ජනාධිපති සමාවෙන් – ජනාධිපති මුක්තියෙන් අනුරට යථාවාදී තථාකාරී වීමට අවස්ථාවක් තිබේ !

Share post:

රටේ වර්තමාන අවශ්‍යතාවලට සහ වෙනස්කම්වලට ගැලපෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරන බව ජාතික ජන බලවේගය ජනාධිපතිවරණයේදී පැවසීය. නීති සම්පාදනය කිරීමේ වගකීම පැවරී ඇත්තේ පාර්ලිමේන්තුවට හෙවත් ව්‍යවස්ථාදායකයට වන නිසා එවැන්නක් සිදු කළ හැක්කේ නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයෙන් පසුව ය.

බි්‍රතාන්‍යය ඇතුළු බොහෝ රටවල ඇත්තේ නම්‍ය හෙවත් පහසුවෙන් සංශෝධනය කළ හැකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකි. එහෙත් ලංකාවේ ඇත්තේ අනම්‍ය හෙවත් පහසුවෙන් සංශෝධනය කළ නොහැකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකි. මෙහි ජනතා පරමාධිපත්‍යයට බලපාන වගන්ති ඇතුළු ඇතැම් වගන්ති සංශෝධනය කිරීම සඳහා වුවද, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් හෝ එම තුනෙන් දෙකේ බහුතරයක් සමග ජනමත විචාරණයක් අවශ්‍ය වේ. එවැනි තත්ත්වයක් යටතේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කොට ඊට අනුමැතිය ලබාගැනීම විශේෂ මෙහෙයුමකි.

එහෙත් එය අනිවාර්යයෙන්ම කළ යුත්තකි. එවැනි මෙහෙයුමකදී අනියවාර්යෙන්ම සංශෝධනය කළ යුතු කොටස් දෙකක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරේ.

දැනට ක්‍රියාත්මක වන සංශෝධන 21ක් සිදුකරන ලද 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 වැනි පරිච්ඡේදයේ සඳහන් වන්නේ ජනරජයේ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ය. ඒ යටතේ ඇති 34 සහ 35 ව්‍යවස්ථාවල දැක්වෙන්නේ ජනාධිපති සමාව දීම සහ ජනාධිපතිවරයාට විරුද්ධව නඩු පැවරිය නොහැකි බවයි. මේ ව්‍යවස්ථා 02ම බරපතළ ලෙස අවභාවිත වූ ව්‍යවස්ථා 02ක් වන අතර, ඒවා සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමේ හෝ පූර්ණ සංශෝධනයකට ලක්කිරීමේ වගකීමක් ජාතික ජන බලවේගයේ නව ආණ්ඩුවට තිබේ.

34 (1) ව්‍යවස්ථාවේ දැක්වෙන ආකාරයට ශ්‍රී ලංකා ජනරජයේ කවර වූ හෝ අධිකරණයකදී වරදකරු කරන ලද කවර වූ හෝ වරදකරුවකුට, සම්පූර්ණ සමාවක් හෝ කොන්දේසි සහිත සමාවක් ලබාදීමට, දඬුවම් ලිහිල් කිරීමට, දඩ මුදල් අයකර ගැනීම වැළැක්වීමට ජනාධිපතිවරයාට බලය තිබේ. මෙය සම්පූර්ණයෙන්ම ජනාධිපතිවරයාගේ තනි කැමැත්ත මත සිදු කළ හැකිය. එහෙත් එහි (ඈ) කොටසේ පමණක් මරණ දඬුවම ලබාදී ඇති වරදකරුවකු සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී සීමා කිහිපයක් පනවා ඇත. එම සීමාවලට අනුව නඩුව විභාග කළ විනිශ්චයකාරවරයාගෙන් වාර්තාවක් ලබාගැනීමත්, නීතිපතිවරයා මගින් අධිකරණ විෂය බාර ඇමැතිවරයාගෙන් වාර්තාවක් ලබාගැනීමත් කළ යුතුය.

ගෝනවල සුනිල්ලාගේ සිට දුමින්ද සිල්වාලා දක්වා ම උදාහරණවලින් පෙන්වන්නේ මේ ව්‍යවස්ථාවෙන් පවරන ලද බලය අවභාවිත කිරීමයි. ජාතික නිදහස් දවසේදී හෝ වෙසක් පොහොය දිනය වැනි විශේෂ දිනවලදී ලබාදෙන ජනාධිපති සමාව කිසිදු අවස්ථාවක ජනතාව අතර අභියෝගයට ලක්වී නැත. ඊට හේතුව වන්නේ එවැනි අවස්ථාවලදී සාමාන්‍යයෙන් ජනාධිපති සමාව ලබාදෙන්නේ සුළු වැරදිවලට දඩ ගෙවාගත නොහැකිව සිටින පිරිස් හෝ යහපත් කල්ක්‍රියාවෙන් යුත් සුළු වැරදිවලට දඬුවම් ලැබූවන් වැනි අයට ය. එහෙත් විශේෂ තත්ත්වයන් යටතේ ලබාදුන් ජනාධිපති සමාව පිළිබඳව ජනතාව අතර ඇත්තේ බරපතළ අප්‍රසාදයකි.

සාමාන්‍යයෙන් ජනාධිපතිවරුන්ට පවා මේ අප්‍රසාදය පිළිබඳව අදහසක් තිබූ බව පෙනේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මුලින්ම ජනාධිපති සමාව ලබාදුන්නේ අධිකරණයට අපහාස කිරීම පිළිබඳ චෝදනා ලත් එස්.බී. දිසානායකට ය. ඉන්පසු මරණ දඬුවම නියම කෙරුණු කාන්තාවකට ඔහු ජනාධිපති සමාව ලබාදුන්නේ 2009 වසරේදී ය. 2015දී ධුරයට පත්වූ මෛත්‍රිපාල සිරිසේන මුලින්ම ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදුන්නේ 2019 වසරේදී ය. ඉන්පසු රෝයල් පාර්ක් ඝාතක ජූඩ් ශ්‍රමන්තට ජනාධිපති සමාව ලබාදුන්නේය.
කෙසේ වෙතත් තමන්ගේ වචන චක්‍රලේඛ ලෙස සලකා කටයුතු කරන්නැයි කී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මරණ දඬුවම නියම කෙරුණු දුමින්ද සිල්වාට සහ සුනිල් රත්නායකට ජනාධිපති සමාව ලබාදුන්නේ ධුරයේ දිවුරුම් දී මාස 05ක් වැනි කෙටි කාලයකදී ය. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ වෘත්තීය සමිති කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් ධුරය දැරූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් ය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී දුමින්ද සිල්වා වරදකරු වූයේ. ඔහුට මහාධිකරණයෙන් නියම කරන ලද මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ද තහවුරු කළේය. මිරුසුවිල් සමූහ ඝාතනය සම්බන්ධයෙන් වරදකරු කෙරුණු සුනිල් රත්නායකගේ දඬුවම ද එසේ ය. මහාධිකරණයෙන් ලබාදුන් මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ද තහවුරු කෙරිණි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය මගින් මෙවැනි කරුණු පිළිබඳ අධ්‍යයනය කිරීමට පත්කළ ජනාධිපති නීතිඥ එල්.එම්.කේ. අරුලානන්දන්ගේ සභාපතිත්වයෙන් යුත් කමිටුව සිය වාර්තාව මගින් අවධාරණය කර තිබුණේ රාජ්‍යයේ එක් අංශයකට තවත් අංශයක් සම්බන්ධයෙන් අධිකාරි බලයක් පැවතීම බරපතළ ගැටලුවක් බවයි. අධිකරණයේ සමස්ත ක්‍රියාකාරිත්වය මෙමගින් හෑල්ලු කිරීමක් සිදු වේ. එම නිසා ජනාධිපතිවරයාට ඇති දණ්ඩනයෙන් මුක්ත කිරීමේ මේ බලය සංශෝධනය කළ යුතුය.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් මෙවැනි තර්කයක් ද ඉදිරිපත් කළ හැකිය. නීතිය යනු සෑම අවස්ථාවකදී ම යුක්තිය නොවන තත්ත්වයක් යටතේ ඇතැම් විට ජනාධිපති සමාවක් තිබීම ද වැදගත් වනු ඇත. එසේ නම් එය තනි කැමැත්තක් නොවිය යුතුය. විශේෂඥ මණ්ඩලයක නිර්දේශ මත සමාජයේ පොදු යහපත පිළිබඳව සලකමින් එවැනි තීරණ ගැනීමේ ක්‍රමයක් තිබිය හැකිය. එවිට එහි පාරදෘෂ්‍යභාවයක් තිබේ.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ජනාධිපතිවරයාගේ තීරණවලට මූලික අයිතිවාසිකම් නඩු මගින් ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝග කළ හැකිය. දුමින්ද සිල්වාට ලබාදුන් ජනාධිපති සමාවත්, රෝයල් පාර්ක් සිදුවීමේ ජූඩ් ශ්‍රමන්තට ලබාදුන් ජනාධිපති සමාවත් අධිකරණයෙන් ඉවත් කෙරුණේ ඒ අනුව ය. සුනිල් රත්නායකට ලබාදුන් ජනාධිපති සමාවත්, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදුන් ජනාධිපති සමාවත් ඒ ආකාරයට ම අභියෝගයට ලක්කර තිබේ. එම නිසා අරගල මගින් පෝෂිත අයිතිවාසිකම් පිළිබඳ ජයග්‍රහණ හේතුවෙන් දැන් ජේ.ආර්. ජයවර්ධන කිව්වාක් මෙන් ගැහැනියක් පිරිමියකු කරන්නටත්, පිරිමියකු ගැහැනියක කරන්නටත් මේ ව්‍යවස්ථාවට හිතන තරම් ලේසි නැත. එහෙත් නීතියේ තවමත් එය එසේ ම තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 ව්‍යවස්ථාවේ දැක්වෙන්නේ ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරිය නොහැකි බවයි. 35 (1) ව්‍යවස්ථාවේ මෙසේ දැක්වේ.
‘ජනාධිපතිවරයා ලෙස ධුරය දරන කවර වූ හෝ තැනැත්තකු විසින් පෞද්ගලික තත්ත්වයේ ලා හෝ නිල තත්ත්වයේ ලා හෝ කරන ලද හෝ නොකර හරින ලද කිසිවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කිසිම අධිකරණයක හෝ විනිශ්චය අධිකාරයක කිසිම නඩු කටයුත්තක් පැවරීම හෝ පවත්වාගෙන යෑම නොකළ යුත්තේය.’
මූලික අයිතිවාසිකම් නඩු මගින් මේ වන විට එහි යම් සීමාවක් සලකුණු කර තිබුණද, ව්‍යවස්ථාවේ තවමත් දැක්වෙන්නේ පෞද්ගලික තත්ත්වයේ ලා කරනු ලබන ක්‍රියාවක් සම්බන්ධයෙන් හෝ ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරිය නොහැකි බවකි. එනම් ජනාධිපතිවරයාට දණ්ඩ මුක්තිය හිමි ය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ව්‍යවස්ථා විරෝධී ලෙස පොලිස්පති ධුරයට පත්කිරීමේ තීරණය අභියෝගයට ලක්කරමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට එරෙහිව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව 07ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩු පවරන ලදි. එහෙත් රනිල් වික්‍රමසිංහ වගඋත්තරකරුවකු කිරීමට නඩුව පවරන ලද අවස්ථාවේ නොහැකි විය. ඊට හේතුව ඔහු ඒ වන විට ජනාධිපති ධුරය දැරීම ය. ඔහුට මුක්තිය තිබීම ය. පසුගිය 29 වැනිදා මේ පෙත්සම් සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු මෝසමක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබුණේ දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය නොදරන නිසා, ඔහුට මුක්තිය නොමැති බැවින්, ඔහු නමින් වගඋත්තරකරුවකු කිරීමට අවසර ලබාදෙන ලෙසයි. ඊට අධිකරණයෙන් අවසර ලැබිණි.

මේ ආකාරයට ම ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදන් කිරීමේ නඩුවෙන් ගෝඨාභය රාජපක්ෂ ගැලවී සිටියේ මුක්තිය පෙන්වමින් ය. 2019 ජුනි මාසයේදී යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කළේ ගෝඨාභය රාජපක්ෂ සාක්ෂි ලබාදීම සඳහා කැඳවීමට ය. ඊට අදාළ දිනය වූ එම වසරේ සැප්තැම්බර් 21 වැනිදා ඔහුගේ නීතිඥයන් අධිකරණයට දැනුම් දුන්නේ සිය සේවාදායකයා අසනීපයකට ප්‍රතිකාර ගැනීම සඳහා සිංගප්පූරුවට ගොස් ඇති බවයි. ඉන්පසු අධිකරණයෙන් ලැබුණු දිනයට එහි නොගොස් ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණයට ගියේය. ඔහු අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබුණේ ආරක්ෂක හේතු මත තමන්ට යාපනයට යෑමට නොහැකි බවයි. එහෙත් එම කාලයේදී ම ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ඔහු යාපනයට ගියේය.

කෙසේ වෙතත් අභියාචනාධිකරණය මගින් එම ඉල්ලීම සලකාබැලීමට පෙර ඔහු ජනාධිපති ධුරයේ දිවුරුම් දුන්නේය. ඔහුගේ නීතිඥයන් ඉන්පසු අධිකරණයට දැනුම් දුන්නේ සිය සේවාදායකයාට මුක්තිය ඇති නිසා ඔහු ව අධිකරණයට කැඳවිය නොහැකි බවයි. අධිකරණයට එය පිළිගැනීමට සිදු විය. පසුගිය සතියේ මේ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේදී කැඳවිණි. ඒ අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් කරන ලද අභියාචනයකට අනුව ය. එහිදී ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණයට දැනුම් දුන්නේ දැන් මුක්තිය නොමැති නිසා සිය සේවාදායකයා යාපනය හැර රටේ අනෙක් ඕනෑම අධිකරණයකදී සාක්ෂි ලබාදීමට සූදානම් බවයි.

මෙහි තවත් පැත්තක් තිබේ. එනම් මේ නඩුවට ගෝඨාභය රාජපක්ෂ කැඳවා තිබුණේ සාක්ෂිකරුවකු ලෙසයි. සාක්ෂිකරුවකු ලෙස ජනාධිපතිවරයා නම් කළ විට ඔහු කටයුතු කළ යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් ව්‍යවස්ථාවේ සඳහනක් නැත. එම නිසා ගෝඨාභය රාජපක්ෂ නොකළ වැඩක් කරන්නට අවශ්‍ය නම් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට හැකිය. කොළඹ, ලිප්ටන් වට රවුමේදී පැවැති විරෝධතාවකදී ජාතික ජන බලවේගයේ පළාත් පාලන අපේක්ෂකයකු කඳූළු ගෑස් නිසා ඇති වූ තත්ත්වයකින් මිය ගියේය. එම නඩුව ඉදිරියට යන්නේ නම්, එහි සිටි අනුර කුමාර දිසානායකට ද සාක්ෂි ලබාදිය හැකිය. ඔහු ව සාක්ෂිකරුවකු ලෙස නම් කළහොත්, මෙතෙක් ජනාධිපතිවරයකු නොකළ පරිදි, අධිකරණයකට යෑමේ අවස්ථාවක් ඔහුට ලැබේ.

මේ සියලු තත්ත්වයන් සලකා බැලූ විට පැහැදිලිව පෙනෙන්නේ පිළිගත් අධිකරණ පද්ධතියේ තීරණ අභියෝගයට ලක්කිරීම සඳහා ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවරා ඇති මේ බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකදී හෝ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතකදී අනිවාර්යයෙන්ම වෙනස් විය යුතු බවයි. එවැනි අත්තනෝමතික තත්ත්වයන් වෙනස් කිරීම ජනතාව මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වන්නකි. ජනතා අපේක්ෂා ඉටුකිරීම ආණ්ඩුවේ වගකීමකි.

ශාලික විමලසේන

Related articles

ඉන්දියාවෙන් පාඩමක්

ටාටා ස්ටීල් චෙස් තරගාවලිය අවසන් වුණා. ටාටා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් ඉන්දියාවේ පැවැති එම තරගාවලියට ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් සහභාගී...

පාර්ලිමේන්තු ඉතිහාසයට නව පිටුවක් – කාන්තාවන් 22ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස දිවුරුම් දෙති !

හෙට (21) ආරම්භ වන දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩි ම මන්ත්‍රීවරියන් පිරිසක් දිවුරුම් දීමට නියමිත...

ජුලම්පිටියෙ අමරෙගේ මරණ දඬුවම අභියාචනාධිකරණයෙන් ස්ථිර කරයි – මහ මොළකරුවන් නිදොස් කොට නිදහස් ද?

2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ...

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ කළමනාකරණ කුසලතා සංවර්ධන වැඩසටහන දියත් කරයි !

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ එක් වී පිරිනමන නවතම අධ්‍යාපන වැඩසටහන වන කළමනාකරණ කුසලතා සංවර්ධන...