එම ගී හඩ නිර්ණාමික අපරිමිතයකි(nameless infinite). එ’නයින් මිය යෑමක් නොමැත.

Share post:

ජීවිතය යනු නොදන්නා වේදනාවක් ලුහුබදිමින් යන අතරමග සතුට වින්දනය කරන පැවැත්මකි. ප්‍රියා සූරියසේන ගේ ගී හඩ පියඹා යන මාර්ග රේඛාව (line of flight) එයයි.

දුකක්,වේදනාවක් හඹා යන බව දැනෙමින්ම ජීවිතයේ තාවකලිකත්ව සතුටින් සමරන උත්කර්ෂය. ප්‍රියා සූරියසේන විසින් ලාංකේය මිනිස් සමාජය තුළ සලකුණු කරපු සංස්කෘතික-දේශපාලන විජිතය (territory)එයයි.
ලංකාවේ ජනතා විමුක්ති වාමාංශයට මෙම සමාජ-සංස්කෘතික අධ්‍යාත්මික කලාපය අත්කර ගන්න හෝ ප්‍රති-නිර්මාණය කරන්න බැරි විය. මනුෂ්‍යයා යනු ආර්ථික-දේශපාලන සත්වයෙකි යන්න සැබෑවක් වන තරමටම මනුෂ්‍යයා යනු සතුට ආහාරයට ගෙන,එය වමාරමින්,නැවත එය බුදිමින් සතුටු වන්නෙකු ය යන්න ඒ තරමටම සැබෑවකි.

මනුෂ්‍යයාගේ ද්‍රව්‍යාත්මක ජීවිතයේ මූලික කොන්දේසි වත් සපුරා ගන්න අපහසු ජනතාවක් බහුතරය වූ රටක සමාජ විමුක්තිය වෙනුවෙන් දේශපාලනය කරන වාමාංශයට ආර්ථික යුක්තිය මූලික කරගත් දේශපාලනයක් තෝරාගැනීම නොවැලැක්විය හැකියි. එහෙත් එහි වන්දිය වන්නේ සංගීතය,ගීතය ඇතුළු කලාවේ ප්‍රහර්ෂයත් ජීවත්වීමේ විනෝද රසයත් මගහැරී සුචරිතවාදී ඊනියා සුභාවිත සංස්කෘතික දූපත් වලට කොටුවීමට සිදුවීමයි.

ආර්ථික අමාරුකම් තිබුණද ප්‍රමෝදය වළදන හා ජීවත්වීම සැණකෙළියක් ලෙස දකින සංස්කෘතික සමාජයක් අපට තිබුණි. 70 දශකයේ සිට 80 දශකය හරහා 90 දශකය මැද භාගය දක්වා එය විකාශනය විය. ඉන් අනතුරුව වසළ වෙළද පංතිය හා එහි මාධ්‍ය මාෆියාකරුවන් විසින් එම අවකාශයේ ජීවගුණය පටු ලාභය සදහා දියාරු කර,අවජාතක කර දමනු ලැබීය.

ඉහත කී සංස්කෘතික සමාජය තවදුරටත් විකසිත කරනු වෙනුවට ජනතා විමුක්ති ධාරාවේ සුචරිතවාදී වාමාංශයත් සිදුකළේ ජාතිකවාදී-ආරක්ෂණවාදී කොදෙව් වෙත පල්ලම් බැසීමයි.

සංගීතය හා ගීතය තුළ වන වෛවර්ණය යටපත් කර පදමාලාවේ සාහිත්‍යමය රූපය අධිනිශ්චය කිරීමත්, එහි සාහිත්‍යමය ප්‍රකාශනය බහුල ලෙස ග්‍රාමීය-ජාතිකවාදී සෞන්දර්‍ය වැනුම් වලට ඌනනය වීමත් යනු සංස්කෘතික සමාජයක් පිළිබද දැක්මක් ජනතා විමුක්ති වාමාංශයට නොමැති වීමේ උරුමයක් යැයි ද එක් අයුරකින් කිව හැකිය.

එහි සමාන්තර ප්‍රතිඵලය වූයේ වසළ වෙළද පංතියේ මාධ්‍ය මාෆියාකරුවන් අත ගීතයේ වචනමය සංඝඨකය පවා අදාළ සංගීතය යටපත් කර දමන්නා වූ අර්ථවිරහිත ඝෝෂාවක් පමණක් බවට ඌනනය වී සමස්ත ගීතයම තවත් එක් තාක්ෂණික ශබ්ද උපකරණයක් බවට නිර්වින්දනය වීමයි.
ප්‍රියා සූරියසේන ගේ ස්වතන්ත්‍ර ගීත යුගය යනු කලාව-සෞන්දර්‍යය පිළිබද වාමාංශික තවුස් වෘතයෙන් හා පසුකාලීන ධනවාදී විනෝදාස්වාද කර්මාන්තයේ විපරීත වෘතයෙන් සිරගත නොවුණු,අවලම් නොවුණු මනුෂ්‍ය නිදහසේ සංගීතමය ප්‍රකාශනයකි.

ප්‍රියාගේ ගීතය ලංකාවේ වාමාංශික හා දක්ෂිණාංශික අවරසික සංස්කෘතික චිත්තයෙන් ගැලවී ඔහුටම අසහාය වූ අපූර්ව නින්නාදයෙන් හිස් අහස අරා විහිදෙන්නකි.

එම ගී හඩ නිර්ණාමික අපරිමිතයකි(nameless infinite). එ’නයින් මිය යෑමක් නොමැත.

“ඈත රන් විමන් තුළින් පාට සේලයෙන් සැදී
ඈත රන් විමන් තුළින් පාට සේලයෙන් සැදී
මුදු සීත හිම මුදුන් අතරින් එබී බලනවා
හහ හා හහහා හහ හා හාහහා

මේ ලොවෙන් එහා සිටන් ඈත ලෝකයෙන් ඇවිත්
මේ ලොවෙන් එහා සිටන් ඈත ලෝකයෙන් ඇවිත්
මුදු නීල පීත ලෝහිත පෑ ඈත දිලෙනවා
හහ හා හහහා හහ හා හාහහා

රෑට තරු දහස් ගණන් ඈත සුර පුරෙන් වැටී
රෑට තරු දහස් ගණන් ඈත සුර පුරෙන් වැටී
අද රෑට අද රෑට අද රෑට දිලෙනවා
හහ හා හහහා හහ හා හාහහා

ගීත රාවයෙන් සැලී දෑත ආදරෙන් වෙලී
ගීත රාවයෙන් සැලී දෑත ආදරෙන් වෙලී
ඔබ කීව පෙම් කතා ඇසුරෙන් ගීත මැවෙනවා
හහ හා හහහා හහ හා හාහහා

රෑට තරු දහස් ගණන් ඈත සුර පුරෙන් වැටී
රෑට තරු දහස් ගණන් ඈත සුර පුරෙන් වැටී
අද රෑට අද රෑට අද රෑට දිලෙනවා
හහ හා හහහා හහ හා හාහහා”

සටහන- විදර්ශන කන්නංගර

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...