ගම්මන්පිලලාට පේන්න බැරි ‘අපරාධ චූදිතයා’ – කවුද මේ රවී සෙනෙවිරත්න ?

Share post:

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඊයේ (21) පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව විශේෂ හෙළිදරව්වක් කරන බව සතියකට පෙර පැවසීය. රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා විසින් පත්කරන ලද කමිටු වාර්තාවක් ඔහු විසින් ඉදිරිපත් කරන ලදි. එම වාර්තාව එළිදැක්වූ මාධ්‍ය හමුවේදී ගම්මන්පිල හිටපු මන්ත්‍රීවරයා අවධාරණය කරන ලද විශේෂ කරුණක් විය.
ඒ, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරයෙන් ඉවත් කරන ලෙසයි. ඔහු යළි-යළිත් කිව්වේ ඒක ය. එම නිසා ගම්මන්පිල මේ තරම් ඉවත් කරන ලෙස කී, අද (22) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී විජිත හේරත් ඇමැතිවරයා විසින් ඉවත් නොකරන බව කී රවී සෙනෙවිරත්න යනු කවුදැයි දැනගැනීම වැදගත් ය.

දුක්ගන්නා වලව්වේ රවීන්ද්‍ර බණ්ඩාර සෙනෙවිරත්න (රවී සෙනවිරත්න) උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් සේවයට එක්ව, ඉන්පසු පොලිස් විශේෂ කාර්ය බළකායට අනුයුක්තව පොලිස් පරීක්ෂක, ප්‍රධාන පොලිස් පරීක්ෂක සහ සහකාර පොලිස් අධිකාරී දක්වා උසස්වීම් ලැබ පසුව යළත්ි ශ්‍රී ලංකා පොලිසියට පැමිණියේය. ඔහු රාජ්‍ය බුද්ධි සේවයේ දීර්ඝ කාලයක් කටයුතු කළ අතර, බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස ද සේවය කර තිබේ.
ඔහු නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස්වීම් ලැබූ පසු මඩකලපුව දිසා බාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ අතර, පසුව 2012 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති ලෙස ස්ථාන මාරු ලැබීය. 2015දී ඔහු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස උසස්වීම් ලැබූ අතර, 2019 දෙසැම්බර් 31 වැනිදා ඔහු විශ්‍රාම ලැබීය. කෙටි කාලයක් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය බාරවත්, ත්‍රස්ත මර්දන කොට්ඨාසය බාරවත් ඔහු කටයුතු කළේය.

බීමත්ව රිය පදවමින් අනතුරක් කළේ යැයි චෝදනා කරමින් 2023 ඔක්තෝබර් 29 වැනිදා වැල්ලවත්ත පොලිසියෙන් රවී සෙනෙවිරත්න අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කරවීමට කටයුතු කළ අතර, ඔහු ඒ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිලි කළේය. එවකට පොලිස්පති චන්දන වික්‍රමරත්න එම පැමිණිල්ල විමර්ශනය කිරීම සඳහා පොලිස් විශේෂ විමර්ශන ඒකකයට යොමුකළේය. පොලිස් විශේෂ විමර්ශන ඒකකය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා එහි අවසන් වාර්තාව 2024 ජුනි 18 වැනිදා එවකට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට බාර දුන්නේය.

මෙම විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මෙය ඇප දිය හැකි වරදක් නිසා ඔහුට පොලිස් ඇප ලබා දෙන ලෙස පොලිස්පති චන්දන වික්‍රමරත්න පොලිස් නීති කොට්ඨායේ උපදෙස් මත අදාළ පොලිස් ස්ථානාධිපතිවරයාගේ සිට ඉහළ නිලධාරීන්ට උපදෙස් දී ඇතත් එම උපදෙස ක්‍රියාත්මක කර නැති බවයි. පොලිස්පතිවරයා තමන් දුන් උපදෙස සම්බන්ධයෙන් සටහන් ද තබා තිබේ.
පොලිස් විශේෂ විමර්ශන ඒකකය දේශබන්දු තෙන්නකෝන් වෙත ලබාදුන් වාර්තාවේ දෙවැනි පිටුවේ සඳහන් වන්නේ රිය අනතුර සම්බන්ධයෙන් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න අසාධාරණ ලෙස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරවීමට වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුභාෂ් මංජුල කහඳවල සහ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වීරකෝන් ආරච්චිගේ තරිඳු මදුෂංක කටයුතු කර ඇති බව සාක්ෂිකරුවන් 08 දෙනකුගේ සාක්ෂි සහ ලේඛන මගින් තහවුරු වන බවයි. එසේම එම නිලධාරීන් දෙදෙනාට ලබාදීම සඳහා අවවාද පත්‍ර කෙටුම්පත් කර, ඒවා ද දේශබන්දු තෙන්නකෝන් වෙත බාරදී තිබේ.

මේ කාලය අතරතුර ඔහුට සමගි ජන බලවේගයට සහ රනිල් වික්‍රමසිංහගේ දේශපාලන බලවේගයට සහයෝගය ලබා දෙන ලෙස දෙපාර්ශ්වයෙන්ම ඉල්ලීම් ලැබී තිබිණි. එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් ඔහු ජාතික ජන බලවේගයට සහයෝගය දැක්වීමට තීරණය කළ බව පසුව ඔහු විසින් ම ප්‍රකාශ කර තිබිණි. දේශපාලනික අපරාධවලට නීතිය ක්‍රියාත්මන නොකරන තාක් කල් නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කළ නොහැකි බවත්, යහපාලන ආණ්ඩුවට සහ රාජපක්ෂ ආණ්ඩුවට එම විමර්ශන ඉදිරියට ගෙන යෑමට වුවමනාවක් නොතිබූ බවත්, නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරීම සඳහා මෙතෙක් බලයට පත්වී නැති ජාතික ජන බලවේගයට හැකියාව ඇතැයි විශ්වාස කරන නිසා ඊට සහයෝගය දෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබිණි. ඔවුන් ද නීතියේ ආධිපත්‍යය ස්ථාපිත නොකරන්නේ නම් ඔවුන්ගෙන් ද ඉවත් වන බව ජනාධිපතිවරණයට පෙර රවී සෙනෙවිරත්න වැඩිදුරටත් පවසා තිබිණි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදු වන අවස්ථාව වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරව සිටියේ එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න ය. ඔහු යටතේ එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර එම විමර්ශන කටයුතු මෙහෙයවීය. 2019 නොවැම්බර් 17 වැනිදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ශානි අබේසේකර ඔහු දැරූ ධුරයෙන් ඉවත් කර, ගාල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස මාරු කර යවන ලදි. රවී සෙනෙවිරත්නට විශ්‍රාම යෑමට ඉඩ සලස්වන ලදි.

Related articles

මිනිස්සු අහද්දි ආදරය මොනවගේද කියලා උත්තරය මේකයි

තමන්ගේ කොණ්ඩා වියලන යන්ත්‍රය විකුණලා ඔහුගෙ අත්පිටපත තැපැල් කරන්න මුදල් දුන්න ඇය පස්සෙ ඒ පොත නොබෙල් සම්මාන දිනන...

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...