ආන්දෝලනාත්මක අපරාධ විමර්ශනයට ජනාධිපති කොමිසමක අවශ්‍යතාව මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල අනුරට ලියයි !

Share post:

ආන්දෝලනාත්මක අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් පුළුල් ලෙස විමර්ශනය කිරීමට ජනාධිපති පරීක්ෂණ විශේෂ කොමිෂන් සභාවක් පත්කරන ලෙසත්, එමගින් ජනතාව අපේක්ෂා කරන යුක්තිය හා නීතියේ සාධාරණත්වය ක්‍රියාත්මක කර පෙන්වන ලෙසත් 12-11-10 වැලිකඩ කෘතියේ කර්තෘ මෙන්ම ජනමාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලා සිටී.

පහත පළවන්නේ ඔහු විසින් ජනාධිපතිවරයා වෙත යොමුකරන ලද සම්පූර්ණ ලිපියයි.

ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක
ජනාධිපති ලේකම් කාර්යාලය
කොළඹ 1

කසුන් පුස්සෙවෙල
36, තල්ගහහේන පටුමග
බටගන්විල,
ගාල්ල
23.09.2024
ගරු ජනාධිපතිතුමනි,
ජනාධිපති පරීක්ෂණ විශේෂ කොමිෂන් සභාවක් පත් කිරීම සඳහා කරනු ලබන ඉල්ලීමයි
මෙරට නව වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් පත් වූ ඔබට පළමුව සුබ පතමි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය තුළ යුක්තිය, සාධාරණත්වය සහ විනිර්මුක්තිය හෙවත් අපරාධ සඳහා යුක්තිය ඉටු නොවීම පිළිබඳ කණස්සල්ලට පත්ව සිටින පුරවැසියෙකු ලෙස මෙම ඉල්ලීම ඔබ වෙත යොමු කරමි. එමෙන්ම මෙරට තුළ සක්‍රීය ජනමාධ්‍යයේ යෙදී සිටි මාධ්‍යකරුවෙකු ලෙස ජනමාධ්‍යවේදීන් සහ ජනමාධ්‍ය ආයතන අරඹයා රාජ්‍ය ත්‍රස්තවාදය විසින් දියත් කරන ලද අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉෂ්ට නොවීමෙන් දැඩි කම්පනයටත්, වෘත්තීය වශයෙන් අනාරක්ෂිත හා විශ්වාසය බිඳී ඇති පසුබිමක සිට මෙම යෝජනාව ඔබ වෙත ඉදිරිපත් කරමි. ඔබ මෙරට ජනාධිපතිවරයා වීමට ප්‍රථම දශකයකට ආසන්න කාළයක් පුරා ඔබත් මමත් අපගේ බොහෝ හමුවීම් හා සාකච්ජාවන් තුළ කතා කෙරුණේ සිදු වූ අපරාධ සහ ඒවාට යුක්තිය ඉෂ්ට කිරීම පිළිබඳවය. ඔබ දැන් මෙරට විධායක ජනාධිපතිවරයා වූ පසු ඔබටත් මටත් මිතුරන් ලෙස හමු විය නොහැකිය. හිටපු එකඳු ජනාධිපතිවරයෙකුගෙන් හෝ පැවති එකඳු ආණ්ඩුවකින් කිසිඳු වරප්‍රසාදයක්, වාසියක් හෝ ලාබ ප්‍රයෝජනයක් ලබා නොගත්, මතුවද ලබා නොගන්නා යුක්තිය අපේක්ෂා කරන පුරවැසියෙකු ලෙස ඔබෙන් මෙම ඉල්ලීම සිදු කරනු ලබයි.
උත්තරීතර යැයි සම්මත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රජයේ ප්‍රධානියාද, විධායකයේ ප්‍රධානියාද, ආණ්ඩුවේ ප්‍රධානියාද, සන්නද්ධ සේවාවන්හි සේනාධි නායකයාද වන්නේ ඔබය. ඒ අනුව සමස්ථ ශ්‍රී ලංකා රාජ්‍යයටද එහි සියලු‍ම පුරවැසියන්ටද, එම පුරවැසියන් විසින් පත් කරගන්නා ලද ඔබ වගකීමට හා වගවීමට බැඳී සිටී. එය අත්හල නොහැකි මෙන්ම කිසිසේත්ම පැහැර හැරිය නොහැකි වගකීමකි. වගවීමකි. එනයින් මහජන පරමාධිපත්‍යය මගින් පත් කරගන්නා ලද ඔබෙන් පුරවැසියන් බලාපොරොත්තු වන්නේ යුක්තිගරුක, සාධාරණ හා ශිෂ්ට රාජ්‍යයකි. එය ඔබගේ දේශපාලන ඉතිහාසයේද, පසුගිය ජනාධිපතිවරණ ප්‍රධාන පොරොන්දුවේද, ජනාධිපතිවරයා ලෙස දුන් දිවුරුමේද, ජනාධිපතිවරයා ලෙස පසුගියදා කළ පළමු ජාතිය ඇමතීමේ කතාවේද ප්‍රධානතම මාතෘකාව විය. ඒ අනුව නව ජනාධිපතිවරයා වෙත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව 1948 අංක 17 දරන පරීක්ෂණ කොමිෂන් සභා පනත ප්‍රකාරව ඔබ අවංකවම යුක්තිය අපේක්ෂා කරන ජනාධිපතිවරයෙකු නම් ඔබට ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් පත් කළ හැකිය. ඊට අවශ්‍ය වන්නේ ඔබේ නිල මුද්‍රාව සහ අත්සන සහිත නියෝගය පමණි. ඉතිහාසයේ බලයට පැමිණි සියලු‍ම ජනාධිපතිවරුන් විසින් එම යුගයන්හි ශ්‍රී ලංකා රාජ්‍යයෙහි රාජ්‍ය බලය මගින් සිදුකෙරුණු අපරාධ සඳහා ජනාධිපති විමර්ශන කොමිෂන් සභා පත් කෙරුණු නමුදු ඉන් කිසිවකින් ඉටු වූ යුක්තියක් නොමැත. එම කොමිෂන් සභා විසින් යුක්තිය සෙවීමේ කටයුතු ඉටු කෙරෙන බව පෙන්වා සිටියද ඒවා හුදෙක් බලය ලබා ගැනීමේ පොරොන්දු විය. නැතහොත් නැවත බලයට පත් වීමේ අභිලාශයෙන් ඉදිරිපත් කෙරුණු බොරු පොරොන්දු පමණක්ම විය. ඒ අනුව ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභා යනු මෙරට ඉතිහාසයේ කුණු බක්කියට දැමූ මහජන අභිලාෂයන් හා තවත් මහජන මුදල් නාස්ති කිරීමක් පමණක්ම විය. ඔබ මහජනතාව මත වූ පොරොන්දුව අනුව පුනරුද යුගයකට යා හැක්කේ යුක්තිය ඉෂ්ට කිරීමේ මාර්ගයේම පමණි. එය මග හැර ඔබ ගමන් කරන්නේ නම් ඔබගේ ගමන් මාර්ගය වැටී ඇත්තේ ඉතිහාසයේ කුණු බක්කිය වෙත පමණි. එනයින් යුක්තිය අපේක්ෂා කරන පුරවැසියෙකු ලෙස මා යුක්තිය ඉෂ්ට කරන බවට ප්‍රතිඥා දුන් ජනාධිපතිවරයෙකු ලෙස ඔබෙන් පහත සඳහන් කරනු ලබන කාරණා සහ මතු යුක්තිය අපේක්ෂිත වැඩිමනත් අපරාධ සඳහා ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් පත් කරන මෙන් ඉල්ලා සිටිමි.

  1. ජනමාධ්‍යවේදීන් හා ජනමාධ්‍ය ආයතන අරඹයා රාජ්‍ය ත්‍රස්තවාදය විසින් සිදු කෙරුණු ඝාතන, අතුරුදන් කිරීම්, පහරදීම්, තර්ජනය කිරීම් සහ ගිනි තැබීම් සම්බන්ධයෙන් වූ කඩිනම් පරීක්ෂණයක අවශ්‍යතාව. – එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩු බලය හිමි කරගත්තේ 2004 අප්‍රේල් මාසයේදීය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බවට පත් කරගනිමින් එහි මූළිකම සහායක ආණ්ඩු පක්ෂය වූයේ ඔබ නියෝජනය කරනු ලබන ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ඔබ කණ්ඩායමය. ඉන් මාසයක් ගත වූ මැයි මාසයේ 31 වැනි දා ප්‍රවීණ දෙමළ මාධ්‍යවේදී අයියතුරෙයි නඩේසන්ව රජය විසින් මෙහෙයවන ලද අතුරු හමුදා කල්ලියක් විසින් මඩකලපුවෙහි දී වෙඩි තබා ඝාතනය කරන ලදී. ඉන් පසුව ඔබද නිලතල දැරූ රාජපක්ෂ අපරාධ කාටලය විසින් ආරම්භ කෙරුණු ජනමාධ්‍ය ඝාතන කිරීම්, අතුරුදන් කිරීම්, පහරදීම්, හෝ තර්ජනය කිරීම් ප්‍රමාණය එළඹි සය වසරක පාලන කාළය තුළ අවම වශයෙන් මාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයින් 43ක් ඝාතනය ට හෝ අතුරුදන් වීමට ලක්විය. එම ඝාතන පිළිබඳ අපරාධ පරීක්ෂණ කටයුතු ආරම්භ කෙරුණත් ඝාතකයින්ට එරෙහිව යුක්තිය පසඳලීමේ ක්‍රියාවලියක් අවසානයක් දක්වා කිසිඳු විටෙකත් ගමන් නොකිරිණි. එම මාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයින් 44 දෙනාගෙන්, අවම වශයෙන් 39 දෙනෙකු ඝාතනය කරන ලද්දේ එවක බලයේ සිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය හෝ එම රජය විසින් මෙහෙය්වන ලද සන්නද්ධ කණ්ඩායම් මගිනි.
    ඔබද කැබිනට් ඇමති ධුරයක් දැරූ එම රජයේ 6 වසරට පසුව ආපිට හැරී බැලීමේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සහ එවක ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්ෂ යටතේ පාලනය වූ බවට ඕනෑතරම් සාක්ෂි සාධක ඇති අපරාධ කාටලය බලයෙන් පහ වූ 2014 අග වනවිට ඝාතනය වූ අතුරුදන් වූ හෝ පහරකෑමට ලක් වූ ජනමාධ්‍යවේදීන් ප්‍රමාණය 150කට ආසන්නය. එවක පටන් සෑම මැතිවරණකදීම පොරොන්දු පිට පොරොන්දු ලබා දුන්නේ මෙම අපරාධ සඳහා යුක්තිය ඉෂ්ට කරන බවටය. උක්ත සඳහන් කරන ලද මාධ්‍යවේදීන් ප්‍රමාණය අතරින් ඔබ ඇතුළු කන්ඩායම විසින් පුන පුනා ප්‍රකාශ කළේ ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ, කීත් නොයර්, උපාලි තෙන්නකෝන්, පෝද්දල ජයන්ත වැනි ප්‍රධාන නම් කීපයක් පමණි. එම සිදුවීම්හි අපරාධ පරීක්ෂණ ක්‍රියාවලීන් අවසාන කෙලවරක් දක්වා පැමිණි අපරාධය. ඒවා අවසන් කිරීමට ඇත්තේ තවත් එක් පියවරක් පමණි. එහෙත් ඉන් නොනැවතී රාජ්‍ය ත්‍රස්තවාදය විසින් අවසන් කෙරුණු ජනමාධ්‍යවේදීන් සියල්ලට යුක්තිය ඉෂ්ට කළ යුතුය. ඉන් නොනැවතී සිරස, සියත, ලංකා ඊ නිවුස්, උදයන් ඇතුළු ජනමාධ්‍ය ආයතන අරඹයා සිදු වූ අපරාධ සෙවීම සඳහා ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් පත් කරන මෙන් ඉල්ලා සිටිමි. ඔබ අතද තැවරී ඇති අප වරිගයේ මිනිසුන්ගේ ලේ පැල්ලම් යුක්තියේ සුදු පැහැයෙන් සේදීමට අනාගතය විසින් දැන් ඔබට අවස්ථාව උදාකර දී ඇත. එම බලය ඇත්තේද අවංකව යුක්තිය ඉෂ්ට කිරීම සඳහා යාන්ත්‍රනයක් පත් කිරීමේ හෘදසාක්ෂියගත අවස්ථාව ඇත්තේ මෙතැන් සිට ඔබටය. (න්‍ෘී ලංකා විසින් සකසන ලද අගතියට පත් ජනමාධ්‍යවේදීන්ගේ ලැයිස්තුව ඇමණුම් අංක 1 ලෙස ඉදිරිපත් කරමි.)
  2. වැලිකඩ බන්ධනාගාර සමූහ ඝාතනය සඳහා ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාවක අවශ්‍යතාව – 2012 නොවැම්බර් මස 9 වැනිදා සහ 10 වැනිදා අලු‍යම තෙක් වැලිකඩ බන්ධනාගාරය තුළ නම් අඬගසමින් සිදු කර තිබූ ඝාතන ප්‍රමාණය 27කි. එම ක්‍රියාවලිය සඳහා එවක රජය විසින් එවා තිබුණේ රජයේ ආරක්ෂක අංශය. ඉන් අනතුරුව එම ලැයිස්තුගත ඝාතන සඳහා සිවිල් ඇඳුමින් පැමිණි බවට සාක්ෂිගත චූදිතයින් වූයේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශ නිලධාරී නියොමාල් රංගජීව සහ එවක මැගසින් බන්ධානාගර ප්‍රධානී වූ එමිල් රංජන් ළමාහේවා ඇතුළු බන්ධනාගාර පද්ධතියෙන් පිට බලයක් ආරෝපනය කරමින් පිහිටුවන ලද ඒකකයක ප්‍රධානී වූ ඉන්දික සම්පත් වැනි චූදිත කන්ඩායමකි. එම අපරාධය සඳහා එවකදී විෂය බාර අමාත්‍යවරයා විසින් එක් කොමිෂන් සභාවක්ද, ඉන් පසුව යහපාලන රජය විසින් තවත් කොමිෂන් සභාවක්ද පත් කර, වසර ගණනාවක මහේස්ත්‍රාත් පරීක්ෂණයකින්ද, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ දීර්ඝ පරීක්ෂණ ක්‍රියාවලියකින්ද පසුව මහාධිකරණය මගින් එක් චූදිතයෙකුට පමණක් මරණ දඬුවම නියම කරන ලදි. එහෙත් ඔහුද මෑතකදී ගරු අභියාචනාධිකරණය මගින් නිදොස් කොට නිදහස් කරන ලදි. ඒ අනුව රාජ්‍ය ආරක්ෂාව යටතේ සිටි රැඳවියන් 27ක් දණගස්වා රජයේ ආයුධ පාවිච්චි කරමින්, රජයේ ආරක්ෂක අංශ විසින් ඝාතනය කළ අපරාධයට වගකිව් හෝ අණ දුන් අයෙකු නොමැතිව අවසන්ව ඇත. ලෝක ඉතිහාසයේ අශිෂ්ටතම අපරාධයක් ලෙස සැලකිය හැකි එම ඝාතනයට යුක්තිය අවශ්‍ය නොවේද? රජයේ ආරක්ෂාව යටතේ තබා සිටි බන්ධනාගාර ගත රැඳවියන්ට වැසුණු කාමර තුළට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර පසුව නාමිකව ගෙන ගොස් දණ ගස්වා ඝාතනය කළ අපරාධ රාජ්‍යයක ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනවාද? නැතහොත් ඔබ මැතිවරණ වේදිකා තුළ ප්‍රකාශ කළ එම අපරාධය සඳහා යුක්තිය ඉෂ්ට කරනවාද යන්න තීරණය ඔබ සතුය.
  3. වසීම් තජුඩීන් ඝාතනය, තරුණයින් ඇතුළු 11 දෙනෙකු පැහැරගෙන ගොස් කප්පම් ලබා ගැනීම සහ එම පරීක්ෂණය තුළින් හමු වූ අනෙකුත් ඝාතන, විශ්ව විද්‍යාල ක්‍රියාකාරීන් වූ සිසිත – ජනක ඝාතනය පිළිබඳ ජනාධිපති විශේෂ විමර්ශනයක අවශ්‍යතාව. – ඉහත සඳහන් ඝාතන සහ අපරාධ පිළිබඳ පරීක්ෂණ සියල්ල නතරව ඇත්තේ එක් තැනකිනි. ඒ නම් දේශපාලන අණ ලැබුණු තැනට මෙපිටිනි. ඔබ බලයට පත් වූ ඉකුත් ජනාධිපතිවරණයට ප්‍රථම පැවති 2015 සහ 2019 ජනාධිපතිවරණවලදීද, අනෙකුත් මහ මැතිවරණ වේදිකා මතද දිවුරුම් දුන් ප්‍රතිඥාවන් වූයේ මෙම අපරාධයන්ට යුක්තිය ඉෂ්ට කරන බවටය. උදාහරණයකට වසීම් ඝාතන පරීක්ෂණ නතර වූයේ දැන් ඔබගේ සහ ඔබ ආණ්ඩුවේ අගමැතිවරියගේ නිල කාර්යාලයන් ඉදිරියෙනි. අණ දුන් දේශපාලන අධිකාරියේ පහළ අණ ක්‍රියාත්මක කෙරූ කීපදෙනෙකු මෙම අපරාධයන්ට චෝදනා ලද නමුත්, ඔවුන් දඬුවම් නොලබාම මිය ගිය අතර අණ දුන් කිසිවෙකුට දඬුවම් මෙතෙක් නොලැබිණි. යුක්තිය ඉෂ්ට කිරීමේ අවංක චේතනාවක් ඇතිනම් ඔබට යෙදීමට ඇත්තේ එක් අත්සන් පහරක් පමණි.
  4. 88-89 වකවානුවේ ඝාතනය වූ හෝ අතුරුදන් වූවන්ද, යුද්ධය අවසානයේ ඝාතනය වූ හෝ අතුරුදන් වූවන්ද, ඒ ආශ්‍රිතව දැනට සොයාගෙන ඇති සමූහ මිනීවලවල් පිළිබඳවද, පාස්කු ප්‍රහාරය පිළිබඳවද පිළිගත හැකි යුක්තියක් ලබා දීමේ විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක අවශ්‍යතාව – 88/89 වකවානුවේ රාජ්‍ය විසින් ඝාතනය හෝ අතුරුදන් කෙරූවන් ප්‍රමාණය ආසන්න වශයෙන් හැටදහසක් බව කියවේ. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් මෙරට ප්‍රථමවරට අතුරුදන් වූවන් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන ලදි. 1991 දී බලහත්කාරයෙන් ඉවත් කිරීම යන නමින් (ඡරුිසාැබඑස්ක ක්‍දපපසිසදබ දf ෂබුමසරහ සබ එද ෂබඩදකමබඒරහ ඍැපදඩ්කි දf ඡැරිදබි 1991-1992 ) 1993) එම කොමිෂන් සභාව පත් කෙරුණද එය 1991ට පෙර සිදුවීම් සොයා නොබලන කොමිෂන් සභාවක් විය. ප්‍රේමදාස ඝාතනයෙන් පසුව බලයට පැමිණි ඩී.බී විජේතුංග ජනාධිපතිවරයා විසින් පුද්ගලයින් අතුරුදන් කිරීම පිළිබඳ කොමිෂන් සභා 3ක් 1993 අගෝස්තු 23 ගැසට් අංක 784/1 යටතේ පිහිටුවද ඉන් කිසිඳු යුක්තියක් ඉටු නොවුණි. ඉන් පසු බලයට පැමිණි චන්ද්‍රිකා, මහින්ද, ගෝඨාභය යන ජනාධිපතිවරුන් කිසිවක් සත්‍ය ලෙසම යුක්තිය ඉෂ්ට කිරීම සඳහා අපොහොසත් විය. සුදු නෙළුම නමින් සූරියකන්ඳ සමූහ මිනී වලෙන් චන්ද්‍රිකාද, එම මිනීවලට සහ අතුරුදන් වූවන්ට යුක්තිය ඉටු කරන බව කියමින් මව්වරුන්ගේ පෙරමුණ සාදමින් මහින්ද රාජපක්ෂද බලයට පැමිණි අතර ඉන් කිසිවෙකු එම අපරාධ සඳහා යුක්තිය ඉෂ්ට නොකරන ලදි. ඒ වෙනුවට තව තවත් අපරාධම පමණක් සිදු කරමින් බලයේ රැඳී සිටින ලදි. රාජපක්ෂ යුගයේ සිදු වූ අපරාධ මැතිවරණ වේදිකාවල දෙදරවූ මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ පාලනය ඉන් පසුව යම් දුරකට උක්ත සඳහන් අපරාධ කිහිපයකට පරීක්ෂණ ආරම්භ කළද තම දේශපාලන සගයක් බේරා ගැනීම වෙනුවෙන් ඒවා අයාලයේ යැවීමේ මෑත උදාහරණ සහ සාක්ෂි ඕනෑ තරම් ඇත. 88-89 යුගයේ මාතලේ විජය විද්‍යාලයේ වධ කඳවුර බාරව සිටි ගෝඨාභය රාජපක්ෂ පාස්කුව ප්‍රහාරයත් සමග රාජ්‍ය ආරක්ෂාව පෙන්වමින් බලයට පැමිණි අතර එතෙක් මෙතෙක් සිදු වූ අපරාධ චූදිතයින් නිදහස් කිරීම සඳහා මිස යුක්තිය වෙනුවෙන් කොමිෂන් සභාවක් තබා සුළු සහතියක්වත් ඉදිරිපත් නොකරන ලදි. ඒ අනුව 88-89, යුද්ධය, මාතලේ, මන්නාරම සමූහ මිනීවලවල්වල සිට ලසන්ත, ප්‍රගීත්, තාජුඩීන් දක්වාද, මහ බැංකු මූල්‍ය අපරාධයේ සිට බලය වෙනුවෙන් පාස්කු ප්‍රහාරය දියත් කළෝ දක්වාද ගමන් මග ඔබ පසුපසින් අදටත් සිටගෙන සිටී. මෙකී අපරාධ චූදිත ලැයිස්තුව ඔබගෙන් නතර කරනවාද නැතහොත් මෙරට බිහි වූ සත්‍ය සහ යුක්තිගරුක ජනාධිපතිවරයා වශයෙන් ඔබ දේශපාලනයෙන් සමු ගන්නවාද යන්න තීරණය ඔබ සතුය.
    එනයින් වසර 30කට එහා සියල්ලට ඍජුවම යුක්තිය ඉෂ්ට කළ හැකි ආකාරය පිළිබඳ ප්‍රායෝගික ගැටලු‍ ඇතත්, අගතියට පත් උතුරේ සහ දකුණේ එම පවුල්වලට මෙතෙක් නිර්දේශ ඉදිරිපත්ව ඇති සත්‍ය සහ සංහිඳියා කොමිෂන්වල නිර්දේශ ඇතුළු සෑහීමකට පත්විය හැකි යුක්ති යුක්ත සාධාරණත්වයක් එම පවුල්වලට ලබා දෙන මෙන්ද, දැනට සොයා බැලීමේ පරීක්ෂණ නවතා ඇති සමූහ මිනීවලවල් නැවත සාධාරණ යුක්ති යුක්ත පරීක්ෂණයකින් අනතුරුව හඳුනා ගැනීම්වලින් පසුව යුක්තිසහගත ලෙස අභිමානයෙන් යුතුව භූමදානය වීමේ මූලික මානව හා ශිෂ්ට පුරවැසි අයිතිය සනාථ කරන මෙන්ද,
    උක්ත සඳහන් සිදුවීම් හා මා හට මග හැරී ඇති තවත් කොතෙකුත් සිදුවීම්වලටද, රාජ්‍ය මැදිහත්ව සිදු කර ඇති අනෙකුත් සියලු‍ අපරාධයන් සඳහාද, කඩිනම් යුක්ති යුක්ත සාධාරණත්වයක් ඔබගෙන් විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් ඉල්ලා සිටීම මගින් මා යුක්තිගරුක,හෘදසාක්ෂියක් සහිත අභිමානවත් ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස බලාපොරොත්තු වෙමි.
    ස්තූතියි,
    මෙයට විශ්වාසී
    කසුන් පුස්සෙවෙල

Related articles

මහර රැඳවියන් ඝාතන නඩුව ඉවත් කරගැනීම : නීතිපතිගේ හදිසි තීන්දුව පිළිබඳ බරපතළ සැකයක් !

මහර බන්ධනාගාරයේ සිරකරුවන් 11 දෙනකු ඝාතනය කිරීමේ සිදුවීමත්, එය අපරාධයක් බවට කරුණු අනාවරණය වී ඇති නිසා ඊට වගකිවයුතු...

සීෂෙල්ස් නව නීතිපති ධුරයට ශ්‍රී ලාංකික නීතිඥයෙක් !

ශ්‍රී ලාංකික නීතිඥයකු වන වින්සන්ට් පෙරේරා සීෂෙල්ස් රාජ්‍යයේ නව නීතිපතිවරයා වශයෙන් දිවුරුම් දෙයි.අද (16) ඔහු එරට රාජ්‍ය මන්දිරයේදී...

‘ඉඳුදුන්න නැමුන තැන’ – උපුල් සේනාධිරිගේ

ජීවිතය කරනුයේ ඔහුගෙන් එකිනෙක පැහැර ගැනීමය. පළමුව එසේ පැහැරගන්නා ලද්දේ ඔහුගේ මසැසය. එවිට හේ සැරයටියද ගෙන ගමන් ඇරඹීය....

වසරේ චිත්‍රපටය ලෙස හැදින්විය හැකි ‘The Substance’ (2024)

වසරේ චිත්‍රපටය විදිහට හඳුන්වන්නට පුළුවන්. නරඹන්නට තෝරගන්න ප්‍රධානතම හේතුවක් විදිහට අධ්‍යක්ෂකවරියව නම් කළ හැකියි. Revenge (2017) කියන අපූරු...