තව තත්පර දෙකෙන් නිදහස් අධ්‍යාපනය නැතිවෙනවා ! – මහාචාර්ය අර්ජුන පරාක්‍රම

Share post:

ප්‍රභූ තත්ත්‍රයේ හා ව්‍යාපාරික පන්තියේ අවශ්‍යතා මත පසුගිය රජය සමයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක කිරීමට ගිය ‘ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාමුව’ සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව සහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින සියලු දේශපාලන පක්ෂ සිය ස්ථාවරය හෙළි කළ යුතු යැයි මහාචාර්ය අර්ජුන පරාක්‍රම අවධාරණය කරයි.

මෙම ප්‍රතිපත්ති සකස් කළේ, කිසිදු විනිවිධභාවයකින් තොරව ජනාධිපතිවරයා විසින් රහසිගතව පත් කළ ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසක් විසින් බවත් එහි එකම අරමුණ අධ්‍යාපනය බිස්නස් එකක් බවට පත් කරගත් මහාපරිමාණ ව්‍යාපාරිකයන්ට වාසි සැලසීම සහ ප්‍රභූ පන්තියට තවදුරටත් විකල්ප අවස්ථා හා වරප්‍රසාද සලසාදීම බවත් මහචාර්යවරයා ප්‍රකාශ කරයි.

ඔහු මේ අදහස් පළ කළේ, සැප්තැම්බර් 30 වැනිදා අධ්‍යාපන සංවර්ධන සන්ධානයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමිනි.

නිදහස් අධ්‍යාපන අයිතිය තමයි මේ රටේ මිනිස්සුන්ට තිබුණු වටිනාම දේ. මේ වාර්තාවෙ ඒ ගැන වචනයක් වත් නෑ. මේ සිද්ධවෙන්නෙ අධ්‍යාපනයෙන් ඔබ්බට ගිය පන්ති අරගලයක්. නිදහස් අධ්‍යාපනය නිසා නිර්ධන පන්තියේ අයට යම් මට්ටමක නිදහසක් ලැබිලා ඒගොල්ලො සමාජයට පිවිසෙනවා, වෘත්තිකයො වෙනවා. ඒක නවත්වන්න තමයි මේක ගේන්නෙ”

අපි මේක පාර්ලිමේන්තුවේ පොඩ්ඩක් පරක්කු කළා. තව තත්පර දෙකෙන් නිදහස් අධ්‍යාපනය නැති වෙනවා. දැනුත් ඒ අනතුර තියෙනවා. අපි නිරන්තරයෙන් අරගල කරන්න ඕන, නැත්නම් මේක අමතක වෙනවා.” මහාචාර්යවරයා ප්‍රකාශ කළේය.

වාර්තාවක් යැයි කීමට පවා නොවටින එම විකාරසහගත ලියවිල්ල හඳුන්වා දුන්නේ, ජාතික අධ්‍යාපන කොමිසම මගින් සියලු පාර්ශ්වවල අදහස් විමසා සකස් කළ පිටු 400 ගණනක වාර්තාව ජනාධිපතිවරයා විසින් කුණුකූඩයට දැමීමෙන් පසුව බව පැවසූ මහාචාර්ය අර්ජුන පරාක්‍රම, එම ප්‍රතිපත්ති රාමුව විමර්ශනයට ලක් කළ පාර්ලිමේන්තුවේ අධ්‍යාපන ආංශික අධීක්ෂණ කාරක සභාව විශිෂ්ට වාර්තාවක් ඉදිරිපත් කළ නමුත් ආණ්ඩුව එය යට ගැසූ බවද පැවසුවේය. එම වාර්තාව මගින් අවධාරණය කර ඇති නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීම පිළිබඳ මූලධර්ම කිසිදු දේශපාලන පක්ෂයක ප්‍රතිපත්ති ප්‍රකාශනවල සඳහන් නොවීම කනගාටුවට කරුණක් බවද ඔහු පෙන්වා දෙයි.

ඉහළම ප්‍රතිපත්තිය මොකක්ද මේ ආණ්ඩුවල? ධනේෂ්වරය වර්ධනය කිරීම. සීමිත සම්පත් ටික අසීමිත විදියට වරප්‍රසාදිත කට්ටියට ලබාදීම. ඒව දැන් මූලධර්ම වෙලා. නිදහස් අධ්‍යාපනය නෙවෙයි මූලධර්මය. බිස්නස් එකක් කරන්න පුළුවන්ද කියන එක.”

ජනතාව බෙලහීන වී සිටින අර්බුදකාරී අවස්ථාවල තම පන්ති උවමනාවන් ඉටු කර ගැනීම ධනපති ආණ්ඩුවල ප්‍රකට උපායමාර්ගයක් බව පවසන මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ, මෙම ප්‍රතිසංස්කරණ යෝජනාවලියද සුනාමි ඛේදවාචකය දඩමීමා කරගෙන, ධීවර ප්‍රජාව ඇතුළු නිර්ධන පංතිය වෙරළබඩ ඉඩම්වලින් පලවාහැර එම ඉඩම් හෝටල් ව්‍යාපාරිකයන්ට ලබාදීම වැනි කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් බවයි.

මේ වගේ දෙයක් කරන්නේ, අර්බුදකාරී අවස්ථාවක හිතාමතා. නියෝමි ක්ලයින් (Naomi Klein) ලියල තියනව මේ ගැන. මොකද සාමාන්‍ය වෙලාවක කරන්න බැරි ජනතා විරෝධී දේවල් කරන්න පුළුවන් හොඳම අවස්ථාව මිනිස්සු දැඩි පීඩනයෙන් පෙළෙනකොට. මිනිස්සුන්ට ඔළුව උස්සන්න බැරි වෙනකොට. මිනිස්සුන්ට වික්ල්ප නැතිකොට මෙන්න මේක දානවා.”

දැනට පවතින අධ්‍යාපන ක්‍රමයේ පවතින ගැටලු සහ බරපතළ විෂමතා ගැන අවධාරණය කරමින් මහාචාර්ය අර්ජුන පරාක්‍රම පැවසුවේ, ලංකාව අධ්‍යාපනය සඳහා දළ ජාතික නිෂ්පාදිතයෙන් අඩුම ප්‍රතිශතයක් වැය කරන ලොව දෙවැනි රට බවයි.

ඒ කියන්නෙ අපිට වඩා අඩුවෙන් තියෙන්නෙ එක රටයි ලෝකෙ. හොඳ උදාහරණයක් දෙන්නම්. ජනගහනයෙන් සීයට පනහක් වන කාන්තාවන්ට අධ්‍යාපනය අවශ්‍ය නෑ කියල විශ්වාස කරන ඇෆ්ගනිස්ථානයේ අධ්‍යාපනයට වෙන් කරන ප්‍රතිශතයත් අපට වඩා වැඩියි. මේක ලැජ්ජාසහගත තත්ත්වයක් නෙවෙයිද?”

අධ්‍යාපන ක්ෂේත්‍රයේ අය දන්නවා මේකෙ මහ විශාල විෂමතා තියනවා. ඒව ගැන මොනවත් මේ යෝජනාවල නෑ. මේ විෂමතා තියෙන්නෙ කොළඹයි මුලතිව්යි වැලිඔයයි අතර නෙවෙයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ සාමාන්‍යපෙළ ප්‍රතිඵල දත්ත අනුව ලංකාවෙ පළමු පාසලයි, අන්තිමටම ඉන්න පාසලයි තියෙන්නෙ මේ කොළඹ අධ්‍යාපන කලාපයේ කිලෝමීටර් 14ක පරිසරයක් ඇතුළෙ. ඒක දුප්පත් පොහොසත්කම පිළිබඳ ප්‍රශ්නයක්. ඒවට නෙවෙයිද අපි උත්තර හොයන්න ඕන. ඒව නෙවෙයිද මූලික අවශ්‍යතා?”

මෙම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහාචාර්යවරයා පැවසුවේ, අධ්‍යාපනයට සම්බන්ධ සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කිරීම, නිසි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක පළමු පියවර විය යුතු බවයි. සිදු කෙරෙන කවර හෝ ප්‍රතිසංස්කරණයක්, නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය ආරක්ෂා කිරීම, අධ්‍යාපනය මූලික අයිතියක් ලෙස පිළිගැනීම, සමානාත්මතාව හා සමාජ සාධාරණත්වය තහවුරු කිරීම, සිසුන්ගේ මූලික අවශ්‍යතා සහතික කිරීම යන මූලධර්ම මත පදනම් විය යුතු බවයි.

අධ්‍යාපන සංවර්ධන සන්ධානයේ සභාපති ආචාර්ය චන්දන බණ්ඩාර මාධ්‍ය හමුව අමතමින්, ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයෙහි ගුණාත්මක සංවර්ධනය පිළිබඳව සිය සංවිධානය පසුගිය දසක දෙකක පමණ කාලයක සිට කටයුතු කර ඇති බවද සියලු පාර්ශ්වවල සහභාගිත්වයෙන් සිදු කෙරෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සඳහා සිය පූර්ණ සහාය ලබාදීමට සූදානම් බවද ප්‍රකාශ කළේය.

ගුරු සංවිධාන ක්‍රියාකාරිනී ප්‍රභාෂිණී ශ්‍රියාරත්න, සිවිල් සමාජ ක්‍රියාකාරික කමල් හේරත්, අධ්‍යාපන සංවර්ධන සන්ධානයේ ජාතික සංවිධායක ශාන්ත කුලතුංග යන අයද මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූහ.

Related articles

‘ආච්චිලා මිනිබිරීලා සහ තවත් ගැහැණු’ – කුමුදු කුමාරසිංහ

කුමුදු ගෙ ආච්චිලා මිනිබිරීලා සහ තවත් ගැහැනු එක්ක ටික දවසක් තිස්සෙ කරළ ගමන අදින් අවසන් කරගත්තා. එතකොට මං...

ඉන්දියාවෙන් පාඩමක්

ටාටා ස්ටීල් චෙස් තරගාවලිය අවසන් වුණා. ටාටා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් ඉන්දියාවේ පැවැති එම තරගාවලියට ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් සහභාගී...

පාර්ලිමේන්තු ඉතිහාසයට නව පිටුවක් – කාන්තාවන් 22ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස දිවුරුම් දෙති !

හෙට (21) ආරම්භ වන දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩි ම මන්ත්‍රීවරියන් පිරිසක් දිවුරුම් දීමට නියමිත...

ජුලම්පිටියෙ අමරෙගේ මරණ දඬුවම අභියාචනාධිකරණයෙන් ස්ථිර කරයි – මහ මොළකරුවන් නිදොස් කොට නිදහස් ද?

2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ...