ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර දේශපාලනය,සංස්කෘතිය සහ සාහිත්‍ය වැනි අඩවි ගැන උනන්දුවක් ඇති ලේඛකයකු වන අතරම එකී අඩවි ආශ්‍රිත නූතන දැනුමට සමීප කෙනෙකු බව ඔහු ලියන ලද විවිධ රචනාවලින් පෙනෙන්න්ට තිබුණි. දැන් ඔහු තමන් සතු දැනුම,ආකල්ප සහ කුසලතා සිංහල කවිය කියවීම සඳහා ප්‍රශස්ත ලෙස යොදා ගන්නේ කෙසේද යන උරගා බැලීම කරයි. ‘ ඇතුළු වියමන්’ නම් මේ කෘතිය ඒ සඳහා සාක්ෂියකි.
සිංහල කවිය ගැන බොහෝ සංවාද ඇති බව පෙනෙයි. ප්‍රමාණාත්මකව එසේ ප්‍රගතියක් පෙනුණද ගුණාත්මකව බලන විට අපට තෘප්තිමත් විය හැකිද? යන ප්‍රශ්නය මා නිතර මගෙන්ම අසාගන්නා ප්‍රශ්නයකි. සමාජ මාධ්‍යජාලවල නිතර කවි පළවෙයි. කවි ගැන සූම් සංවාද සහ භෞතිකව හමුවී කරන සංවාදවල ද අඩුවක් නැත . එහෙත් කවිය නම් විෂයේ ඉතිහාසය සම්බන්ධ දෙස්විදෙස්හි පතළ මූලාශ්‍ර ආදිය යොදා ගනිමින් කෙරෙන සංවාද විරලය . බොහෝ විට දක්නට ලැබෙන්නේ මිතුරු කුලක ලෙස සංවිධානය වෙමින් කරනු ලබන සංවාදය. ඒවා කවිය වැනි විෂයක ගැඹුරු තල වෙත යොමු වන්නේ ද යන ප්‍රශ්නය මේ මොහොතේ සිතා බැලිය යුතු දෙයකි. ප්‍රසාද් නිරෝෂ බණ්ඩාරගේ මේ ප්‍රයත්නය ඒ පසු බිම තුළ අගය කළ හැකිය . මෙබඳු කෘති ශීඝ්‍රරයෙන් අලවි වේ යැයි සිතිය නොහැකිය . එහෙත් කවිය වෙත සැබෑ ආදරයක් දක්වන පිරිස් මෙබඳු කෘති පරිශීලනය කරමින් ඒවා කාව්‍ය කථිකාව සඳහා යොදා ගනියි . සිලිකා ප්‍රකාශන මගින් මෙබඳු කෘති පළකිරීම අගය කළ යුතුය. සැබෑ ප්‍රකාශකයින් යනු හුදෙක් යුගයේ හොඳම ලේඛකයින්ගේ පොත් ප්‍රකාශනය කරන අය පමණක් නොවේ. ආධුනික ලේඛකයින්ගේ අභිමානයට හානි නොකර ඔවුන්ගේ පොත්පත් පළ කිරීම ද යහපත් ප්‍රකාශකයින්ට පැවරෙන වග කීමකි. සිලිකා ප්‍රකාශකයින් වෙළඳ පොළ තර්කනය නොතකා එබඳු කාර්‍ය වෙත උරදෙන අයුරු මා දැක තිබේ.
ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර කවිය කියවීම පිණිස විවිධ න්‍යායන්ගේ ආලෝකය භාවිත කළ හැක්කේ කෙසේද යන අත් හදා බැලීම සංනිදර්ශනාත්මකව මේ කෘතිය තුළ දී කරයි . කවිය දේශපාලනික,දාර්ශනික මානවලින් විග්‍රහ කිරීමට තැත් කරයි. මාක්ස්වාදී අදහස් මෙන්ම අල්තුසර්,ග්‍රාම්ස්චී වැනි පශ්චාත් මාක්ස්වාදී විචාරකයින්ගේ අදහස් අපට සම්මුඛ කරමින් ගැඹුරු සංකල්ප තලයකට කවිය කියවීම ගෙන යා හැක්කේ කෙසේද යන අත් හදා බැලීම ඔහු කරයි. එරික් ඉලයප්ප ආරච්චි,රත්න ශ්‍රී විජේසිංහ, ආරියවංශ රණවීර, නන්දන වීරසිංහ ,ලක්ශාන්ත අතුකෝරල වැනි අපට සිටින විශිෂ්ට කවියන්ගේ කවි ඔහු නිදර්ශන ලෙස ගනියි. ඇතැම් විට තේර තේරී ගාථා වෙත ද ඔහු යොමු වෙයි.
එතරම් ශ්‍රමයක් වැය නොකොට කවිය පිළිබඳ සංවාද තලයේ ඉදිරි පෙළම අසුන් දිනා ගැනීමට තැත් කරන සමාජයක ප්‍රසාද් නිරෝෂගේ මේ ප්‍රයත්නය අපගේ ගෞරවයට ලක්විය යුතුය. ඒ අතර ඔහුගේ ඉදිරි ලිවීම් සඳහා නව පරපුර්‍රේ විශිෂ්ට කවිකිවිඳියන්ගේ නිර්මාණ යොදා ගන්නා ලෙස ද ඉල්ලා සිටිමි. නඳුන් යසිත දසනායක,අනුරාධා නිල්මිණී,රුවන් බන්දුජීව,ටිම් රාන් කීර්ති,සුහර්ෂණි ධර්මරත්න, පද්මිණී ශ්‍රියාලතා, ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න, මාලන් බණ්ඩාර කපුවත්ත,චින්තක සමන් හේරත්, ධනුෂ්කා නිෂාධි කුලරත්න, තරින්ද්‍ර ගලහේන, ඉසුරු චාමර සෝමවීර ,ළහිරු කරුණාරත්න, ළහිරු කිතලගම ආදී කවීන් එක්වර මගේ මතකයට එයි. මීට අමතරව ප්‍රභාත් ජයසිංහ,සුනිල් විජේසිරිවර්ධන,ලියනගේ අමරකීර්ති වැනි අය මෑතක පළකළ කෘති ද ඉතා ප්‍රශස්ත සම්ප්‍රදානයන් යැයි සිතමි. ප්‍රසාද් නිරෝෂ මේ සත් කාර්‍ය මහත් කැපවීමෙන් ඉදිරියට කරගන යනු දැකීම මගේ ප්‍රාර්ථනයයි.
ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර මේ කෘතිය ඔස්සේ සංවාදයට ලක් කරන පොදු මාතෘකා වාගෙම තෝරා ගත් කවි පදනම් කරගෙන කරනු ලබන සංවාදය මේ මොහොතෙ සිංහල කවිය ගැන අවංක උනන්දුවක් දක්වන අයට ඉතාම වැදගත් . විශේෂයෙන් මේ මොහොතේ සිංහල කවිය ගැන සංවාදයේ ඉන්න තරුණ කවිකිවිඳියන්ගේ දෙසුම්වල අසන්නට නොලැබෙන අදහස් මේ කෘතියෙ අන්තර්ගතයි . බොහෝ විට සිංහල කවිය ගැන සංවාදවල නිතර පෙනී සිටින ප්‍රකට උපකාරක පන්ති ගුරුවරුන්ගෙ සීමාව කුමක්ද කියන දේ ඉබේම සලකුණු වෙනවා මේ කෘතිය කියවන විට . සිංහල කවිය දේශපාලනික මානයෙන් ස්පර්ශ කරන්න උත්සහ කරන බොහෝ දෙනකුගේ දෙසුම් තුළ ප්‍රකට වෙන්නෙ ජනතා විමුක්ති පෙරමුණ ඇසුරෙන් මුල් කාලයේ ලබා ගත් ශික්ෂණය සහ එක්ස් කණ්ඩායමේ ඉගැන්වීම් මතුපිටින් අල්ලා ගනිම්න් කරන සංවාද. ප්‍රසාද් මේ කෘතිය තුළ දී සම්භාව්‍ය මාක්ස්වාදයේ සීමා මතු කරමින් අන්තෝනියෝ ග්‍රාම්ස්චි, අල්තුසර්, රේමන් විලියම් වැනි අයගේ අදහස් ඉදිරියට කැඳවනවා. ඒ වාගෙම ආගම් සතු අධ්‍යත්මික සම්පත් අලුයම ලූ කෙළපිඩක් ලෙස බැහැර නොකර ඒවා කවිය කියවීමට ඔහු යොදා ගන්න අයුරු සිත් ගන්නා සුළුයි .ධම්මපදය,තේරතේරී ගාථා වැනි සම්පත් ඔහු අවබෝධයෙන් කෘතියට තුළ පරිහරනය කරනවා.
ආර්ථික විෂමතා ඉවත් වූ පමණින් සමාජයේ සියලු ප්‍රශ්න විසඳෙතැයි සිතන සමාජයක් තුළ ප්‍රසාද් පශ්චාත් මාක්ස්වාදීන් ඇසුරෙන් කරන සංවාදය ඉතා ප්‍රයෝජනවත් . සාංදෘෂ්ටිකවාදය වැනි දෑ ඔහු සංවාදයට ගන්නෙ කල්පනාකාරී ලෙස. බොහෝ විට මේ විෂයන් ගැන ලියන අය මෙන් තමන්ගේ දැනුම පාඨකයාට වඩා බොහෝ ඉදිරියෙන් ඇති බව අඟවන්නට ඔහු උත්සහ කරන්නෙ නෑ.
‘කච්චාන් සුළඟ හෙවත් ගෝලීයකරණය ‘ නම් රණවීරගේ කවිය ඔහු සංවාදයට ගන්නේ එහි දී කවියා භාවිතයට ගන්නා රූපක ගැන අවබෝධයෙන් යුතුව. නන්දන වීරසිංහගේ ‘ තරණය’ වැනි කවියක් විමසුමට ලක් කිරීමේ දී ඔහු බෞද්ධ ආගමික ඉගැන්වීම පරිස්සමින් යොදා ගනු ලබනවා.රත්න ශ්‍රීගෙ ‘ මීය සහ පැණි ‘ වැනි කවියක් ප්‍රසාද් සාකච්ඡාවට ගන්නෙ ශ්‍රමය ගැන මාක්ස්ගෙ අදහස් පෙරබිමට ගනිමින්.
ප්‍රසාද් නිරෝෂගෙ මෙබඳු කෘති සංවාදයට ලක් කරන වේදිකා හරි අඩුයි. ලබන වසරේ කොතැන හෝ තැනක මේ කෘතිය සංවාදයට ගැනීමේ බලාපොරොත්තුවක් මට තියනවා. එතෙක් මේ කෘතිය ගැන අවධානය යොමු කරන මෙන් මා ඉල්ලා සිටිනවා.