නත්තල යනු දේව පුත්‍රයාණන්, මනුෂ්‍යයෙකු ලෙස මිනිස් දුවකගෙන් මෙලොව උපත ලැබීම සැමරීමයි. එහෙත් නත්තල හුදු උපන්දින සැමරුමක් පමණක් නොවේ. නත්තල් දින ඉපදුණු උන්වහන්සේගේ උපතට මෙන් ම, එම උපතේ පරමාර්ථයට මූලිකත්වය ලබාදීම වැදගත් යැයි කතෝලික සභාවේ නිල පුවත්පතෙහි කතුවැකිය ද සටහන් කර තිබිණි. කිතුනුවන්ට අතිශය වැදගත් වන ක්‍රිස්තුස්වහන්සේගේ උපත, සමස්ත ගැලවීමේ ඉතිහාසයේ සන්ධිස්ථානයක් වේ. ආදම් සහ ඒව මැවුම්කරුවාණන්ට විරුද්ධව යෑමෙන් පසු උන්වහන්සේ ගැලවුම්කරුවකු එවන්නට ප්‍රතිඥා දුන් සේක. එතැන් සිට පළමු නත්තල් දින දක්වා වසර දහස් ගණනක් පුරා සමස්ත ලෝකයම මහා බලාපොරොත්තුවකින් මග බලා සිටි මොහොත උදාවූයේ ජේසුස්වහන්සේගේ උපත සමගින් යැයි එම පුවත්පත අවධාරණය කරයි. එබැවින් නත්තල් මංගල්‍යය කිතුනුවන්ට පමණක් නොව, මුළු මහත් ලෝකවාසී සියල්ලන්ටම ප්‍රීතිය උදාකර දෙන බව ද එහි දැක්වේ.
ආගමික අර්ථයෙන් මෙන්ම සමාජ අර්ථයෙන් ද නත්තල කියවාගැනීම මේ ලිපියේ අරමුණ වේ. මෙහි මුලින්ම කතෝලික සභාවේ නිල අදහස උපුටා දැක්වූයේ එහි සිට මෙය කතාකිරීම වඩාත් ප්‍රායෝගික වන නිසා ය.’
ක්‍රිස්තියානි සුභාරංචියට අනුව විශේෂයෙන් ලූක් සහ මතෙව්ගේ ශුභාරංචියට අනුව ජේසුස් වහන්සේ උපත ලැබුවේ ජෙරුසලමේ සිට සැතපුම් හයක් පමණ දකුණින් පිහිටි කුඩා නගරයක් වන බෙත්ලෙහෙමේ ය. මෙම නගරය යුදෙව් සම්ප්‍රදාය තුළ වැදගත් වන්නේ එය දාවිත් රජුගේ මෙන්ම එම පරපුරෙන් පැවතෙන්නකු යැයි පැවසෙන ජේසුස් වහන්සේගේ ද උපන් ස්ථානය වන බැවිනි.’මෙය අද පලස්තීනය ලෙස හඳුන්වනු ලබන අතර, එහි බටහිර ඉවුරේ පිහිටි බෙත්ලෙහෙම් නගරයේ වසර 2000කට පමණ පෙර ජේසුස් වහන්සේගේ උපත සිදු වන විට එම ප්‍රදේශය මහා හෙරොද් රජුගේ පාලනය යටතේ පැවති රෝම පළාතේ කොටසක් විය.
ලූක් තුමන්ගේ සුභාරංචියට අනුව අගුස්තීනු අධිරාජයා ජන සංගණනයක් ගැනීමට ගත් තීරණයට අනුව ජෝෂප් තම විවාහයෙන් ගැබ්ගෙන සිටි මරියාවන් සමඟ ගලිලයේ නාස්රෙත් නුවරින් පිටත්ව බෙත්ලෙහෙම බලා නික්ම ගියේය. මරියාවන්ගේ ප්‍රසව කාලය සම්පූර්ණ වී තිබුණු බැවින් ඇයට දරුවා බිහිකිරීම සඳහා තානායම්හි ඉඩකඩ නොදුන් හෙයින් ගවහලක මේ විමුක්තිදායක උපත සිදු විය. පලස්තීනයේ ඓතිහාසික ප්‍රදේශයේ කොටසක් වන බෙත්ලෙහෙමේ ජේසුස් වහන්සේගේ උපත සිදුවූ හෙයින් මෙම ප්‍රදේශය ක්‍රිස්තියානි ධර්මයේ ඉතිහාසයට පමණක් නොව කලාපයේ පුළුල් ආගමික හා දේශපාලන ඉතිහාසයට ද කේන්ද්‍රීය වේ.
බයිබලය සඳහන් කරන පරිදි ජේසුතුමන්ගේ විමුක්තිදායක උපත හා සමගාමීව හෙරෝද් අධිරාජ්‍යයා තමන්ගේ බලයට තර්ජනයක් වන මෙම උපත තමන්ට විපතක් වන බව තේරුම් ගත් නිසා එවකට බෙත්ලෙහෙම සහ අවට පිහිටි ප්‍රදේශවලින් කුඩා දරුවන් සමූල ඝාතනය කිරීමට නියෝග කරන ලදි. මෙම ඛේදනීය සිදුවීම අහිංසකයන්ගේ සමූල ඝාතනය ලෙස හඳුන්වනු ලබන අතර, එය බයිබලයේ මතෙව් සුවිශේෂයේ (මතෙව් 2:16-18) සඳහන් වේ. මෙම වාර්තාවට අනුව, ජේසුස් වහන්සේගේ උපතින් පසු, එවකට ජුදාව පාලනය කළ මහා හෙරොද් රජු, යුදෙව්වරුන්ගේ රජ නම් නව රජෙකු ඉපදී ඇති බවට වූ අනාවැකියෙන් දැඩි ලෙස තර්ජනයට ලක් විය.
ජේසුස් වහන්සේගේ උපතින් පසු හෙරොද් විසින් බිළිඳුන් ඝාතනය කිරීම සහ අද පලස්තීනයේ පවතින ප්‍රචණ්ඩත්වය ඉතිහාසයේ වෙනස් සිදුවීම් දෙකකි. කෙසේ වෙතත් මේ සිදුවීම් දෙක ම පීඩනය, භීතිය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය සහ අහිංසක ජීවිතවල ඛේදජනක අහිමිවීම් පිළිබඳ ගැඹුරු තේමා පිළිබිඹු කරයි. මෙම සිදුවීම් දෙස ඇදහිල්ලේ ඇසකින් බලන අයට, බලය ගතිකත්වය සහ ප්‍රචණ්ඩත්වය වඩාත් අවදානමට ලක්වී ඇති බව පැහැදිලි වෙයි. මෙම තත්ත්වය ලෝක සාමය, යුක්තිය සහ සමානාත්මතාවයට තර්ජනයක් වන බවට සාක්-ෂියක් වෙයි. ජේසුස් වහන්සේ උපන් රෝමයේ පැවිදි, අධිරාජ්‍යවාදී හා ප්‍රාදේශීය දේශපාලන පද්ධතියේ නරුම බව අවබෝධ කර ගැනීමට සාධනීය හේතු මෙහි දැකිය හැක. මේ තත්ත්වයන් එක් පුද්ගලයෙකුගේ කුරිරු බව ලෙස සටහන් කරනවාට වඩා එවකට පැවැති ආර්ථික දේශපාලන සමාජයීය ව්‍යූහයේ ප්‍රතිඵලයක් ලෙස හැඳින්විය හැක.
එදා රෝම අධිරාජ්‍යය යටතේ දරුවන් මරා දැමීම මෙන්ම ජනතාව කුරිරු ලෙස වහල්කමට යොදවමින් ප්‍රචණ්ඩත්වය මගින් තමන්ගේ බලය පවත්වා ගැනීමේ මෙවලමක් ලෙස ඇදහිලි යොදා ගත් බව පැහැදිලි කරුණකි. ජනතාව අසීමිත ලෙස පීඩාවට පත් කළ එම අධිරාජ්‍යවාදී ව්‍යූහය වර්තමානයේ ගෝලීය අධිරාජ්‍යවාදී හැඩයෙන් පලස්තීනයේ දරුවන් සමූල ඝාතනය කිරීම ද බරපතළ ඛේදවාචකයකි. වර්තමානයේ ඇමෙරිකාව ඇතුළු යුරෝපීය රටවල් ඊශ්‍රායලයට සහාය දක්වමින් ගෝලීය අධිරාජ්‍යවාදයේ ස්වභාවය පලස්තීනය මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවලට ද විහිදුවා පවතින අතර එය ගෝලීයකරණයේ වර්තමාන ස්වභාවයයි.
නූතන පලස්තීනයේ විශේෂයෙන් ඊශ්‍රායල-පලස්තීන ගැටුමේ සන්දර්භය තුළ, බොහෝ අහිංසක ජීවිත – විශේෂයෙන් ළමයින් – දිගටම ප්‍රචණ්ඩත්වයට ගොදුරු වේ. මිලිටරි ප්‍රහාර, ගුවන් ප්‍රහාර සහ වෙනත් ආකාරයේ ගැටුම් හේතුවෙන් අහිංසක පලස්තීනුවන් ඇතුළු අසංඛ්‍යාත ජීවිත හානි සිදුවී ඇත, ඔවුන්ගෙන් බොහෝදෙනෙක් සිවිල් වැසියන් සහ ළමුන් ය. අහිංසකයන් සමූල ඝාතනයට ලක් වූ දරුවන් මෙන් මේ අහිංසක මිනිසුන්ගේ දුක් වේදනා බොහෝ විට සිදුවන්නේ පුළුල් දේශපාලන අරගල සහ බල තණ්හාව නිසා ය.
පසුගිය සෙනසුරාදා ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ගාසා තීරයට එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හෙළා දකිමින්, ගාසා තීරයේ ළමුන්ට බෝම්බ ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කරන ලදී. ‘ඊයේ ළමයින්ට බෝම්බ ගැහුවා. මෙය යුද්ධයක් නොවේ. මෙය කෲරත්වයයි. මට මේක කියන්න ඕනේ ඒක මගේ හදවතට දැනෙන නිසා.’ ඔහු වතිකානුවේ මධ්‍යම පරිපාලනය වන රෝමන් කියුරියා සාමාජිකයින්ට එසේ පැවසීය.
අල්-ජසීරා පුවත්වලට අනුව ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාර රැල්ලකින් පසුගිය පැය 24 තුළ අවම වශයෙන් පලස්තීනුවන් 50 දෙනෙකු මිය ගොස් තිබේ. 2023 ඔක්තෝබර් 07 වැනිදා හමාස් ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ 45,000කට අධික පිරිසක් ඝාතනය කර ඇති අතර, ඔවුන්ගෙන් වැඩි දෙනෙක් කාන්තාවන් සහ ළමුන් වන අතර, භූමි ප්‍රදේශය ද සුන්බුන් බවට පත් කර ඇත. එක රැයකින් සහ සඳුදා සිදු වූ එක් ප්‍රහාරයකින් ව්‍යාජ මානුෂීය ආරක්ෂිත කලාපයක් වන අල්-මවාසි ප්‍රදේශයේ කූඩාරම් කඳවුරකට පහර දී ළමුන් දෙදෙනෙකු ඇතුළු අට දෙනෙකු ඝාතනය කර ඇත. ආධාර රථ පෙළට, පාසල්වලට සහ සිවිල් වාහනවලට කරන ලද ඊශ්‍රායල ප්‍රහාරවලින් තුවාල ලැබූවන් රෝහල් ගතකර ඇති බව වාර්තා වෙයි.
එදා ජේසුතුමන්ගේ උපත සිදුවන වකවානුවේ රෝම අධිරාජ්‍යයේ පැවති දේශපාලන ආර්ථිකයන් හා සමාජීය පීඩක ව්‍යුහයන්ට තර්ජනයක් වීම හේතුවෙන් ඉතා අමානුෂික ලෙස අහිංසක දරුවන් දහස් ගණනක් මරා දමන ලදි. වර්තමානයේ ගෝලීය බල සටනේ ප්‍රතිඵලයක් ලෙස පලස්තීනයේ මේ වන විට දරුවන් දහතුන්දාහක් පමණ මරා දමා ඇති අතර සමහර මිනිස් සිරුරු කොටස් සුනඛයන් විසින් ඇදගෙන යන අයුරු අපි මාධ්‍ය හරහා දුටිමු.
ලෝකයේ දිනකට 40,000ක් පමණ දරුවන් බඩගින්නේ මියැදෙන බව එක්සත් ජාතීන්ගේ වාර්තා පෙන්වා දෙයි. වර්තමාන සමාජ පද්ධතිය දරුවන්ට කර ඇති විනාශයේ තරම වටහා ගැනීමට මේ උදාහරණ කිහිපය පමණක් වුවද ප්‍රමාණවත් ය.
ශ්‍රී ලාංකික සන්දර්භය තුළ ද භීෂණය ප්‍රචණ්ඩත්වය අපි පමණටත් වඩා අත්දැක ඇත්තෙමු. යුද්ධය නිසා අවතැන්වූවන් අතුරුදන්වූවන් මෙන්ම තමන්ගේ ඉඩකඩම් අහිමිවූවන් ද බොහෝ වෙති. විශේෂයෙන්ම අන්තවාදයන් පෝෂණය කරමින්, මානුෂීය ගුණධර්ම වෙනුවට ආගමික හරයන් පෙන්වමින් ප්‍රචණ්ඩත්වය ඉහළට ඔසවන අයුරු අපි දුටුවෙමු. උතුරු-නැගෙනහිර දමිළ ජනතාවගේ ගැටලුව තවමත් නිසිපරිදි ආමන්ත්‍රණය කර නැත.
ලංකාව, ලෝකය අනාගතයට ගමන් කරමින් තිබෙන්නේ එක ම පාරක ය. වර්තමානය අඳූරු කිරීමේ මේ ව්‍යසන මත ආගම් ද සිටගෙන සිටීම කනගාටුදායක තත්ත්වයකි. ඉතිහාසය තුළ ද වර්තමානය තුළ ද මානුෂික ගුණාංග වර්ධනය කිරීම වෙනුවෙන් ය, විමුක්තිදායකයාණන් බිහිවූයේ.
එම නිසා විසඳාගත නොහැකි පීඩාවන්ගෙන් පෙළෙන පුද්ගලයන්ට එම පීඩාවෙන් නිදහස් වන්නට අත්වැළක් සැපයීම ය, කළ යුතු වන්නේ. හේතුව කුමක් වුවද අත්හැර දමා සිටින පුද්ගලයන් පිළිගෙන ඔවුන්ගේ ජීවිතවලට ශක්තියක් වීම ය, කළ යුතු වන්නේ. අරමුණක් නොමැතිව නිස්සාර ජීවිත ගතකරන ජනතාව වෙත ක්‍රිස්තියානි වටිනාකම් හඳුන්වා දී එම ජීවිතවලට ආලෝකයක් වීම ය, අප කළ යුතු වන්නේ. ඒ තුළින් ය. කිතුනුවන් ලෙස නත්තල් ප්‍රීතිය බෙදාගැනීම නැතහොත් නත්තල සැමරීම වඩාත් අර්ථවත් වන්නේ.
- දීපා ප්‍රනාන්දු පැවිදි සොයුරිය
- (සමාජයේ යුක්තිය, සාධාරණත්වය වෙනුවෙන් කැපීපෙනෙන භූමිකාවක් ඉටුකරන දීපා ප්‍රනාන්දු පැවිදි සොයුරිය, සියලු බෙදීම්වලින් තොර සියල්ලන්ට සමානව සලකන සමාජයක් ප්‍රාර්ථනා කරයි.) ‘