මෛත්‍රී ඝාතන උත්සාහයේ සැකකරුවන් වසර 15ක් රක්ෂිත බන්ධනාගාරයේ – ඊයේත් ඇප ප්‍රතික්ෂේපයි !

Share post:

2008 වසරේ බොරලැස්ගමුව ප්‍රදේශයේදී එවකට ඇමැතිවරයකු වූ මෛත්‍රිපාල සිරිසේන ගමන් කළ රථ පෙළට පැන ඔහු ඝාතනය කිරීමට තැත් කළ එල්ටීටීඊ සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකාරියක වන සම්මුගරාසා ගජබාලිනිට අනුබල දීම ඇතුළු අධිචෝදනා 17ක් යටතේ පවරා ඇති නඩුවේ විත්තිකරුවන් දෙදෙනා ඕනෑම ඇප කොන්දේසියක් යටතේ මුදාහරින ලෙසට කළ ඉල්ලීමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. එස්. එස්. සපුවිද ඊයේ (28) ප්‍රතික්ෂේප කළේය.

සෙල්වරාසා කිරුබාකරන් හෙවත් ගොස්තාර් හෙවත් මොරිස් හා තම්බයියා ප්‍රකාශ් හෙවත් දනුෂ් නමැති එම විත්තිකරුවන් දෙදෙනා මේ වන විට වසර 15කට ආසන්න කාලයක් තිස්සේ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින බව පෙන්වා දෙමින් එම විත්තිකරුවන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරංග බණ්ඩාර හා අසිත විපුලනායක එම ඇප ඉල්ලීම කර තිබිණි.

එම විත්තිකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බවත් ඔවුන්ට එල්ල කර ඇත්තේ ද එම පනත යටතේ ගැනෙන චෝදනා බවත් පෙන්වා දෙමින් නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවූ රජයේ අධිනීතිඥවරයා එම ඇප ඉල්ලීමට විරුද්ධත්වය දක්වන ලදි.

එම විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති චෝදනා සම්බන්ධයෙන් සාක්‍ෂි විභාගය කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා බව පෙන්වා දුන් විනිසුරුවරයා, පැමිණිල්ලේ සාක්‍ෂි විභාගය ලබන වසරේ අප්‍රේල් 28, 29 සහ 30 යන දින තුන තුළ පැවැත්වීමට ද දින නියම කළේය.

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේදී පී. විජේරත්න හා දොන් ගුණපාල වීරසිංහ යන අයගේ මරණය සිදුකිරීමට කුමන්ත්‍රණය කිරීම හා තවත් පුද්ගලයන් පස්දෙනකුට බරපතළ තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා එම නඩුව පවරා ඇත.

Related articles

වසර 28ක් පුරා එකම නගරයක, එකම පවුලක සාමාජිකයන් බෙදා වෙන්කළ බර්ලින් තාප්පය

දෙවන ලෝක යුද්ධය නිල වශයෙන් අවසන් වන්නේ 1945 මැයි 8 වෙනිදා. ජයග්‍රහණය කරන මිත්‍ර පාර්ශ්වය වන්නේ සෝවියට් රුසියාව.....

කොක්අඩිචෝලෙයි : වසර 38ක් තිස්සේ යුක්තිය අහිමි සමූහ ඝාතනයක් !

කුඩා දරුවන් ඇතුළු නිරායුධ දෙමළ වැසියන් සිය ගණනක් මරා දැමූ බවට ආරක්ෂක අංශ වෙත චෝදනා එල්ල වී තිබෙන...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට රනිල් අනීතිකව දුන් අක්කර 5ක් ආපසු ගනී : අපියි කිව්වෙ ගන්න කියලා – සංගමයේ ලේකම්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිවාඩු නිකේතනයක් ඉදිකිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට බදු පදනම යටතේ ලබා දී...

නාට්‍ය කලාවට දේශපාලන අනුග්‍රහය එපා!

ඉන්දියාවේ නාට්‍යය උත්සවයකට යාමට මුදල් හෙවූ නාට්‍යකරුවන් දෙදෙනා, බුද්ධික සහ චාමිකට ඉන්දියාවට යාමට අවශ්‍ය ගුවන් ප්‍රවේශ පත්‍රවලින් අඩකට...