ඈ වචන වනාන්තරයක් මවන්නී ය. ඔබට එහි අතරමං විය හැකි වාර සංඛ්‍යාවට සීමාවක් නොමැත. එමෙන්ම ඔබට එයින් පිටතට පැමිණ නිදහස් වීමට සොය ගත හැකි මංපෙත් සහ විධික්‍රමවලට ද සීමාවක් නොමැත. ඇය කාංචනා අමිලානිය. ඇයගේ වචන වනාන්තරය “කාල රේඛාව” ය.
කිසිවෙකුට සිය සිතිවිලි ඉතාමත්ම නිවරුදිවම ඉතාම කෙටි වචන සංඛ්‍යාවකින් අකුරු බවට පත් කළහැක්කෙක් වේද ලේඛනයේ යෙදෙන ඔහු හෝ ඈ හෝ මට අනුව කවියෙකි. කිවිඳියකි. ඔහුට හෝ ඇයට හෝ අන් කෙනෙකුගේ සිතිවිලි ද එලෙසින්ම ඉතාමත්ම නිවරුදිවම ඉතාම කෙටි වචන සංඛ්‍යාවකින් අකුරු බවට පත් කළහැකි නම් හේ මට අනුව ඉන්ද්‍රජාලිකයෙකි. කාංචානා ඇයගේ මෑතකදී පළකරන ලද “කාල රේඛාව”නම් කවි සංග්‍රහය තුළින් ඒ ඉන්ද්‍රජාලික හපන්කම් පාන්නීය. පාඨකයාගේ සිත් කියවන්නීය. භාෂාවේ දසකම් දක්වන්නීය. “කාල රේඛාව”යනු විශිෂ්ට සිතිවිලි කන්දරාවකි.
අතීතයේ ගුරුකුළ ලේඛන හෝ සාහිත්‍ය හෝ සම්ප්‍රදායන් මත බිහි වුවත් වත්මනෙහි ප්‍රාථමික ලේඛන/විචාර/සම්මාන කල්ලි බිහිවී ඇත්තේ එකිනෙකා පිටකසා ගැනීමේ කැමැත්ත මත පමණි. යමෙක් සනීපෙට තවකෙනෙකුගේ පිට කසත් ද අනකො ආපසු හැරී තමන්ගේ පිට කැසූ පුද්ගලයාට කෘතගුණ දැක්වීම පිණිස පිට කසත් ද එවැන්නන් කිහිප දෙනෙක් එක්ව මේ කල්ලි බිහි වී ඇත. අවාසනාවකට මෙම ලේඛන/විචාර/සම්මාන කල්ලි වලින් පිටත බොහෝ පුද්ගලයන්ගේ නිර්මාණ කිසිවෙකුගේ ඇසට නිසියාකාරව හසු නොවී නිසි ඇගයුමකට ලක් නොවී යටපත් වී යයි. මෙමෙ ව්‍යසනයට ගොදුරුවූ නිර්මාණකරුවන් සහ ඔවුනගේ නිර්මාණ බොහෝ ඇත.
කාංචාන අමිලානි හිතුවක්කාරය. මම අනුමාන කරන ලෙසට ඇය ද මේ පිටකසා ගැනීමේ කල්ලිවලට එකතු නොවන බැවින් ඇයට සහ ඇයගේ නිර්මාණ වලටද උරුමව ඇත්තේත් එයමය (මෙය සමාජ මාධ්‍ය හරහා වූ මාගේ නිරීක්ෂණයකි). එම නිසාවෙන් ම ඇයගේ “කාල රේඛාව” කිසිවෙකුගේ නිසි විචාරයකට නිසි ඇගයුමකට ලක් වූවාදැයි සැක සහිතය. ඇය විසින් මීට පෙර පළ කරන ලද “ප්‍රේමයේ කාර්තු” (2015) සහ “භූමරංගය ඔබේ ඇස් දෙක” (2017) ට අයත් වූයේත් මේ ඉරණමය. “කාල රේඛාව” තුළ ඈ පාන දස්කම් වල ඉඟි ඇගේ පළමු පොත් දෙකෙහිම තිබුණි.
එහෙත් කාංචානා සතු අපූරු පාඨක සමූහයක් ඇත. ඔවුන් බොහෝ දෙනෙක් නව යොවුන් වියේය. එයින් බොහෝ දෙනක් ඇයගේ “ගුහා සටන” නවකතාව තුළින් එක් වූ අය යැයි මට සිතේ. ඊටත් අමතරව ඇයගේ ඇයටම ආවේණික වූ ජීවන සම්ප්‍රදාය ද හේතුවක් වන්නට ඇත. ඇය සමාජ මාධ්‍යවල බහුලව හැසිරෙයි. ඇය දේවල් අළුතින් දකින්නීය. අළුත් ඇසකින් අළුත් දෑ විමසන්නීය. ඇය සිය පොත එළිදක්වන විට ඇය සිය අතින් ලියූ කවියක් ප්‍රදානය කරන ගමන් පොතෙහි පිටුවක “කාල රේඛාව”හි අපූරු තීන්ත මුද්‍රාවක් සිය සටහනත් සමඟ තබන්නේ එබැවිනි. එමෙනිම ඇය අතැති කැමරාවෙන් අපූරු දසුන් ඡායරූපයට නඟන්නීය (ඈ සතුව අපූරු නිර්මාණශීලී ඇසක් ඇත. ඇයගේ ඡායාරූප දුටු මාගේ මිත්‍ර ප්‍රවීණ ඡායාරූප කලා ශිල්පි මංගල උදුකල ( Mangala Udukala) ත් මේ ගැන මා සමඟ වරෙක පැවසුවේය) ඇය විදෙස් සිනමාපට සහ ටීවී චිත්‍රපට ලෝලියෙකි. ඉංග්‍රිසි පොතපත කියවයි. දේශපාලනයේ දී ගල් ගිල්ලා මෙන් නිශ්ශබ්දය (ඈ ගැන ඉතිරි සියල්ල දැන ගැනීමට ඉසුරු චාමර සෝමවීර (Isuru Chamara Somaweera)ගේ ”මමත්වා” හි 44 වෙනි කවිය “දුම්රියපොළ මෙණෙවිය” කියවන්න) මේ සියල්ලම ඇයටම ආවේණික මේ පාඨක සමූහය ඈ වටා රංචු ගැසීමට හේතු වූවා විය හැක. එහෙත් මේ කාරණ සියල්ලම ඇයගේ කවිය සම්ප්‍රදායික ලේඛන/විචාර/සම්මාන කල්ලි වලින් තව දුරටත් මඟහැරීමට හේතු වන්නට ඇත (එයද මාගේ නිරීක්ෂණයකි).
මා මිත්‍ර කවියනි, කිවිඳියනි, විචාරකයින්, විචාරකාවියනි, සාහිත්‍ය ලෝලියනි, කාංචනාගේ “කාල රේඛාව” මඟ නොහැරිය යුතුයි. කියවන්න. විඳින්න. නැතහොත් ඔබ කියවන්නේ සිංහල කවි පොත් වහන්සේගේ පිටු ඉරා දමා ඇති පිටපතකි.
“කාල රේඛාව” හි කවරය ගැනද නොකියා බැරිය. ගගන වර්ණකුලසුරිය (Gagana Warnakulasooriya) ගේ කවර නිර්මාණ අතුරින් ඉතාමත්ම විශිෂ්ට කවර නිර්මාණයකි. එය ම කවියකි. එය කාංචනා අමිලානිය. එය “කාල රේඛාව”ය.
(මේ පොත කියවා දැනි මාස ගණනක් ගතවී ඇති නමුත් මේ ගැන දීර්ඝ ලිවිමකට තවදුරටත් බලා සිටියහොත් එය මාගේ නොකෙරුණු වැඩ ලැයිස්තුවට එකතුවීමට බොහෝ ඉඩක් තිබූ බැවින් මෙලෙසින් හෝ කුඩා සටහනක් කිරීමට සිතුවෙමි.)