්නේ කෙසේද යන්න අපි සිතිය යුතුයි නේද වගේ දේවල් බියර් මතය නිසාද මංදා මේ කවිවලට ප්‍රතිචාර විදිහට පීඩීඑෆ් එකේ මවිසන්ම ලියල දැන් පෙනෙනව මේ සටහන අතරේ. ඒ අවුරුද්දකටත් වඩා ඉස්සර.
අපි මදකට -සීයාගේ උභතෝකෝටිකය-(පි. 35) වැනි කවියට අවධානය දෙමු. ඔහු මජ්ඣිම නිකායේ සූත්‍රයක කොටසක් උපුටමින් තමයි කවියට එළඹෙන්නෙ. මේ තවත් ආකෘතිකමය වෙනසක්. එම පාඨය ඔහු විසින් සිංහලයටත් පරිවර්තනය කරනව. මේ සම්භාව්‍ය සාහිත්‍ය කෘතිවල පාඨ ගෙන එය අන්තර්පඨිතයක් සේ තබාගෙන ඒ ඇසුරින් පුද්ගලික හෝ සමාජ අත්දැකීමක් නැත්නම් තේමාවක් දල්වමින් කවි ලිවීම අපේ බොහෝ අය කරන දෙයක්. ඒ ඇසුරින් සමකාලීන සංසිද්ධිය අවලෝකනය කරමින් නව අර්ථකථනයක් හෝ නව අර්ථකථනයක් හෝ පැරණි අර්ථකථන විසංයෝජනය පිණිස රසිකයා දිශානතිගත කිරීමක් හෝ නව සෞන්දර්යාත්මක කවුළුවක් විවර කරන එකනෙ කරන්නෙ. ඒ අර්ථයෙන් චින්තකගෙ මේ කවිය හොඳ කවියක් කියල මම හිතනව. සම්භාව්‍ය සාහිත්‍යයෙන්ම නොවුණත් වෙනත් විවිධ යුගවල සාහිත්‍ය කෘතිවල කොටස් උපුටමින් ඒ ඇසුරින් තමාගේ කාව්‍යමය අත්දැකීම බබළවන කවි බොහොමයක් ඔහු ලියා තිබෙනව. මේ සියල්ල ආස්වාදජනකයි. ඒ අතරේම ඒ ඇසුරින් මට අතුරු ප්‍රශ්නයක් පැනනගිනව.

දැන් ඉහත කවියේ -සීයාගේ උභතෝකෝටිකය- යන්නට කලින් ඔහු ඉංග්‍රීසියෙන් Grandfather’s Paradox කියන එකට පාදක සටහනක් දානවනෙ. ඒක ඉංග්‍රීසියෙන්. මම හිතන්නෙ ඔහුට ඒක සිංහලෙන් ලියන්න තිබුණා කියලයි. -සීයාගේ උභතෝකෝටිකය- සිංහල රසිකයා වෙත ගෙනයාමේදී මෙවැනි සංකල්ප භාවිත කරනකොට ඒ වගේ තාක්ෂණික දේවල් ගැනත් හිතන්න ඕනෙ. මේ පොතේ සමහර කවිවල උද්ධෘත ඔහු සිංහලට පරිවර්තනය කරල තියෙනව. තව සමහර කවියක පාඨ ඔහු ඉංග්‍රීසියෙන්ම තබනව. (සිංහ පොතක ඉංග්‍රීසි උද්ධෘත භාවිත කිරීම ගැටලුවක් බව නෙමෙයි මගේ ඇඟවුම). සංගත බව. මේවා උදාහරණ එක්ක කතාකරන්න මං මේක අවස්ථාවක් කරගන්නෙ නෑ. මෙතන තියෙන ගැටලුව ඔහුගෙ කවිකමේ නෙමෙයි. මේ ඉතාම අර්ථාන්විත – සුගම කවි. හැබැයි ඒ සුගම කවිය ලියන අතරෙම කවියේ සියලු අංග අතර ඒකාත්මික බවක් භාෂාමය සංගතභාවයක් ඇති කරන හැටි ගැනත් අපි හිතන්න ඕනෙ. සමස්ත කෘතිය තුළ පවා සංගත බව අපි ආරක්ෂා කරගත යුතුයි. උද්ධෘත සහ පාදක සටහන් ටික විතරක් නැවත කියවා බැලුවත් ඔබට මේ ගැන වටහාගන්න පුළුවන්. මගේ අතුරු ප්‍රශ්නය වුණේ මෙන්න මේ කාරණය.

කොහොමවුණත් චින්තක සමන් කියන්නෙ රූපකය දෙස සාවධානව බලන, සංදිග්ධ කවිතාවෙන් වැඩගන්න දන්න කවියෙක් මෙන්ම ඉතා අපූරු ලෙස මිහිරි බසින් – සරල සහ පාඨක ප්‍රියතාව ඇති කරනසුළු ස්වරය දිගටම රඳවමින් කවි ලියන අපේ පරම්පරාවේ ලේඛකයෙක්. ඔහුගේ කවියේ ඉදිරි ප්‍රගමනයට අපේ දිරිගැන්වීම් හෝ අවවාද අවශ්‍ය නෑ. ඔහු දැනටමත් ඔහුගේ ගමන යන බවට මේ කවි දෙස් දෙනව. මගේ රචනයේ සිරස්තලය චින්තකගෙ පොත වෙනුවෙන් නෙමෙයි බියර් කීපයක් හිස් කරල කවි පොතත් ඉවර කරල -මා තුළම වැඩුණේද අන් යමෙකු- යයි සිතමින් සංදිග්ධතාවෙන්ද මගේම සංගත බව ගැන දෙගිඩියාවෙන්ද බීමහලෙන් එළියට ආ මටයි.

සදර්ශන සමරවීර

Related articles

CBL සමපෝෂ, අඛණ්ඩව 13 වැනි වරටත් අන්තර් පාසල් පාපන්දු ශුරතාවලිය බලගන්වයි !

CBL සමපෝෂ, අඛණ්ඩව 13වන වරටත් වයස අවුරුදු 14න් පහළ අන්තර් පාසල් පාපන්දු ශුරතාවලිය සඳහා සිය අනුග්‍රාහක දායකත්වය ලබා...

‘ඇතුළු වියමන්’ නූතන විචාරවාදයන් පාඨකයා වෙත යොමුකරන ආලෝක සංඥාවක්

සිංහල කවියට හිමි දීර්ඝ ඉතිහාසය පිරික්සීමේදී දෘශ්‍යමාන ලකුණක් වන්නේ නිර්මාණ කරණයත් න්‍යායික හා විචාර සිද්ධාන්තත් අතර වූ අන්‍යොන්‍ය...

සාක්ෂි වසන් කළ සැකකරුවන් හරහා ඝාතකයන් ළඟට යන පාර ඇහිරූ ගෝඨාභය රාජපක්ෂ මෙහෙයුම : ලසන්ත වික්‍රමතුංග !

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කෙරුණේ 2009 ජනවාරි 08දා ය. එම ඝාතනය පිළිබඳ යුක්තිය නොමැතිව වසර 16ක් ගත වේ. සැකකරුවන්...