ළමා වියේදී මා වැනි බිළින්දා යන කවිය නොඇසූ කෙනකු නැති තරම්ය. එය ඒ තරමටම සමාජයෙහි පැතිර ඇති කවියකි. එහෙත් නිරිඳාගේ භූමිකාව යනු පරම්පරාවෙන් පරම්පරාවට දේශපාලනය තුළ අර්බුදයට ගිය එකක් බව යළි යළි සනාථ කරන ලද්දකි. පසුගිය කාලයේ සමාජයේ බොහෝ පිරිස් යළි රාජ්‍යත්වය කරා යා යුතු යයි සිතනා තරමටම රාජ වර්ණනයට බැස්සද එහි අවසාන පලය වූවේ සමාජයේ අති බහුතරය තුළ නව සමාජ ක්‍රමයක් පිලිබඳ අපේක්ෂා දැල්වී යාම පමණි.
බුද්ධදාස ගලප්පත්ති කවියා සිය නව කාව්ය එකතුව වන සමුදුර අසා සිටී කවියෙහි නූතන බිළිඳාගේ ප්‍රතිචාරය මේ යයි ගෙනහැර පායි. එය සම්මත සාහිත්‍ය තුළ නිරූපිත නිරිඳාගේ භූමිකාව වර්තමානය මත තබා විමසීමට ලක් කිරීමකි. ජනතාවාදී නරපති වෙනුවට ජනතාවගේ නාමයෙන් සිය පැවැත්ම තහවුරු කරගැනීම ගැම කල්පනා කරනා නූතන නිරින්දෝ ළමයින් ගැන කෙසේ යහපතක් සිතන්නද.
නිරිඳෙක් නිසයි ඔබ
ළඟට එන්නට මා බය
දුක් සැප අසා අවසන
බිළිඳුනට අත්වූ
ඉරණම කුමක්දැයි
අසා ඇත මා නෙක වර
එනිසයි බිය
එන්නට ඔබ ළඟට
බුද්ධදාස කවියාගේ නිර්මාණ ව්‍යායාමයෙහිදී ඔහු වර්තමාන සමාජයේ චලිතය විවිධ අංශයන්ගෙන් කවියට විෂය කරගන්නට උත්සුක වෙයි. එහිදී ඔහු මානව හැසිරීම්, ආකල්ප, නෙක ප්‍රතිවිරෝධයන් කවියට සමීප කරගැනීම තුළින් සමාජය දෙස විචාරාත්මකව බලන්නට යත්න දරයි. අරගලයේ පෙම් පුවත යනු එවන් ව්‍යායාමයකි. අරගලය යනු ලාංකීය ඉතිහාසයේ මෑත කාලීන සියළුම අවස්ථා පරදවා ලූ අසිරිමත්ම මහජන නැගිටීම සංකේතවත් කරන්නකි. මහජනයා යනු තව දුරටත් බැටළුවන් සේ කීකරුව සිටින්නට සූදානම් නැති කොටසකිය යන්න පාලකයන්ගේ දෙපා වෙවුළුවන තරමේ ජවයකින් විදහා දක්වන ලද වෙසෙසින්ම තරුණ පරපුරේද සහභාගීත්වය ලද අරගලය යනු එහි විරුද්ධවාදීන්ගේ නොයෙක් සරදමට අපහාසයට මෙන්ම ගර්හාවටද ලක් කරන ලද මහජන නැගිටීමකි. එහිදී බරපතල ලෙසම අපහාසයට ලක් කරන ලද්දේ දිවා රෑ අරගල බිමේ කඳවුරු බැඳගත් තරුණ පරම්පරාවයි. තරුණයන්ගේ ලිංගික කෙළි මඩළක් සේ අරගල භූමිය උත්කර්ෂයට නංවා තාරුණ්‍යය අපහාසයට ලක් කරන්නට ඇතැම් පිරිස් දරන ලද උත්සාහය පසුබිම් කර අප කවියා තරුණ පෙම් පුවතක් අරගල බිමේ පිහිටුවයි. ඔහු සිය කවියට උප මාතෘකාව කොට ගන්නේ පුවත් පත් වාර්තාවකි.- අරගල බිමෙහි උපත් පාලන කොපු හමුවෙයි. කවියා මෙහිදී ඉතා සංවේදී ලෙස අරගලයේ නියුතු තරුණ ජීවිත දෙස පරිණත බැල්මක් හෙලන්නට සිය කවිය උපයෝගී කරගනියි. ඒ කවිය යනු ඉතා තීරණාත්මක මහජන නැගිටීමක පාර්ශවකරුවන් බවට පත් තුරුණු පෙම් යුවලකගේ ජීවිත හරහා මිනිස් භාවයන්, දේශපාලනය මෙන්ම සමාජ සම්මතයන් යන සියල්ල විමසන්නට තැත් කිරීමකි.
මල් අම්මා උවැසියගෙන් කළ ඉල්ලීම මැයෙන් වන කවියද බුද්දාදාස කවියාගේ කදිම නිර්මාණයකි. එහි කථකයා මල් පිරි ගසකි. එ ගස අමතනුයේ සිය පැස මලින් පුරවාගෙන බුදු පුදට යන උවැසියකටය. ඇගේ පැතුම පැස පුරවා සිය බැතිය සන්තර්පණය කිරීමයි. එහෙත් මේ මල් ගස යනු මල් විකුණා ජීවිතය ගැටගසාගන්නා පුද්ගලයෙකුටද පිහිට වන්නකි. එහෙත් තම පැස පුරවා ගැනීමේ ආරම්මණයේ සිටිනා උවැසිය ඒ නොදනී. මල් ගස එහෙයින් ඇය අමතා තමන් වෙතින් ජීවිතය ගැටගසා ගන්නා පවුලක තතු පවසා සිටින්නීය. එය ස්වාර්ථය සහ පරාර්ථය අතර වන සංවාදයකි.
මිත්තණියනි
බලන්න ඔබේ මල් පැස
පිරිතිරී ගොස් නොවෙද
නෙක වර්ණ නෙක සුවඳැති මලින්
තවත් මලකට ඉඩ කොහිද එහි
මේ මල් ගස තමන්ගේ සැබෑ අරමුණ ඉදිරිපත් කරන ආකාරයයි. ගසෙහි අපේක්ෂාව කේවල විමුක්තිය වෙනුවෙන් නොව දරු පවුලක ජීවිතය උදෙසා තම මල් පුදා ලීමටය.
මිත්තණියනි
අභය දෙන්න
මගේ දරු පැටවුනට
සයින් සිටිනා තවත්
දරු පැටවු රැසකගේ
කඳුළ නිවනට
පවුල, සහෝදර බැමි මෙන්ම තමන්ට මතයක් හෝ තේරීමක් අහිමි විවාහය යන පාර්ශවයන් ඇසුරින් සහෝදරත්වයේ සියුම් බැඳීම විචාරන්නට උත්සාහ දරනා කවියකි පොඩි අක්කා සහ පොඩි මල්ලී යන කවිය. එහි ප්‍රධාන චරිතද්වය වනුයේ සිය අභිමතය නොතකා තමන් බේබද්දකුගේ නැතිනම් ආලවකයකුගේ ගොදුරක් බවට පත් කර පවුල් වගකීම් වලින් ගැලවී ගත් සහෝදරයන් හමුවේ පීඩාවට පත් තරුණියක සහ ඇගේ බාල මල්ලී ය. කවියෙහි කථකයා පොඩි මල්ලී ය. ඔහු සිය අක්කණ්ඩියට අත්ව ඇති ඉරණම හමුවේ කම්පාව සිටිනුයේ ඇගේ ගැලවීම වෙනුවෙන් තම ජීවිතයම කැල කර තීන්දු ගැනීමට සූදානම්ව සිටියි. මේ කවිය අප සමාජයේ විවාහය මෙන්ම පවුල් බැඳීම් පිලිබඳවද ඇති එක් වියවුල් සහගත පාර්ශවයක් විමසන්නට තැත් දැරීමකි. ඒ කවිය තුළ අප කවියා පොඩි මල්ලිගේ සෙනෙහස ඉතා සංක්ෂිප්තව පවසනුයේ මේ අයුරිනි.
මම උඹේ පොඩි මල්ලී
ඒත් ලොකුඅ හදවතක් ඇති
උමේ පොඩි මල්ලී
තමන්ගේ පැටි වියෙහි තමන්හට අසීමිත ස්නේහයක් පෑ සොහොයුරිය වැඩිමහල් සොහොයුරන්ගේ අභිමතයන් හමුවේ ඛේදයට මුහුණ පානා විට ඇගේ පිහිටට එන්නේ විසල් හදවතක් ඇති පොඩි මල්ලීය. එදා තමන් පිටේ තබාගෙන ගිය අක්කාට මල්ලී අද පිහිට වන්නට යන්නේ ආත්ම පරිත්‍යාගී ගුණය විදහමිනි.
නුඹ මා පිට තබාගෙන
මහ සයුර පීනා
උඹ එතෙර කරවන
උඹේ පොඩි මල්ලී වෙමි මම
සිය අඳ පෙම්වතා සමගින් සිනමා හලෙක අඳුරෙහි තනිව ඔහු අසනා ශබ්දයනට අරුත් සපයමින් ඔහුට සිනමාපටය තේරුම් කරදෙන පෙම්වතියගේ කවියද අපූර්ව කවියකි. අරුමැති දසුනකි මැයෙන් රචිත ඒ කවිය නව කාව්යම සංකල්පනා සොයා යන්නට බුද්ධාදාස කවියා තුළ වන සමත්කම විදහන්නකි. එය පෙමෙහි අසිරිය කවියට ගෙනා සංක්ෂිප්ත එහෙත් පුළුල් අරුත් දනවන කවියක් බව කිව යුතුය.
සක්කිලිවත්තෙ රාජා යන කවිය බුද්ධදාස කවියාගෙ මුල්කාලීන කවියෙහි පටන් ඔහු සමාජය දෙස බැලූ ආකාරය අපට යළි සිහිපත් කරවයි. සමාජයෙහි අවපීඩිත මිනිසුන් මෙන්ම ඔවුන් වර්ග කරනා ආකාරය පිලිබඳව කවියාගේ නොපහන් බව පලවෙන මේ කවිය සමාජ සම්මතයන් දෙස විවේචනාත්මකව බලන්නට ඔහු දිගින් දිගටම දැරූ තැතෙහි තවත් එක් අවස්ථාවකි.
සමුදුර අසා සිටී යනු කවි හතලිස් දෙකකනි සමන්විත කාව්‍ය එකතුවකි. ශෝකී තානයක් වැඩි වශයෙන්ම ගැබ්ව ඇති මේ කවි තුළ දක්නට ලැබෙනුයේ කවිය අතහැර යන්නට සූදානම් නැති වියපත් කවියකුගේ අනුරාගික පොර බැදුමකි.