පද්මවිභූෂන් සම්මානයෙන් පුදලද, සුප්‍රකට සංගීතවේදී, උස්තාද් සකීර් හුසේන්, හදිසියේ හටගත් පෙනහළු ආබාධයක් හේතුවෙන් 2024 දෙසැම්බර් පහලොස්වැනිදා, ඇමෙරිකාවේ, සැන්ෆ්‍රැන්සිස්කෝ නගරයේ රෝහලකදී මියගියා.
සකීර් හුසේන් උපදින්නේ 1951 මාර්තු මාසේ නව වැනිදා, මහාරාශ්ට්‍ර ප්‍රාන්තයේ, මුබ්බායි නගරයේදී.
“මම ඉපදිලා නිවසට වඩම්මපු තිථියේ මගේ අම්මා මංව, මගේ තාත්තා (උස්තාද් අල්ලා රක්ඛා) අත පත්කරනවා. සාමාන්‍ය සම්ප්‍රදායට අනුව නම් තාත්තා කරන්නේ, බිළිදාව මේ ලෝකයට පිළිගන්නට, දරුවාගේ කණට ළංවී කල්‍යාණ ගුණැති වාක්‍යයක් දෙකක් කොඳුරන එක. නැතිනම් සුභ මන්ත්‍රයක් සජ්ජායනය කරන එක. ඒ වෙනුවට මගේ තාත්තා මගේ කණට ළංවී… තගේ දිට තගේ දිට තකිට තකිට වශයෙන් බෙර පද ගායනා කරනවා. මගේ අම්මා ඔහුගෙන් විමසනවා ඔය මොනවද කරන්නේ. දරුවා වෙනුවෙන් යාතිකාවක් නොකර ඇයි බෙර පද ගයන්නේ… කියලා. එවිට ඔහු කියනවා… මේ තමයි මගේ යාතිකාව. මම සරස්වතී දේවිය සහ ගණදෙවියන් වන්දනාමාන කරන කෙනෙක්. මේ තමයි මගේ ගුරුවරුන්ගෙන් මම උකහාගත් දැනුම. මට අවශ්‍යයි මේ දැනුම මගේ පුත්‍රයාට සම්ප්‍රේෂණය කරන්නට…”
දරුවා නිවසට කැන්දාගෙන ආ දවසේම මුස්ලිම් ආගමික පූජකවරයෙකු උස්තාද් අල්ලා රක්ඛාගේ නිවසට පැමිණියා. සාමාන්‍යයෙන් පවුලේ සම්ප්‍රදායට අනුව, දරුවාට කුරේෂි යන වාසගම ලැබිය යුතුයි. එහෙත් ඉමාම්වරයා ඉල්ලා සිටියා…
“මේ දරුවා අනාගතයේදී ලෝකය වටා සංචාරය කරන සුප්‍රසිද්ධ චරිතයක් බවට පත්වෙනවා. ඒ නිසා ඔහුට නබිතුමාගේ මුනුපුරා වන, හස්රත් ඉමාම් හුසේන් කියා නම් තබන්න…” කියලා. ඒ අනුවයි සකීර් කුරේෂි ලෙස නම් වීමට නියමිත දරුවාට සකීර් හුසේන් නම ලැබුනේ.
“මම අපේ පවුලේ වැඩිමලා. තාත්තාගේ සංගීත ඥාණ සම්ප්‍රේෂණය ආරම්භවෙන්නේ මගෙන්. එතකොට මට යාන්තමට අවුරුදු තුන පිරුනා විතරයි. සමස්ථ ලෝකයම ගම්භීර නින්දේ ගිලී සැතපෙන පාන්දර තුනහමාරට, ඔහු මාව අවදි කරනවා. එතැන් සිට ඉර අවරට යනකල්ම අභ්‍යාස කරවනවා. වයසින් මුහුකුරා යනවිට දිනකට පැය පහලොවක් පමණ පුහුණුවේ යෙදුනු දවසුත් තිබුනා. මම කුඩා කළ නින්දට ගිය ඇතැම් අවස්ථාවල අපේ තාත්තා මගේ කණට ළංව තාල ගායනා කරනවා. ඒ වුනාට මං ඇහැරිච්ච ගමන් දුවලා ගිහිං වීදියේ ක්‍රිකට් ගහන කොල්ලෝ බුරුත්තට එකතු වෙනවා. දවසක් අපේ තාත්තා පොළොවේ පය ගහලා මට තරවටු කළා… තමුන් තබ්ලා වාදනය කරනවද, ක්‍රිකකට් ගහනවද කියලා දෙකෙන් එකක් තෝරාගන්න ඕනේ… කියලා. එදත් එදයි මම ක්‍රිකට් අතහැරලා තබ්ලාව සමග සංගත වුනා.”
ශ්‍රේෂ්ට සංගීතඥ, සිතාර් වාදක, පණ්ඩිත් රවි ශංකර් සංගීතය හැදෑරුවේ පන්ජාබ් ගුරුකුලයේ රජු ලෙස විරුධාවලි ලත් උස්තාද් අලව්දීන් ඛාන් යටතේ. අලව්දීන් ඛාන්ගේ වැඩිමහල් පුත්‍රයා අලි අක්බර් ඛාන්. අලි අක්බර් ඛාන්ගේ පුහුණු සැසිවලට තබ්ලා වාදනයෙන් සහාය වුනේ සකීර් හුසේන් ගේ පියා උස්තාද් අල්ලා රක්ඛා. එතුමන්ට පුහුණු සැසි වලට සහභාගී වෙන්නට අතපසු වුනු දිනයන්හි ඒ කටයුත්ත ඉටු කලේ සකීර් හුසේන්. එතකොට සකීර්ට අවුරුදු හතයි. මේ අලි අක්බර් මේ තරුණ තබ්ලා වාදකයා කෙරේ බොහෝ පැහැදුනා. වතාවක් බොම්බේ ප්‍රෙස් ක්ලබ් පරිශ්‍රයේ Bombay Press Club පැවැත්වුනු සරෝද් වාදන ප්‍රසංගයකට තමන්ගේ තබ්ලා වාදකයා ලෙස සකීර් හුසේන් කැන්දාගෙන ගියා. ඒ තමයි සකීර් හුසේන්ගේ මංගල වාදන ප්‍රසංගය. එතකොට ඔහුට වයස අවුරුදු දොළහයි. ඔහුට ඒ වෙනුවෙන් රුපියල් සියයක ගෙවීමක්ද කෙරුනා.
ඉන් මාස කිහිපයක් ගෙවුනු තැන බිහාර් ප්‍රාන්තයේ, පට්නා නගරයේ දින දෙකක් පුරා පැවැත්වුනු දශරා සංගීත මහෝත්සවයට සහභාගී වුනු සකීර් හුසේන්, ජේෂ්ට සිතාර් වාදක උස්තාද් අබ්දුල් හලීම් ජෆාර් ඛාන් සහ ශ්‍රේෂ්ට ශෙනායි චක්‍රවර්තී උස්තාද් බිස්මිල්ලා ඛාන් ට තබ්ලා වාදනයෙන් සහාය වුනා.
මේ ප්‍රවේශයත් සමගින් තරුණ සකීර් හුසේන් ප්‍රසංගයන්ට සහභාගී වෙන්නට ඉන්දියාව පුරා සංචාරයේ යෙදුනා. වතාවක් හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත් කලාවේදිනී සිමී ගරිවාල් Simi Gariwa සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී උස්තාද් හුසේන් කියා සිටියා…
“මගේ මුල් අපේක්ෂාව වුනේ තබ්ලා වාදකයෙක් වෙන්නට නොවෙයි. නව යොවුන් වියේදී මට ඕනෑ වුනේ කීර්තිමත් රොක් ඇන්ඩ් රෝල් Rock N Roll තරුවක් වෙන්නට. මට ඕනෑ වුනේ ඩොලර් මිලියනයක් උපයා ගන්නට. ඒ කාලේ තරුණ අපි සැමගේ හීනය වුනේ සංගීත තාරුකාවක් වෙලා මුදල් උපයන්නට. ඒ දවස්වල මම කොහේ ගියත් බූම්බොක්ස් Boombox එකක් කරේ තියාගෙන යනවා. (අධි බලැති කැසට් යන්ත්‍රයක්) මම බොම්බායේ වීදි දිගේ ඇවිදිමින් බූම්බොක්ස් එකෙන් බීට්ල්ස්, රෝලින් ස්ටෝන්ස්, පින්ක් ෆ්ලොයිඩ් Beteles, Rolling Stones, Pink Floyd ආදී එවක ප්‍රසිද්ධ රොක් සහ පොප් කණ්ඩායම් සංගීතයට සවන් දුන්නා. මට ඕනෑ වුනේ ක්ෂණික මුදල්. ක්ෂණික කීර්තිය. ඒ වුනත් පසු කාලෙක මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් මාර්ගයකට අවතීර්ණ වුනා.”
“ඉතිහාසයේදී තබ්ලා වාදකයෙකුගේ කාර්යය ගරු සම්මානයට පාත්‍ර වුනේ නැහැ. ඔවුන්ව සැලකුවේ දෙවැනි පංතියේ සංගීතඥයින් ලෙස. කිසිම ප්‍රසංග දැන්වීමක, සංගීත තැටි කවරයක තබ්ලා වාදකයාගේ නම ලැයිස්තුගත වුනේ නැහැ. ප්‍රධාන කලාකරුවාට ගෙවන මුදලින් දහයෙන් පංගුවයි තබ්ලා වාදකයාට ලැබුනේ. තබ්ලා වාදකයින් අවධානයට සහ සම්භාවනාවට පාත්‍ර කිරීමේ ගෞරවයේ ප්‍රධාන කොටස් කාරයා ලෙස උස්තාද් සකීර් හුසේන් හැඳින්වීම නිවැරදියි.” ඔහුගේ වියෝවෙන් පසුව බීබීසී ගුවන් විදුලිය සමග කළ සංවාදකයකදී, සිතාර් සහ තබ්ලා වාදක, නයන් ගෝෂ් ප්‍රකාශ කළා.
නමුත් මේ එෛතිහාසික ජයග්‍රහනය පිටුපස තමන්ගේ පීතෘ උස්තාද් අල්ලා රක්ඛා, පණ්ඩිත් සම්තා ප්‍රසාද් සහ පණ්ඩිත් කිෂන් මහාරාජ්ද සිටින වග Zakir Hussain – A lifetime of Music නමින් නස්රීන් මුන්නි කබීර් විසින් ලියන ලද සකීර් හුසේන් චරිතාපදානයේ තැනෙක සඳහන් වෙනවා.
“1973 මගේ සංගීත ජීවිතයේ හැරවුම් ලක්ෂය ලෙස හැඳින්වීම නිවැරදියි. ඒ අවුරුද්දේ තමයි මට හාපුරා කියා ජෝන් මැක්ලෝෆ්ලින් John McLaughlin මුණ ගැහෙන්නේ. ජෝන්, බ්‍රිතාන්‍ය ජාතික ජෑස් ගිටාර් වාදකයෙක්. ඔහුට අවශ්‍ය වුනා ඔහු ප්‍රගුණ කළ ජෑස් සංගීත ආර සමග ඉන්දියානු සංගීතය සුසංයෝජනය කර නව සංගීත ආරක් ගොඩනගන්නට. මම ඒ අදහසට එක හෙලාම කැමති වුනා. මම විශිෂ්ට කර්ණාටක ශෛලියේ වයලීන වාදකයෙකු වන එල් ශංකර්ට අපත් හා එක්වන ලෙස ආරාධනා කළා. ශංකර් කැමති වුනා. අපට අවශ්‍ය වුනා කර්ණාටක ශෛලියේම තාලවාදන ශිල්පියෙක්ව. අපි ඝටම් වාදනය පරතෙරට ප්‍රගුණ කළ වික්කු විනායක්රාම්ට ආරාධනා කළා. (වික්කු විනායක්රාම් තමයි මේ ලිපිය ලියන මගේ පූජනීය ගුරුජි. මා දින දහසක් ගුරුකුලවාසීව දකුණු ඉන්දියානු කර්ණාටක සංගීත ශාස්ත්‍රය හැදෑරුවේ එතුමන් යටතේ) අපි අපේ කණ්ඩායම “ශක්ති” ලෙස නම් තැබුවා. වික්කු විනායක්රාම් මුණගැහීම මගේ ජීවිතයේ මා ලැබූ සුවිශේෂ භාග්‍යයක් ලෙසයි මා සලකන්නේ. කර්ණාටක සංගීතයේ යෙදෙන තාල පද්ධතිය අතිශයින්ම සංකීර්ණයි. නමුත් වික්කු ජී තමන්ගේම දරුවෙකුට වාගේ අ යන්න ආ යන්නේ සිට මට කර්ණාටක තාල ශාස්ත්‍රය ඥාණනය කළා. ඔහුගේ ඉගැන්වීම් වලින් මගේ ජීවිතයට අලුත් ආලෝකයක් වැටුනා.” (2014 Sri Lanka Rupavahini interview with Vishnu Vasu)
ශක්ති කණ්ඩායම ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම එසවුනා. ඔවුනට ලෝකය පුරහින්ම ආරාධනා ගලාගෙන ආවා. ශක්ති කණ්ඩායම මිකී හාට් සමග එක්ව නිකුත් කළ ප්ලැනට් ඩ්‍රම්ස් සංගීත ඇල්බමය 1991 දී ලෝකයේ විශිෂ්ටතම සංගීත ඇල්බමය ලෙස ග්‍රැමී සම්මානයට පාත්‍රවුනා. ඉන් අනතුරුව 2024 වර්ෂයේ පැවැත්වුනු 66 වැනි ග්‍රැමී සම්මාන උළෙලේදී ඔහු තවත් සම්මාන තුනකින් පිදුම් ලැබුවා.
පටු ආගමික සංකල්පයන්ගෙන් හිත අපවිත්‍ර කරනොගත් ඔහු, සකල කලාවන්ට අධිගෘහිත දේවිය ලෙස සම්භාවනාවට පාත්‍ර සරස්වතී දේවියට නිරන්තරයෙන්ම වන්දනාමාන කළා. ඔහුගේ පියා, උස්තාද් අල්ලා රක්ඛා ත් සරස්වතියට සහ ගණ දෙවියන්ට ගරු කළ කෙනෙක්. ඔහු තම වාදන භාණ්ඩය, තබ්ලාව, සරස්වතී දේවිය ලෙස සලකා වන්දනාමාන කළා.
වතාවක් මම, වරණාසියේ පැවැත්වුනු දෘපද් මේලා සංගීත මහෝත්සවය අත්විඳින්නට එහි ගියා. එදා රාත්‍රියේ ප්‍රසංගයට සහභාගී වුනේ ජේෂ්ට සරෝද් වාදක උස්තාද් අම්ජාඩ් අලි ඛාන් සහ උස්තාද් සකීර් හුසේන් දෙපළ. ප්‍රසංගය ආරම්භ වුනා. ඉන් විනාඩි දහයක් පමණ ගතවුනු තැන හදිසියේම සුදුම සුදු ඇඳුමින් සැරසුනු කවුදෝ ලොක්කෙක් එතැනට ප්‍රාධූර්භූත වුනා. ඔහු ආ විගස වේදිකාව ඉදිරිපිටම අසුන්ගෙන සිටි පිරිස නැගී සිටියා. අමුත්තාට අතට අත දෙන්නටත්, පාද නමස්කාර් කරන්නටත් පිරිස කලබලෙන් ඔබ මොබ දුවන්නට පටන් ගත්තා. උස්තාද් සකීර් හුසේන් ප්‍රසංගය නතර කළා. මයික්‍රෆෝනයක් අතට ගෙන මුළු සභාවටම ඇහෙන්නට නිවේදනය කළා…
“කරුණාකරලා සන්සුන් වෙන්න. එහෙම කරන්න බැරි අය, මෙතැනට රැස්ව සිටින ගම්භීර සංගීත රසිකයින්ගේ ධ්‍යානය නොබිඳ, වහාම මේ පුණ්‍ය භූමියෙන් ඉවත් වෙන්න. වරණාසිය කියන්නේ ශිව දෙවියන්ගේ පුදබිම. අප මේ ප්‍රසංගය කැප කරන්නේ ගංගා මාතාවට. සරස්වතී දේවියට.”
මෙසේ පැවසූ උස්තාද් සකීර් හුසේන් තමන් ඉදිරියේ තැන්පත් කොට තිබූ සරස්වතී දේවියගේ කුඩා පිංතූරය මුළු සභාවටම පෙනෙන සේ ඔසවා ප්‍රදර්ශනය කළා.
උස්තාද් සකීර් හුසෙන් ගෞරවයට පාත්‍ර නොකළ විශ්වවිද්‍යාලයක්, අධ්‍යාපන ආයතනයක්, රජයක් මේ ලෝකයේ ඇත්දැයි සැක සහිතයි. ඔහු ඒ තරමටම විශිෂ්ට සංගීතඥයෙක්. ඔහු ඉන්දීය රජය විසින් පිරිනමනු ලබන පද්ම ශ්‍රී සම්මානය 1998, පද්ම භූෂන් සම්මානය 2002 සහ පද්ම විභූෂන් 2023 සම්මානයට පාත්‍ර වුනා. 2022 දී මුම්බායි විශ්වවිද්‍යාලය විසින් ඔහුට ගෞරව ආචාර්ය උපාධියක් පිරිනැමුවා. 1999 වර්ෂයේදී කලාකරුවෙකුගේ මස්තකප්‍රාප්තිය වෙනුවෙන් ඇමරිකාව විසින් පිරිනමන ඉහළම ගෞරවය දිනාගත් එකම ඉන්දියානුවා වීමේ භාග්‍යය ලැබූවා. 2017 වසරේදී ”සංගීත ලෝකයට කරන ලද අසමසම දායකත්වය” වෙනුවෙන් සැන් ෆ්‍රැන්සිස්කෝ ජෑස් සමාජය ඔහුව සම්මානයට පාත්‍ර කළා. ඔහු ලැබූ සම්මාන ගැන ලියන්නට මාගලක් තිබුනත් මදි.
ඔහුගේ දශක හයක සංගීත ජීවිතයේ, ඉන්දියාවෙන් බිහිවූ සියළුම විශිෂ්ටයින් සමග වාදන ප්‍රසංගයන්ට සහභාගීව තියෙනවා. පණ්ඩිත් රවී ශංකර්, උස්තාද් අලි අක්බර් ඛාන්, පණ්ඩිත් ශිවකුමාර් ශර්මා, පණ්ඩිත් හරිප්‍රසාද් චෞරාසියා, උස්තාද් බිස්මිල්ලා ඛාන් උස්තාද් සුල්තාන් ඛාන් ඒ අතරින් අතලොස්සක් පමණයි.
ඔහුගේ වියෝවෙන් කම්පාවූ මිලියන ගනනක පරිස අතර රාජ්‍ය තාන්ත්‍රිකයින්, සංගීතඥයින්, මාධ්‍යවේදීන්, විද්වතුන්, රසිකයින් සහ ඔහු බිහිකළ ශිෂ්‍ය පරම්පරාව වශයෙන් සුවිශාල පරාසයක පිරිසක් ඉන්නවා.
ඔහු සමග ශක්ති සුසංයෝජන සංගීත කණ්ඩායමට නායකත්වය දුන් ජොන් මැක්ලෝෆ්ලින් John McLaughlin තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් “The King, in whose hands Rhythm became Magic, has left us… RIP my dearest Zakir. We will meet again.” ලෙස ලියා තිබුනා.
උස්තාද් සකීර් හුසේන් තබ්ලා මිලදී ගත්තේ හරිදාස් වත්කාර් නැමැත්තෙකුගෙන්. හරිදාස් පවසන ආකාරයට ඔහුගේ වඩාත්ම කීර්තිමත් පාරිභෝගිකයායි උස්තාද් සකීර් හුසේන්. ඉන්දියන් එක්ස්ප්‍රස් Indian Express පුවත් පත සමග සංවාදයකදී ඔහු කියනවා…
“සකීර් බායිගේ පියා, උස්තාද් අල්ලා රක්ඛාටත් තබ්ලා හැදුවේ මම. සකීර් බායි මුලින්ම මට කියලා තබ්ලාවක් හදවා ගත්තේ 1998 දී. මට අවසන් වතාවට සකීර් බායි මුණගැහුණේ මේ අවුරුද්දේ අගෝස්තු මාසයේදී පැවැත්වුනු ගුරු පූර්ණිමා දවසේ. එදා විශාල පිරිසක් ඔහුගේ නිවසට පැමිණ සිටියා. ඔහු තමන්ට අවශ්‍ය තබ්ලාවේ හැඩරුව සහ හඬ පිළිබඳව සියයට සියයක්ම නිවැරදිව උපදෙස් දෙන්න දක්ෂයෙක්. ඔහු වැඩියෙම අවධානය යොමු කළේ තබ්ලාව සුසර කිරීමේ අංගය ගැන. මම ඔහුට තබ්ලා හැදුවා, ඔහු මගේ ජීවිතය හැදුවා. ඔහුගේ වියෝවෙන් මගේ හදවත ඉරිතලලා. ඉදිරියේදී මා අතින් නිමවන තබ්ලා වලින් මගේ ශෝකය අනුනාද වෙනවා සත්තයි.”
මගේ පූජනීය ගුරුජි, පද්මභූෂන් වික්කු විනායක්රාම් හැරුණු කොට, උස්තාද් සකීර් හුසේන් තරම් නිහතමානී සංගීතඥයෙක් මගේ ජීවිතේදී මුණගැසී නැහැ. එතරම් ලෝක සම්භාවනාවට පාත්‍ර වූ, එතරම් විශිෂ්ටත්වයට එසවුනු සංගීතඥයෙක් වුවත් ඔහු හරීම සෝරත චරිතයක්. නිරහංකාර, කාරුණික මනුෂ්‍යයෙක්. සාමාන්‍යයෙන් සංගීත ක්ෂේත්‍රයේ භ්‍රාජමාන හින්දු භක්තිකයින් පණ්ඩිත්වරුන් ලෙසත්, මුස්ලිම්වරුන් උස්තාද්වරුන් ලෙසත් හඳුන්වනවා. එහෙත් මේ නිහතමානී මිනිසා ඔහුව උස්තාද් කියා ආමන්ත්‍රණය කරනවාට එකහෙලාම විරුද්ධ වුනා. ඔහු අපට කීවේ “මම උස්තාද් කියන නම්බු නාමයට ගැලපෙන්නේ නැහැ. මගේ පියා අල්ලා රක්ඛා, ෆායස් ඛාන්, අෆ්හාක් හුසේන්… ඒ අය තමයි උස්තාද්වරු. මට සකීර් කියලා කථා කළාම හොඳටම ඇති.” කියලා. ඉඳින් අප ඔහුව ඇමතුවේ ‘සකීර් බායි’ කියලා.
ආදරණීය සකීර් බායි. ඔබේ භව ගමන සෞම්‍ය වේවා.
විෂ්ණු වාසු
Vishnu Vàsu
චෙන්නායි නුවර සංගීත මහෝත්සවයට සහභාගී වෙමින්.
Information was gathered from diverse sources, including books, articles, and personal experiences.
Picture Credit Indian Express.