අලි : දැන් කරන වැඩේ වෙනුවට විද්‍යාත්මක වැඩක් කරන්නෙ කොහොමද?

Share post:

විශාල ජන වරමක් සහිතව බලයට පැමිණි වත්මන් රජයේ ප්‍රතිපත්ති පිළිබඳව ජනතාව තුළ විශාල බලාපොරොත්තු ගොන්නක් තිබේ.

ශ්‍රී ලංකාවේ දැනට පවතින විශාලතම සමාජාර්ථික හා පාරිසරික අභියෝගය වන අලි-මිනිස් ගැටුම සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය ලෙස දක්වා ඇත්තේ ගැටුම පාලනය කිරීමට වන අලි ගහනය, සංචරණ රටා හා වාසස්ථාන පිළිබඳ නිසි අධ්‍යයනයක් සිදුකර, ජීව විද්‍යාත්මක හා නව තාක්ෂණික ක්‍රමවේද භාවිත කරමින් ජන සහභාගීත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවය. නමුත් බලයට පැමිණ මසක් යන්නටත් ප්‍රථම එම ප්‍රතිපත්තිය අවිද්‍යාත්මක, අත්තනෝමතික හා අමනෝඥ ආකාරයෙන් වෙනස්වීම දෛවයේ සරදමක් වැනි ය. දිවයිනේ වනජීවී රක්ෂිතවලින් බැහැරව වාසභූමි පවත්වාගෙන යන අලි ඇතුන් රංචු ඉතා දුර බැහැර පිහිටි වනජීවී රක්ෂිතවලට පලවාහැරීම ඊට කදිම නිදසුනකි.

මෙරට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව බිහිවූ දා සිට මේ දක්වාම අලි ඇතුන් සංරක්ෂණයේ හා අලි-මිනිස් ගැටුම කළමනාකරණයේ පදනම වූයේ එම දෙපාර්තමේන්තුව විසින් පරිපාලනය වන වනජීවී රක්ෂිත ප්‍රදේශවලට අලි-ඇතුන් සීමා කිරීමය. නමුත් වසර 60 කට අධික කාලයක් තිස්සේ දැරූ එම උත්සාහයන්ගෙන් පසුව, අද වන විටත් වන අලි වාසභූමිවලින් සියයට 70ක්ම ව්‍යාප්ත වී ඇත්තේ සාමාන්‍ය ජනතාව නේවාසික ප්‍රදේශවල ය. එමගින් එය සම්පූර්ණයෙන්ම අසාර්ථක ප්‍රවේශයක් බව පෙන්නුම් කෙරෙන අතර, සමහර අවස්ථාවලදී වනජීවී නිලධාරීන්ට තම ජීවිත පවා අහිමි කරමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව දශක ගණනාවක් තිස්සේ ඉමහත් පරිශ්‍රමයක් දැරුවද අලි-ඇතුන් රක්ෂිත ප්‍රදේශවලට සීමා කිරීමට අපොහොසත් වීමට හේතුවී ඇත්තේ අලි ඇතුන්ගේ හැසිරීම් රටාව සහ ඉසිළුම් ධාරිතාවය සම්බන්ධ ගැටළු ඇතුළු ජීව විද්‍යාත්මක සහ පරිසර විද්‍යාත්මක කරුණු ගණනාවකි.

මෙසේ වනජීවී රක්‍ෂිත තුළට ගාල් කෙරෙන අලි-ඇතුන් ඒ තුළ රඳවාගත නොහැකිව යළිත් තමන්ගේ වාස භූමි වෙත පැමිණීම හෝ එසේ සිදුකර ගත නොහැකි අවස්‌ථාවලදී ඉතා අවාසනාවන්ත ලෙස කුසගින්නේ මිය යාම නොවැලැක්විය හැකි බව වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සතු පර්යේෂණ දත්තවලින් පවා අවධාරණය කර තිබේ. එබැවින් අලි-මිනිස්‌ ගැටුමට පිළියමක්‌ ලෙස එම ක්‍රමෝපායම යොදාගැනීමට වත්මන් රජයද කටයුතු කිරීම රෑ වැටුණු වලේ මහා දවාලේද ඇද වැටීමට උත්සාහ කිරීමක් බව අපි අවධාරණය කරමු.

තමන්ගේ නිජබිම්වලින්, වාසභූමිවලින් පන්නා පිටුවහල් කර පිටස්තර වනජීවී රක්ෂිතවලට ගාල් කරන අලි රංචුවල සිටින අහිංසක ගැහැණු සතුන්ට හා පැටවුන්ට ආගන්තුක පරිසරය තුළින් ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතාවන් සපුරා ගැනීමට නොහැකි වේ. එවැනි අවස්ථාවල එම සත්තු විදුලි වැටෙන් කොටුවූ ප‍්‍රදේශය තුළ සිරවී ආහාර හිඟයකට මුහුණ දෙති. එමගින් ඇතිවන පෝෂණ දුර්වලතා නිසා, විශේෂයෙන් කුඩා අලි පැටවුන් ඉතා අවාසනාවන්ත ලෙස දුක් විඳ බඩගින්නේ මිය යාම සිදුවේ.

වර්ෂ 2006 වියළි කාලයේදී වළව වම් ඉවුර ව්‍යාපෘතිය මගින් තම පාරම්පරික නිජ බිම් උදුරා ගන්නා ලදුව අලි-ඇතුන් හාරසියයක් පමණ ලු‍ණුගම්වෙහෙර ජාතික උද්‍යානයට ගාල් කෙරිණි. අලි පළවා හැරීමේ ඉතා අවාසනාවන්ත ඉරණම සපථ කරමින් මෙසේ ලු‍ණුගම්වෙහෙරට ගාල් කෙරුණු අලි-ඇතුන් පෝෂණ දුර්වලතා හා ඒ ඔස්‌සේ ඇතිවූ රෝගාබාධ මගින් මරණයට පත්වූ බව පරිසර ක්‍ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්‌වූ කාරණයකි.

එසේම වයඹ පළාත පුරා විසිරී සිටින අලි රංචු ද කහල්ල-පල්ලෙකැලේ සහ තබ්බෝව යන අභයභූමිවලටත් විල්පත්තු ජාතික උද්‍යානයටත් පළවාහැර මෙම ප්‍රදේශයේ අලි-මිනිස් ගැටුම් කළමනාකරණය කිරීමට දැරූ උත්සාහයන් අසාර්ථක වුණේ වරක්-දෙවරක් නොවේ. එසේම යාල ජාතික උද්‍යානය ආශ්‍රිතව දිවිගෙවූ අලි රංචු උද්‍යානය තුළට ගාල්කර ඉදිකළ විදුලි වැට හේතුවෙන් හඳපානාගල ප්‍රදේශයේ ජීවත්වූ අලි පරපුර වඳවී යාම ද යාල කලාප අංක එක කොටසට ඒ අවටින් පන්නා සිර කළ අලි ගැහැනු සතුන් හා පැටවුන් විශාල ප්‍රමාණයක්‌ ආහාර නොමැතිව මිය යමින් සිටීම ද සැඟවිය නොහැකි සත්‍යයකි. අද දක්වාම එම වනජීවී රක්‍ෂිතවල වසරක්‌ පාසා සෑම වියළි කාලයකම අලි පැටවුන් මියයෑම එම වනජීවී රක්‍ෂිතවල අලි ගහනයන්ගේ ඉදිරි පැවැත්මට ඉතා අහිතකර අන්දමින් බලපා ඇති බව අවධාරණය කළ යුතුය.

වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව හා සංරක්ෂණ පර්යේෂණ ආයතනය එක්ව ඉකුත් වසර ගණනාවක් පුරා වන අලින්ට චන්ද්‍රිකා තාක්ෂණ කරපටි පළඳවා ලබාගත් දත්ත මගින් සිදුකෙරුණු පර්යේෂණ මගින් ද අනාවරණය වන්නේ කොතරම් අලි පලවාහරීම් සිදුකළද අලි-මිනිස් ගැටුමට දායක වන තනි අලින් එම සතුන්ගේ වාසභූමි තුළම රැඳීසිටීමට දැඩි උත්සාහයක් දරන බව ය. කෙසේ හෝ එම සතුන් තම වාසභූමියෙන් ඉවත් කළද ඉතා කෙටි කලකින් නැවතත් තම වාසභූමියට එම සතුන් පෙරළා පැමිණෙන බව ය. ඒ අනුව වනජීවී රක්‍ෂිතවලින් පරිබාහිරව තම වාසභූමි පවත්වාගෙන යන අලි-ඇතුන් ඔවුන්ගේ පාරම්පරික වාසභූමිවලින් පිටමං කර වනජීවී රක්ෂිත තුළට ගාල් කිරීමට දරන උත්සාහයන් සියල්ල අසාර්ථක බව විද්‍යාත්මකව ඔප්පු වී ඇත.

සාමාන්‍යයෙන් මෙවැනි පළවා හැරීම් මගින් සිදුවන්නේ අලි ගැහැනු සතුන් හා පැටවුන් පමණක්‌ තම වාසභූමිවලින් ඉවත් කිරීම ය. එහෙත් ඉහත සඳහන් කළ පරිදි අලි-මිනිස්‌ ගැටුමට හේතු වන්නේ තරුණ පිරිමි අලින් බව ප්‍රකට කාරණයකි. මෙවැනි පසුබිමක්‌ තුළ අලි රංචු පළවා හැරීම මගින් අලි-මිනිස්‌ ගැටුම විසඳීමට නොලැබෙන බව යළි-යළිත් සඳහන් කළ යුතු නැත. මෙවැනි අවස්ථාවල තනි අලින් බොහෝ විට සිදු කරන්නේ අලි පලවා හැරීම් මඟහැර වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වී මෙහෙයුම අවසන් වූ පසු යළිත් තමන්ගේ පුරුදු වාසභූමියට පැමිණීම ය. මේ ආකාරයෙන් අලි පළවාහැරීම් අවසන් කළ වහා එම ප්‍රදේශය හා තදාසන්නව, පැන්නීමෙන් කුපිත වූ පිරිමි වන අලින් සැරිසැරීම හා ඔවුන් මිනිස්‌ ජනාවාසවලට පැමිණ භවභෝග හා අනෙකුත් යටිතල පහසුකම් විනාශ කරමින් මිනිස්‌ ජීවිතවලට ද තර්ජන ඇති කිරීම සුලබ ව දක්නට ලැබේ.

තවද අලි-ඇතුන් රක්ෂිත ප්‍රදේශවලට ගාල්කිරීම සඳහා නිතර-නිතර අසාර්ථක අලි පැන්නීම් සිදුකිරීම මගින් සිදුවන්නේ ගැහැනු සතුන් හා පැටවුන් සහිත අලි රංචු පවා මිනිසුන් කෙරෙහි දක්‌වන බිය පහවීම හා මිනිස්‌ ප්‍රතිරෝධයට අනුවර්තනය වීම බව අවධාරණය කළ යුතුය. සාමාන්‍යයෙන් අලි රංචු ගම්වැදීමට දක්වන ප්‍රවණතාව ඉතා අඩු නමුත් මිනිසුන්ගේ අඩන්තේට්‌ටම් හා අලි පළවාහැරීම්වලට නිරතුරුව භාජනය වන අලි රංචු අද වන විට ගම් වැදීමට පවා නැඹුරු වන තත්ත්වයක්‌ තුළ ඒ රංචුවලට බිහිවන පිරිමි සතුන් වැඩි දෙනෙක්‌ අති උග්‍ර අලි-මිනිස්‌ ගැටුමකට මුලපිරීම නොවැළැක්‌විය හැකිවීම විමතියට කරුණක්‌ ද?

එසේම නිතර-නිතර අලි ඇතුන් පළවාහැරීමේ මෙහෙයුම් සිදුකිරීමෙන් හා ඒවාට විශාල වශයෙන් අලි වෙඩි භාවිත කිරීමෙන් සහ අලි-ඇතුන්ට පතුරම් තුවක්කුවලින් පවා වෙඩි තැබීමෙන් අලින්ගේ ප‍්‍රචණ්ඩත්වය වර්ධනය වේ. මිනිසුන් කෙරෙහි වෛරයක් ඇතිවේ. අලි රංචුවල සිටින කුඩා අලි පැටවුන් මිනිසුන්ගේ අලි වෙඩි, ශබ්ද නැගීම් හා ගින්දර වැනි අලි- ඇතුන් සාමාන්‍යයෙන් බිය දක්වන සාධකවලට නිතර මුහුණදීම සිදුවේ. එමගින් ඒවාට ඇති බිය ඉවත්වී යයි. මෙසේ දිගින්-දිගටම මිනිසුන් අලින් සමග ගැටීමෙන් එම ගැටුම තව-තවත් වර්ධනය වනවා මිස ගැටුම සංසිඳීමක් සිදු නොවේ. එය ඉදිරියේදී තව-තවත් බරපතළ අලි-මිනිස් ගැටුම් ඇතිවීමට හේතුවේ.

චන්ද්‍රිකා තාක්‍ෂණ කරපටිවලින් ලබාගන්නා දත්ත හා ක්‍ෂේත්‍ර අධ්‍යයන මගින් මනාව පැහැදිලි වන කාරණය වන්නේ අලි රංචු පරිභෝජනය කරන ප්‍රදේශ සීමිත හා විශේෂයෙන් වෙන් කර ගත හැකි බව ය. මහ කැලෑ, ළඳු කැලෑ, අත්හරින ලද පෞද්ගලික ඉඩම්, වගා කන්නයෙන් පසු අත්හරිනු ලැබූ කුඹුරු (ඉපනැලි) හා හේන් බිම් මෙසේ අලි රංචු විසින් පරිභෝජනයට ගනු ලබන කොටසට අයත් වන අතර, එම කොටස්‌වලට සැලසුම් සහගතව අලි- ඇතුන් සීමාකිරීම මගින් ඉන් පිටත ඇති ප්‍රදේශ විධිමත් සංවර්ධන සැලැස්‌මකට ලක්‌කර මිනිස්‌ පරිභෝජනයට ගැනීමට හැකියාව පවතී. ඉනික්‌බිති අලි-ඇතුන්ගේ භූමි පරිභෝජන රටාවට අනුකූලව ඔවුන් මිනිස්‌ වාසස්‌ථානවලට හා වගා බිම්වලට ඇතුළුවීම වැළැක්‌වීමට අලි-ඇතුන් භාවිත ප්‍රදේශ හා මිනිස්‌ භාවිත ප්‍රදේශ අතර ස්‌ථිර හා තාවකාලික අලි බාධක යෙදීම මගින් දීර්ඝ කාලීන සැලසුම් සහගත වැඩපිළිවෙළකට අනුකූලව මෙම අලි-මිනිස්‌ ගැටුමට තිරසර විසඳුමක්‌ ලබාගත හැකිය.

එසේ තිබියදී වර්තමාන රජය ද අලි-මිනිස් ගැටුම් කළමනාකරණයේ නාමයෙන් අතීතයේ සිදු කළ වැරදි නැවත-නැවතත් සිදුකිරීමට පෙළඹීම පුනරුද යුගයේ පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් බලාපොරොත්තු දල්වාගෙන සිටි පරිසර සංරක්ෂණවේදීන්ට ගැසූ අතුල් පහරක් වැනි ය. මින් පෙර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘ගම සමග පිළිසඳර’ වැඩසටහනේදී ද ඒ ආකාරයෙන් වයඹ පළාතේ කරුවලගස්වැව ප්‍රදේශයේ අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා එම ප්‍රදේශයේ සිටින අලි-ඇතුන් විල්පත්තු ජාතික උද්‍යානයට පළවාහැරීමට යෝජනා විය. නමුත් පුනරුද යුගයේ සිදුකරන බව කී අලි ගහනය, සංචරණ රටා හා වාසස්ථාන පිළිබඳ නිසි අධ්‍යයනයක් සිදුකර, ජීව විද්‍යාත්මක හා නව තාක්ෂණික ක්‍රමවේද භාවිත කරමින් ජන සහභාගීත්ව වැඩසටහනට ද එදා සිදු වූ ව්‍යසනයම වීම කනගාටුදායක ය.

ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම අවම කිරීමේ වැඩපිළිවෙළේ සාධනීය ඉදිරි පියවරක් ලෙස 2020 වසරේ සකස් කෙරුණු අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැළැස්ම හැඳීන්විය හැකිය. විවිධ බාධක මධ්‍යයේ පවා මෙය ක්‍රියාවට නැංවීමෙන් යම්කිසි ප්‍රගතියක් අත්කරගෙන ඇති බව 2024 වසරේ අලි-මිනිස් ගැටුමේ වින්දිතයන්ගේ මරණ සංඛ්‍යාව පහළ වැටීමෙන් පැහැදිලි වේ. එබැවින් වර්තමාන රජය සිදුකළ යුත්තේ තවදුරටත් අඳුරේ අතපත ගාමින් කල්මැරීම නොව, ජනාධිපති කාර්යසාධක බලකායක් පත්කර අදාළ ක්‍රියාකාරී සැලැස්ම මගින් අවධාරණය කෙරෙන වන අලි-ඇතුන් ඔවුන්ගේ පාරම්පරික වාසභූමි තුළ ම සංරක්ෂණය කරමින් වඩාත් විද්‍යාත්මක හා තිරසර ප්‍රවේශයක් ඔස්සේ මුළු දිවයිනේ ම අලි-මිනිස් ගැටුමට විසඳුම් සෙවීම සඳහා නායකත්වය ගැනීම ය.

  • සුපුන් ළහිරු ප්‍රකාශ්

Related articles

ඈත රන් විමන් තුළින් සුදු පරෙවි රෑන සේ පියා සලා ආ ප්‍රියා…..

යොවුන් වියේ ප්‍රේමයට බලපත්‍රයකින් නොව සාහිත්‍ය කෘතියකින්ම සපුරා අවසරය දී තිබූ හොරණ තක්ෂිලාවෙහි යොවුන් විය ගෙවන්නට ලැබීම මම...

නිහතමානී විශිෂ්ටයෙකුගේ නික්මයාම – උස්තාද් සකීර් හුසේන් පිළිබඳ මතක ආවර්ජනය

පද්මවිභූෂන් සම්මානයෙන් පුදලද, සුප්‍රකට සංගීතවේදී, උස්තාද් සකීර් හුසේන්, හදිසියේ හටගත් පෙනහළු ආබාධයක් හේතුවෙන් 2024 දෙසැම්බර් පහලොස්වැනිදා, ඇමෙරිකාවේ, සැන්ෆ්‍රැන්සිස්කෝ...

තරුපති මුණසිංහ ගේ, “ශබ්ද මානවවංශවේදය” ශ්‍රවණ අත්දැකීම් කාචය හරහා සංස්කෘතික භූ දර්ශන ගවේෂණය කිරීම පිළිබඳ මගේ විචාරය

දෙසැම්බර් 20 වෙනිදා මහවැලි කේන්ද්‍රයේ දී තරුපති මුණසිංහගේ සවුන්ඩ් එත්නොග්‍රැෆි සහ ඔහුගේ බිරිඳ ගයනි ගිසන්තිකගේ දෙවන කාව්‍ය සංග්‍රහය...

‘කළු ලෑලි නැති ඉස්කෝලේ’ – සුජීව විජේරත්න

ලංකාව නූතන ලෝකයෙහි ඉදිරියට ගෙන යාමට අවශ්‍ය නම් කවර පාලකයෙකුගෙන් වුව සිදුවිය යුතු දැවැන්තම මැදිහත්වීම සිදුවිය යුත්තේ අප...