වදන් වලින් නිර්මිත කොලාජ් සිත්තමක හැඩය ගත් අජිත් පැරකුම් ජයසිංහගේ ‘සූදුරු අබා’

Share post:

ටෘමන් කැපෝටේ කෙටිකතා රචනය පිළිබඳව මෙවන් අදහසක් පල කරයි.
බරපතල ලෙස ගවේෂණය කරන විට මට කෙටි කතාව පෙනෙනුයේ අතිශය අසීරු එමෙන්ම ශික්ෂණයක් ඇවැසි ගද්‍ය රචනා ප්‍රභේදයක් ලෙසටය.
වර්තමානය වන විට කෙටිකතා රචනයේලා සිය කුසලතාවන් ප්‍රකට කරනා ලේඛක ලේඛිකාවන් සැලකිය යුතු සංඛ්‍යාවක් සිංහල ලේඛකයන් අතර සිටිති. ඉන් ඇතැමෙකු ගේ නිර්මාණ කෙටිකතාව සම්බන්ධයෙන් පවත්නා සම්මතයන් ඉක්මවා ගොසිනි. කෙටිකතාවක තිබිය යුතු යයි සැලකෙන වදන් සංඛ්‍යාව ඉක්මවා දීර් ඝ රචනා ලෙස අගනා කෙටිකතා රචනා කරන නිර්මාණකරුවෝ අපට සිටිති. මෙහිදී ප්‍රභාත් ජයසිංහ සහ අමරකීර් ති වෙසෙසින්ම සැලකිල්ලට බඳුන් විය යුතුය. ඔවුන් කෙටිකතාව තුළ කරනා අත්හදා බැලීම් නූතන ලාංකීය කෙටිකතාවේ වර්ධනයට බෙහෙවින් වැදගත් වෙයි.

සිය ලේඛන අතර නවකතාකරුවෙකු, කෙටිකතාකරුවෙකු මෙන්ම කවියෙකු ලෙසද දායකත්වය සපයන අජිත් ගේ නවතම කෙටිකතා එකතුව සූදුරු අබා නමින් පලවී තිබේ. මෙවර එහි විශේෂත්වය ඔහුගේ කෘතිය එළිදකිනුයේ සම්මානිත කෘතියක් ලෙස වීමයි. විදර්ශන සාහිත්‍ය තරඟයේ හොඳම කෙටිකතා සංග්‍රහය ලෙස සම්මානයට පත්වන එය එහෙයින්ම කෙටිකතා කෘති අතර අගැයුමක් හිමිකරගත් කෘතියක් ලෙස පාඨකයා අතට පත් වෙයි.

සූදුරු අබා කෘතියේ ඇති එක් විශේෂත්වයක් වනුයේ අජිත් භාවිතා කරනා නිර්මාණ තාක්ෂණයයි. අජිත් මෙහිදී සෘජුවම කතන්දරයක් කීම වෙතින් බැහැර වෙයි. ඒ වෙනුවට ඔහු අප වෙත සිද්ධි, සම්බන්ධතා සමගින් වන සංවාදයන් ඉදිරිපත් කරයි. ඔහුගේ කෙටිකතා ගණනාවකම මේ ලක්ෂණය දැකිය හැකිය. එහෙයින් එය වදන් වලින් නිර්මිත කොලාජ් සිත්තමක හැඩය ගනියි. එහෙත් මේ කොලාජ් සිත්තම කියවන පාඨකයාට එහි කතාවක්ද දකින්නට ඉඩ ලැබෙන නමුදු ඒ කතාව ඉක්මවා යන බොහෝ පාර්ශවයන් සමග ගනුදෙනුවකට ඔහුගේ කතා මගින් ඉඩ විවර වෙයි.

එය එක් අතකින් හෙමිංවේගේ කෙටිකතා සිහිගන්වයි. හෙමිංවේගේ වැස්සේ තෙමුණ බළලා යනු අපට සෘජුව කතන්දරයක් නොගෙනෙන සිද්ධි දාමයකි. සැමියෙකු සහ බිරිඳක කේන්ද්‍ර කරගනිමින් රචිත ඒ කෙටිකතාව කතකගේ හුදෙකලාව, සැමියාගේ දුරස්ථභාවය, යුද්ධය කෙරේ වන අපුල ආදී වශයෙන් කතාවට අදාල කාලයේ මානව සම්බන්ධතාවන් මෙන්ම සමාජයද කියවා ගැනීමට මගක් සලසයි. අජිත් ලේ ස්වර්ණ හංස මෙන්ම සූදුරු අබා යන කතා ද්විත්වයම මෙහිලා සැලකිල්ලට ගත යුතු කෙටිකතාවන් ලෙස කැපී පෙනෙයි. ස්වර්ණ හංස යනු අපේ සම්භාව්‍ය සාහිත්‍ය යේ එන කතාවකින් රූපකයක් ගෙන සමකාලීන ජීවිතයේ සංකීර්ණත්වය මෙන්ම මව්පිය දූ දරු සබඳතාවන් සහ එහි විවිධ පැති විමසන්නට අවකාශ සලසන්නකි. සූදුරු අබා එලෙසින්ම මිනිස් සබඳතාවන් හී සියුම් මෙන්ම සංවේදී පාර්ශවයන් කෙරේ අවධානය යොමු කරන්නකි. සුභා සහ අනූගේ සංවාදමය පිවිසුම් හරහා අජිත් නූතන සමාජයේ ආකල්ප මෙන්ම සමාජ අර්බුදයන් කෙරෙහිද සිහින් උපහාසය මුසු විවේචනයක්ද එල්ල කරයි.

ඔහුගේ කතාවන්හී එන කුඩා යයි පෙනෙනා සිදුවීමක් කෙමෙන් කෙමෙන් විටක යථාර්තවාදය සහ විටෙක ඒ ඉක්මවා යමින් සමාජ කියවීමක් බවට පත් වෙයි. සමූලඝාතනය යනු එසේ එක් සිදුවීමකින් අරඹා අප සමාජයේ කලාප ගණනාවක් ආවරණය කරනා කෙටි කතාවකි. යුද්ධය අපේ ජීවිත වල දෛනික අත්දැකීම හිසරදය මෙන්ම විනෝදයද බවට පත් සමයක ත්‍රස්තවාදී ප්‍රහාරයක් පිලිබඳ ආරංචියකින් ඇවිල යන පාසලක් විෂය කරගනිමින් රචිත මේ කෙටිකතාවද මේ එකතුවේ එන අපූර් ව ගෙත්තමකි. ඒ කතාව තුළ ඔහු අපේ සමාජය යුද්ධ සමයේ ගලා ගිය, කඩා වැටුණ, ඒ අර්බුද තුළ මනුෂ්‍ය චර්යාවන් අර්බුදයට ගිය ආකාරය ඉදිරිපත් කරයි. විටෙක එහි ගැබ්වෙන උපහාසය ඉතා ප්‍රබලය.

-ගුරුවරියො ඔක්කොම තමන්ගෙ ළමයින් අරගන්න ටවුමෙ ලොකු ඉස්කෝල වලට දිවුවා. දුවන්න කලින් පැමිණීම අත්සන් කරන්න කවුරුවත් අමතක කළේ නෑ. නැතිනම් නිවාඩු වැටෙනවනෙ. (මගේ අදහස නම් මේ නිවාඩු කතාව නොලියා සිටියා නම් එහි ඇති උපහාසය තවත් බලවත් වන බවයි.)
ගමේ මිනිස්සුත් බය වුනා. ඔවුන් බලා සිටියෙ බය වෙන්නටමයි.

බයවීම රට ජාතිය වෙනුවෙන් කරන යුතුකමකැයි සිතන්නා වගේ උය උයා රෙදි හෝද හෝද රූපවාහිණී බල බලා හිටි ගමන් දත් නොමැදි කටවින් ආරංචිය කිය කියා කොණ්ඩා අල්ලා හිස් මුදුනින් බැඳ බැඳ අම්මලා ඉස්කෝලෙට දිවුවා. සමහරු හිටියෙ නයිටි පිටින්.

අජිත් ගේ කෙටිකතා මවන චිත්ත රූප ප්‍රබලය. ඒ කියවන පාඨකයා හට දැනෙන උපහාසය සමගින්ම සමාජයේ බිඳවැටීමද සිහිගන්වනසුළුය. යුද්ධය සමයේ මානව හැසිරීම් වල පැවති විවිධ පැති මෙන්ම ඒ සියල්ල අතරින් ඔහු අපේ අධ්‍යාපන ක්‍රමයේ ඇති දැවැන්ත අර් බුදයේ එක් කොටසක් එනම් ගුරු භූමිකාවේ බිඳ වැටීම අපූර්ව ලෙස ඉදිරිපත් කරයි.

අනෙක් කතා සමග ගත් කල ගංවතුර කඳවුරේ නයනා නම් කෙටි කතාවෙහි කිසියම් නොපිරුන බවක් දැනෙන බව කිව යුතුය. අත් පොරව යනු ඒ අතර සියුම් වියමනක් ලෙස කැපී පෙනෙන්නකි. අජිත් ගේ කෙටිකතාවන් ආයාසයකින් තොරව කියවාගෙන යා හැකි වියමන් වන්නා සේම පාඨකයා හට ඒ වාක්‍ය අතර සරමින් කතාවෙන් නොකියවෙන් එහෙත් ඉඟි කරනා පැතිරුණ සමාජ කියවීමකට මග පාදන පිවිසුම් ලෙස කැපී පෙනෙයි.

චූලානන්ද සමරනායක

Related articles

රන්සුනු ගෙන එන්නී – ඇය සුමුදු නම් වන්නී

සති කිහිපයකට පෙර මා සුමුදු චතුරානි ජයවර්ධන සොයුරිය ඇමතුවෙ මගේ අනාගත කටයුත්තක් පිළිබඳ කිසියම් අදහසක් ගන්නට. මගේ ඒ...

වනිඳු හසරංග ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන්ගේ ප්‍රියතම ක්‍රීඩකයා නොවෙයි

වනිඳු හසරංග ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන්ගේ ප්‍රියතම ක්‍රීඩකයා නොවෙයි.සැබැවින්ම ඔහු රසිකයන්ගේ ප්‍රියතමයා වූ කාලසීමාවක් ද තිබුණා. නමුත් මේ...

Capturing Realism Asia 2024 හැරල්ඩ් පීරිස් කලාගාරයේ දී

නොමිලේ කලාව උගන්වන මාතර, රත්මලේ ඇමරිකාවේ කලා ඇකඩමිය විසින් ප්‍රථම වතාවට පවත්වනු ලබන ඉහත ප්‍රදර්ශනය මේ දිනවල හැරල්ඩ්...

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාරගේ ‘ඇතුළු වියමන්’

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර දේශපාලනය,සංස්කෘතිය සහ සාහිත්‍ය වැනි අඩවි ගැන උනන්දුවක් ඇති ලේඛකයකු වන අතරම එකී අඩවි ආශ්‍රිත නූතන...