ප්‍රහාරයට දින 12යි / සැකකරුවන් සිව්දෙනයි – ඔවුන් ගැනත් ඇත්තේ පරණ තොරතුරු
සැකකරුවන්ගේ යාවත්කාලීන ක්‍රියාකාරකම් හෝ සැරිසැරුම් ගැන කිසිවක් කියා නෑ.
ලියුමේ අරමුණ සහරාන්ලා ඉලක්කයට යනතුරු ඔවුන් විමර්ශන ඇසින් බේරාහැරීමද?
මෙහි ඇත්තේ, නිලන්ත ජයවර්ධන විසින් රවී සෙනෙවිරත්න වෙත පාස්කු ඉරුදින ප්‍රහාරයට දින 12කට පෙර යවන ලදැයි කියා මහත් ආන්දෝලනයක් පසුගියදා ඇතිකරන ලද්දා වූ ද, රවී සෙනෙවිරත්න සහ ශානී අබේසේකර පාස්කු දින ප්‍රහාරයේ නියම කුමන්ත්‍රණකරුවන් ලෙස දේශපාලන අවශ්‍යතා හා අනාගත විමර්ශන පීලිපැන්නවීමේ වුවමනාව මත හුවාදැක්වීමට යොදාගත්තාවූ ද ලියමන යි.
ඒ එන් ජේ ද අල්විස් (ජයකී ද අල්විස්) දඩිබිඩි කමිටු වාර්තාවෙන් රවී සෙනෙවිරත්න චූදිතයකු කිරීමට මුළුමනින් පාදක කරගත් ලියැවිල්ල වන්නේද, අවස්ථාවාදියෙක් පමණක් නොව දේශපාලන අඳබාලයකු ද වන ගම්මන්පිල කරේ තියාගෙන යන ලියවිල්ල වන්නේද මෙය යි.
‘රාජ්‍ය බුද්ධි සේවාව නම් නිල ලිපි ශීර්ෂය යටතේ මේ ලියවිල්ල ”අති රහස්‍යයි” මුද්‍රාව සහිතව නිකුත් කරන්නේ එවකට රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන යි.
ලිපියේ දාතම 2019 අප්‍රේල් 09 වන අතර ලියැවිල්ල ඍජු ව යොමුකරන්නේ රවී සෙනෙවිරත්නට නොව පොලිස්පති පූජිත ජයසුන්දරට ය. රවී සෙනෙවිරත්න වෙත යැවෙන්නේ එහි පිටපතයි.
ඒ අනුව මෙය ගම්මන්පිල සඟවන්නට උත්සාහ කරන පරිදි කෙලින්ම නිලන්ත ජයවර්ධන විසින් රවී සෙනෙවිරත්නට යවන ලද්දක් නොවේ.
ලියැවිල්ලේ ඇත්තේ මොනවාද?
දැන් අපි මේ ලියැවිල්ල වෙත හැරෙමු. එහි අඩංගුව ඇත්තේ මොනවාද?
සහරාන් ඔහුගේ අනුගාමිකයන් පිරිසක් ද සමග රට තුළ මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමේ සූදානමක් පවතින බවට විදෙස් බුද්ධි අංශයක් තොරතුරු වාර්තා කර ඇති බව ද, ප්‍රහාරය ප්‍රසිද්ධ කතෝලික පල්ලි හා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ඉලක්ක කරන බව ද එම තොරතුරේ වැඩිදුරටත් සඳහන් බව එහි දැක්වේ.
මේ තොරතුර ගැන සිදු කළ මූලික සොයාබැලීම්වලදී, ප්‍රහාරයට සහභාගි වනු ඇති පුද්ගලයන්ගෙන් කිහිපදෙනෙක් සිය බුද්ධි සේවාව විසින් හඳුනාගෙන ඇති බව නිලන්ත පවසයි.
නිලන්ත දක්වන පළමුවැන්නා සහරාන් ය. පාස්කු දින ප්‍රහාරයෙන් දින 12කට පෙර යවන මේ ලිපියෙන් රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානියා කියා සිටින්නේ සහරාන් ඒ වන විට අක්කරෙයිපත්තු ඔලුවිල් ප්‍රදේශයේ සැඟවී සිටින බවට තොරතුරු ඇති බව ය.
මෙය මුළුමනින්ම වැරදි තොරතුරකි. මේ ලියමන යවන මොහොතේ සහරාන් වැඩි වශයෙන් ගැවසී ඇත්තේ බස්නාහිර පළාත ඇතුළු ප්‍රදේශවල බව දැන් පැහැදිලි වී තිබේ.
නිලන්ත දක්වන දෙවැන්නා සහරාන්ගේ බාල සොහොයුරු රිල්වාන් ය. ඔහුගේ කාත්තන්කුඩි ලිපිනය ද, වෙනත් ආගමික සංවිධානයක් සමග ඇතිවූ ගැටුමකින් පසු ප්‍රදේශයෙන් පළාගොස් සැඟවී සිටින බව ද, එසේ සැඟවී සිටියද සහරාන් සමග අක්කරෙයිපත්තුව, කුලියාපිටිය, පුත්තලම, මාවනැල්ල හා තිහාරිය යන ප්‍රදේශවල සංචාරය කර ඇති බව ද, ලියමන ලියන අවස්ථාව වන විට ඔලුවිල් ප්‍රදේශයේ ඔහුගේ සමීපතමයකුගේ නිවසේ රැඳී සිටින බව ද කියයි.
මේ කියන කාලයේ රිල්වාන් රාත්‍රී 11ත් පාන්දර 4ත් අතර කාලයේ සිය බිරිඳ හා දරුවන් රැඳී සිටින ආරියම්පති නම් ප්‍රදේශයේ ලිපිනයකට පැමිණෙන බව ද නිලන්ත සිය ලිපියෙන් කියයි.
අප දැන් දන්නා පරිදි මේ ලියමන ලියන අප්‍රේල් 12 වැනිදා වන විට රිල්වාන් ඔලුවිල් ප්‍රදේශයේ රැඳී සිටින බව කීම ද මුළුමනින් නොමග යවනසුළු තොරතුරු සැපයීමකි.
මිල්හාන් නමැත්තා සම්බන්ධයෙන් මේ ලිපියෙන් පවසන්නේ ඔහුගේ සමාජ ජාලා ගිණුමේ නම, ඔහුගේ දුරකතන අංකයක් ආදී දේ ගැන ය.
එහෙත් එල්ටීටීඊයට එරෙහිව මුස්ලිම් සන්නද්ධ කණ්ඩායම් ගොඩනැගීම හා මුස්ලිම් සාමාජිකයන් යුද හමුදාවට බඳවාගැනීමේ වැඩසටහනක් සුරේෂ් සලේ යටතේ පැවැති බව රනිල් වික්‍රමසිංහ පාස්කු දින ප්‍රහාර විමර්ශන කොමිසමට ලබාදුන් කටඋත්තරයේ තිබේ. ඒ අනුව 2007 වසර වැනි ඈත කාලයක මිල්හාන් නමැත්තෙක් හමුදාවට බඳවාගෙන ඇති අතර ඔහු බඳවාගෙන ඇත්තේ පොලිස් ෆායිස් නම් තවත් හමුදා ඔත්තුකරුවකුගේ මාර්ගයෙනි. මේ පොලිස් ෆායිස් ද එංගලන්තයේ ජීවත් වෙමින් සහරාන්ගේ අදහස් විවිධ සමාජ ජාලා ඔස්සේ ප්‍රචාරය කරන ලද්දෙකි.
නිලන්ත සිය ලිපියේ සඳහන් කරන මිල්හාන් 2018–19 කාලයේ ජාතික තව්හිද් ජමාද් සංවිධානයේ සන්නද්ධ කඳවුරු ගණනාවක අවි පුහුණුව බාරව සිටි තැනැත්තා ය. ඒ වනවිටත් ඔහු හමුදා සාමාජිකයකු හෝ ඔත්තුකරුවකු ලෙස සිටියාද යන්න පැහැදිලි නැති නමුත්, එවැනි තත්ත්වයක නොසිටියත් තමන් යටතේ අවි පුහුණුව ලත්, තමන් යටතේ සේවය කළ පුද්ගලයෙක් සන්නද්ධ හමුදා හා හමුදා ඔත්තු සේවා වෙතින් මුළුමනින් ගිලිහී යනු ඇතැයි ඇඟවීම මෙන්ම, අති දැවැන්ත මරාගෙන මැරෙන අන්තවාදී ප්‍රහාරයකට දින 12ක් තබා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා මේ කිසිදු පසුබිම් තොරතුරක් නැතිව අලුතෙන්ම සොයාගත් පුද්ගලයකු ගැන කියන්නාක් මෙන් සමාජ ජාලාවල සක්‍රීය මිල්හාන් කෙනකු ගැන කීම බලවත් සැකයට තුඩුදෙන්නකි.
මේ කියන මිල්හාන් පාස්කු දින ප්‍රහාරයෙන් පසු ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන දැන් රිමාන්ඩ් භාරයේ රඳවා සිටී. අත්හිටුවන ලද විමර්ශන නැවත අපක්ෂපාතී හා සාධාරණ ලෙස ඇරැඹෙන්නේ නම්, මේ මිල්හාන්ගෙන් ද සමස්ත සිදුවීම් දාමයට අදාළ වැදගත් තොරතුරු හෙළිවන්නට ඉඩ තිබේ.
නිලන්ත සිය අප්‍රේල් 12 දින ලිපියෙන් කියන්නේ මේ මොහොමඩ් මිල්හාන් ගැන නම්, ඔහු ප්‍රහාරයට මේ තරම් ආසන්න මොහොතක මේ පුද්ගලයා ගැන මීට වඩා නිශ්චිත තොරතුරු සැපයිය යුතු වූවා නොවේද?
නිලන්ත සිය ලිපියෙන් ඊළඟට කියන්නේ බදුර්දීන් මොහොමඩ් මොහිදීන් හෙවත් ආමි මොහිදීන් නමැත්තා ගැන ය. ඔහු යුද හමුදාවේ හිටපු සෙබළකු බව නිලන්ත මෙහි කියයි. ඇත්තටම නම් ආමි මොහිදීන් යනු 2019 වන විටත් හමුදා ඔත්තු අංශවල ඔත්තුකරුවකු ලෙසින් කටයුතු කරන ලද පුද්ගලයෙක් බව හෙළිව තිබේ. එනම් ඔහු සහරාන් කණ්ඩායමට සම්බන්ධ වී ඇත්තේ හමුදා ඔත්තුකරුවකු ව සිටියදී ම ය. එහෙත් ආමි මොහිදීන් ගැන ද මේ පිටු 02ක ලිපියේ එන්නේ ඉතාම සාමාන්‍ය තොරතුරු මිස නිශ්චිත කිසිවක් නොවේ. ඔහු කාත්තන්කුඩි සිදුවීමෙන් පසු ප්‍රදේශයෙන් පළාගොස් පාසිකුඩා, වාලච්චේන ප්‍රදේශයේ සිටින බවත්, සිකුරාදා දිනවල කාත්තන්කුඩියේ (මේ ලිපියේ සඳහන් ලිපිනයේ පිහිටි) ඔහුගේ නිවසට බිරිඳ හා දරුවන් දැකගැනීමට පැමිණෙනු නිරීක්ෂණය වී ඇති බවත් නිලන්ත කියයි.
මේ අනුව ජයකී ද අල්විස් කමිටුව විසින් මහ ලොකුවට ගෙන රවී සෙනෙවිරත්නලා වරදකරුවන් කරන රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රධානියා ප්‍රහාරයට දින 12කට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පිටපතක් සහිතව පොලිස්පතිට යවන මේ පිටු දෙකේ ලියවිල්ලේ, සහරාන් ඇතුළු අනුගාමිකයන් පිරිසක් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන්නට සැරසෙන බවට විදේශ බුද්ධි අංශයක් විසින් තොරතුරු වාර්තා කරනු ලැබ ඇති බව සහ ප්‍රහාරය කතෝලික පල්ලි හා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ඉලක්ක කරන බව වැඩිදුරටත් සඳහන් වන්නේ යැයි කියනවාට වඩා වෙනත් වැදගත් තොරතුරක් නැත.
සහරාන්, රිල්වාන්, මිල්හාන් හා ආමි මොහිදීන් ගැන ලිපියේ කියන කරුණුවල කිසිදු යාවත්කාලීනකමක් නැති අතර, ඇත්තටම නම් ඒ වන විට ඔවුන් කරමින් සිටි දෑ හා සැරිසරමින් සිටි පෙදෙස් ගැන කිසිදු අලුත් තොරතුරක් නැත.
මෙය හරියට යමක් සිද්දවූවාට පසු ඇඟ බේරාගැනීමට දාන ජාතියේ ලියුමකට වැඩි දෙයක් බව නෙපෙනේ.
ඇත්තටම නිලන්ත මේ ලිපිය යවන දවස් වන විට සහරාන් ඇතුළු කණ්ඩායම කරමින් සිටියේ මොනවාද? සැරිසරමින් සිටියේ කොහේද?
මේ ප්‍රශ්න දැනට මොහොතක් පසෙකින් තබා, මේ ලියමනෙන් පැනනඟින වෙනත් කාරණයක් ගැන අපේ අවධානය යොමුකරමු.
රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී මේ ලියවිල්ල යවන්නේ 2019 අප්‍රේල් 09වැනිදා ය. එනම් පාස්කු දින ප්‍රහාරයට දින 12කට පෙර ය. රවී සෙනෙවිරත්න ඒ වන විට සිටින්නේ විදෙස්ගතව ය. එය පෞද්ගලික සංචාරයක් නොව රාජකාරි ගමනකි. ඔහු ෂබඑැරචදක හෙවත් ඔයැ ෂබඑැරබ්එසදබ්ක ක්‍රසපසබ්ක ඡදකසජැ ධරට්බස‘්එසදබ (ජාත්‍යන්තර අපරාධ පොලිස් කටයුතු පිළිබද සංවිධානය) හි රැස්වීමකට ප්‍රංශය බලා ගොස් සිටී.
මේ ලිපියේ පිටපත රවී සෙනෙවිරත්නගේ අතට හරියට ම නියමිත වේලාවට ලැබිය යුතු යැයි නිලන්ත ජයවර්ධන කල්පනා කළේ නම්, එසේ ලැබී සෙනෙවිරත්න විසින් අතිශය වැදගත් ආරක්ෂණ පියවර ගනු ලැබිය යුතු වී නම්, නිලන්ත ජයවර්ධන මුලින්ම බැලිය යුත්තේ “මේ හරියටම ක්‍රියාත්මක විය යුතු නිලධාරියා“ අදාළ පුටුවේ මේ මොහොතේ ඉන්නවාද නැද්ද යන්න යි. තමන් ලිපියේ පිටපතක් යවන නිලධාරියා රාජකාරියක් සදහා ෂබඑැරචදක වෙත ගොස් ඇති බවත්, ඔහු අහවල් දවස වන තුරු යළි සේවයට වාර්තා නොකරනු ඇති බවත් රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රධානියා නොදැන සිටින්නට විදිහක් නැත. විශේෂයෙන් නිලන්ත ජයවර්ධන යනු රවී සෙනෙවිරත්න යටතේ ද සේවය කර ඇති නිලධාරියකු වන අතර, දෙදෙනා ඉතා හොඳින් එකිනෙකා හඳුනති.
එසේ නම් තමන් මේ ලියමන යවන අවස්ථාවේ රවී සෙනෙවිරත්න රටේවත් නැති බව නිලන්ත දනී. එසේ දන්නේ නම් ද, මෙය අතිශය වැදගත් තොරතුරක් හා කඩිනම් ක්‍රියාකාරීත්වයක් අත්‍යවශ්‍ය කාරණයක් නම් ද, නිලන්ත කළ යුතුව තිබුණේ රටෙත් නැති නිලධාරියකුට ලියුමක පිටපතක් යවා නිකං බලා සිටීම නොව, අදාළ තොරතුර වෙනත් තාක්ෂණික ක්‍රමවේදයකින් හෝ අදාළ පුද්ගලයාට සන්නිවේදනය කිරීමයි. නිදසුනකට තත්ත්වයේ බරපතළකම දැනුම් දී රටින් බැහැර සිටින සෙනෙවිරත්නට ආරක්ෂිත යෙදවුමක් ඔස්සේ දුරකතන ඇමතුමක් දී අවශ්‍ය විධිවිධාන සඳහා අදාළ නිලධාරීන්ට උපදෙස් දෙන්නැයි නිලන්තට කියන්නට පුළුවන්කම තිබිණි.
එහෙත් නිලන්ත එවැන්නක් කළේ නැත. තමන්ගේ ජීවිතයටත් වඩා රටේ ‘ජාතික ආරක්ෂාව‘ වෙනුවෙන් කැප වන බව කියන රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානියෙක් කටයුතු කර ඇත්තේ ඒ කියන දෙයට ගැලපෙන පරිදි නොවේ.
(සහරාන්ලා කරමින් සිටි, නිලන්ත ජයවර්ධන මේ ලියුමෙන් වාර්තා නොකළ දේවල් ඊළඟ ලිපියෙන්)
මෙම ලිපිය මෙහි පළකිරීමට පෙර එහි අත්අකුරින් සටහන් කර ඇති කොටස් දෙකක් ම‘විසින් මකාදමනු ලැබ ඇත. ඒ පෞද්ගලික අත්අකුරු පළකිරීමෙන් කිසියම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට අගතියක් වීමට ඉඩ ඇතැයි යන උපකල්පනය මත ය. එහෙත් එසේ අත්අකුරෙන් සටහන් කරනු ලදුව ම’විසින් මකා දමන ලද වගන්ති පහත පරිදි සටහන් කරමි.
- අවසාන පරිච්ඡේදය බලන්න
- නිලන්ත පොලිස්පතිට අප්‍රියෙල් 09 දින යැවූ ලිපිය. පිටපත ෘෂඨ / ක්‍ෂෘට යවා ඇත.
- සනත් බාලසූරිය (fb)