එම ගී හඩ නිර්ණාමික අපරිමිතයකි(nameless infinite). එ’නයින් මිය යෑමක් නොමැත.

Share post:

ජීවිතය යනු නොදන්නා වේදනාවක් ලුහුබදිමින් යන අතරමග සතුට වින්දනය කරන පැවැත්මකි. ප්‍රියා සූරියසේන ගේ ගී හඩ පියඹා යන මාර්ග රේඛාව (line of flight) එයයි.

දුකක්,වේදනාවක් හඹා යන බව දැනෙමින්ම ජීවිතයේ තාවකලිකත්ව සතුටින් සමරන උත්කර්ෂය. ප්‍රියා සූරියසේන විසින් ලාංකේය මිනිස් සමාජය තුළ සලකුණු කරපු සංස්කෘතික-දේශපාලන විජිතය (territory)එයයි.
ලංකාවේ ජනතා විමුක්ති වාමාංශයට මෙම සමාජ-සංස්කෘතික අධ්‍යාත්මික කලාපය අත්කර ගන්න හෝ ප්‍රති-නිර්මාණය කරන්න බැරි විය. මනුෂ්‍යයා යනු ආර්ථික-දේශපාලන සත්වයෙකි යන්න සැබෑවක් වන තරමටම මනුෂ්‍යයා යනු සතුට ආහාරයට ගෙන,එය වමාරමින්,නැවත එය බුදිමින් සතුටු වන්නෙකු ය යන්න ඒ තරමටම සැබෑවකි.

මනුෂ්‍යයාගේ ද්‍රව්‍යාත්මක ජීවිතයේ මූලික කොන්දේසි වත් සපුරා ගන්න අපහසු ජනතාවක් බහුතරය වූ රටක සමාජ විමුක්තිය වෙනුවෙන් දේශපාලනය කරන වාමාංශයට ආර්ථික යුක්තිය මූලික කරගත් දේශපාලනයක් තෝරාගැනීම නොවැලැක්විය හැකියි. එහෙත් එහි වන්දිය වන්නේ සංගීතය,ගීතය ඇතුළු කලාවේ ප්‍රහර්ෂයත් ජීවත්වීමේ විනෝද රසයත් මගහැරී සුචරිතවාදී ඊනියා සුභාවිත සංස්කෘතික දූපත් වලට කොටුවීමට සිදුවීමයි.

ආර්ථික අමාරුකම් තිබුණද ප්‍රමෝදය වළදන හා ජීවත්වීම සැණකෙළියක් ලෙස දකින සංස්කෘතික සමාජයක් අපට තිබුණි. 70 දශකයේ සිට 80 දශකය හරහා 90 දශකය මැද භාගය දක්වා එය විකාශනය විය. ඉන් අනතුරුව වසළ වෙළද පංතිය හා එහි මාධ්‍ය මාෆියාකරුවන් විසින් එම අවකාශයේ ජීවගුණය පටු ලාභය සදහා දියාරු කර,අවජාතක කර දමනු ලැබීය.

ඉහත කී සංස්කෘතික සමාජය තවදුරටත් විකසිත කරනු වෙනුවට ජනතා විමුක්ති ධාරාවේ සුචරිතවාදී වාමාංශයත් සිදුකළේ ජාතිකවාදී-ආරක්ෂණවාදී කොදෙව් වෙත පල්ලම් බැසීමයි.

සංගීතය හා ගීතය තුළ වන වෛවර්ණය යටපත් කර පදමාලාවේ සාහිත්‍යමය රූපය අධිනිශ්චය කිරීමත්, එහි සාහිත්‍යමය ප්‍රකාශනය බහුල ලෙස ග්‍රාමීය-ජාතිකවාදී සෞන්දර්‍ය වැනුම් වලට ඌනනය වීමත් යනු සංස්කෘතික සමාජයක් පිළිබද දැක්මක් ජනතා විමුක්ති වාමාංශයට නොමැති වීමේ උරුමයක් යැයි ද එක් අයුරකින් කිව හැකිය.

එහි සමාන්තර ප්‍රතිඵලය වූයේ වසළ වෙළද පංතියේ මාධ්‍ය මාෆියාකරුවන් අත ගීතයේ වචනමය සංඝඨකය පවා අදාළ සංගීතය යටපත් කර දමන්නා වූ අර්ථවිරහිත ඝෝෂාවක් පමණක් බවට ඌනනය වී සමස්ත ගීතයම තවත් එක් තාක්ෂණික ශබ්ද උපකරණයක් බවට නිර්වින්දනය වීමයි.
ප්‍රියා සූරියසේන ගේ ස්වතන්ත්‍ර ගීත යුගය යනු කලාව-සෞන්දර්‍යය පිළිබද වාමාංශික තවුස් වෘතයෙන් හා පසුකාලීන ධනවාදී විනෝදාස්වාද කර්මාන්තයේ විපරීත වෘතයෙන් සිරගත නොවුණු,අවලම් නොවුණු මනුෂ්‍ය නිදහසේ සංගීතමය ප්‍රකාශනයකි.

ප්‍රියාගේ ගීතය ලංකාවේ වාමාංශික හා දක්ෂිණාංශික අවරසික සංස්කෘතික චිත්තයෙන් ගැලවී ඔහුටම අසහාය වූ අපූර්ව නින්නාදයෙන් හිස් අහස අරා විහිදෙන්නකි.

එම ගී හඩ නිර්ණාමික අපරිමිතයකි(nameless infinite). එ’නයින් මිය යෑමක් නොමැත.

“ඈත රන් විමන් තුළින් පාට සේලයෙන් සැදී
ඈත රන් විමන් තුළින් පාට සේලයෙන් සැදී
මුදු සීත හිම මුදුන් අතරින් එබී බලනවා
හහ හා හහහා හහ හා හාහහා

මේ ලොවෙන් එහා සිටන් ඈත ලෝකයෙන් ඇවිත්
මේ ලොවෙන් එහා සිටන් ඈත ලෝකයෙන් ඇවිත්
මුදු නීල පීත ලෝහිත පෑ ඈත දිලෙනවා
හහ හා හහහා හහ හා හාහහා

රෑට තරු දහස් ගණන් ඈත සුර පුරෙන් වැටී
රෑට තරු දහස් ගණන් ඈත සුර පුරෙන් වැටී
අද රෑට අද රෑට අද රෑට දිලෙනවා
හහ හා හහහා හහ හා හාහහා

ගීත රාවයෙන් සැලී දෑත ආදරෙන් වෙලී
ගීත රාවයෙන් සැලී දෑත ආදරෙන් වෙලී
ඔබ කීව පෙම් කතා ඇසුරෙන් ගීත මැවෙනවා
හහ හා හහහා හහ හා හාහහා

රෑට තරු දහස් ගණන් ඈත සුර පුරෙන් වැටී
රෑට තරු දහස් ගණන් ඈත සුර පුරෙන් වැටී
අද රෑට අද රෑට අද රෑට දිලෙනවා
හහ හා හහහා හහ හා හාහහා”

සටහන- විදර්ශන කන්නංගර

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...