කාංචනා අමිලානිගේ ‘ කාල රේඛාව ‘ ගැන

Share post:

කාංචනා අමිලානිගෙ ‘ කාලරේඛාව’ කාව්‍ය සංග්‍රහය මිල දී ගන්න පෙළඹීමක් ඇති වුණේ ඇයගේ ප්‍රේමයේ කාර්තු කෘතිය කියවීමෙන් ලද ආස්වාදය කියන එක මුලින්ම කියන්න ඕන. ළමයෙක් සරුංගලයක් යවනවා වාගේ පුංචි විනෝද ජනක බවක් ලබන ස්වභාවයකුත් ඇයගේ කවිවල තියෙනවා නේද? කියලා හිතෙන වෙලාවලුත් තියෙනවා. කොහොම වුණත් ඇයගේ අලුත් කාව්‍ය සංග්‍රහයේ විරහව තේමා කර ගත් කවි කීපයක් තිබෙන බව පේනවා. කවියෙ දි ඇය ස්පර්ශ කරන තේමාවන් ගත්තොත් ඇයගේ කවිය ප්‍රගීතිකා ජයසේකරගෙ කවියට යම් නෑකමක් තියෙනවා. ඒත් ඇයගෙ සංරචන විධි සහ භාෂා භාවිතය ඇයටම අනන්‍ය එකක්. ප්‍රගීතිකා ගැන මතකයට ආවේ ඇයගේ කවියට ආදරය විරහව වැනි අත්දැකීම් ඉතාම සමීප නිසා.

කාංචනාගේ ප්‍රේමයේ කාර්තු කාව්‍ය සංග්‍රහය කියවන දවස්වල මම මිතුරන්ට දුරකථනයෙන් කියූ කවියක් තිබුණා .ඒ කවිය මෙහෙමයි.

මොන පිස්සුද!

ඔන්න ඔහොම
වීනස් ප්‍රතිමාව මෙන්
නොසෙල්වී ඉන්න

මැටියෙන් අතක් තනන්නට
මට පැයක් දෙන්න
ඇඟ වැහෙන්න සළුවක් වියන්න
පැය තුනක් දෙන්න
පිළිමය:

අත ගලවා ඇඳුම් ඉරා
ආවේ ඔබ සොයා
මොන පිස්සුද
මෙන්න මෙහෙ එන්න

හාස්යෝත්පාදක රචනයක්. ඒත් හුදෙක්ම හාස්‍ය විතරක් ද? කියලත් හිතෙන කවියක්.

කාංචනාගේ කාලරේඛාවෙ ආරම්භක කවිය ඇයගේ අනන්‍යතාවය ප්‍රකට කරන පෙම්කවියක්.

කොතරම් කවි ද ඔබෙ නමට

මුහුලස ද සිනාවද ශෝකය ද
විටින් විට මට දෙන
තියා ගනිතැයි බය නොවන
ආපසු ඉල්ලන්න හදිසි නොවන
ඉන්ද්‍රජාලිකය ඔබ
ඉතිං කොතරම් කවි ද ඔබෙ නමට

කෝ දෙන්න!!

විටෙක මගෙ කඳුළු ඉල්ලාගන්න
ඒවා මුතු වෙතැයි ඉවත නොදමන
විටින් විට සමන්මලින් පවන් සලන
පුදුම පහන ඔබ
ඒ නිසා කොතරම් කවි ද ඔබෙ නමට

ඉල්ලන විට දෙනු නොහැකි
ඔබේ වික්‍රමාන්විත රාජධානියට
මට එන්න ඉඩ දෙන
හැසිරීම නරකැයි කිසි විටෙක
මා පිටමං නොකරන
නම් ගොඩක් ඇති සුවඳ විලවුණ ඔබ
ඒ හින්දමයි මෙතරම් කවි ඔබෙ නමට .

කාංචනා ලියන කෙටි කවි ද බොහෝ විට ප්‍රේමයේ ස්මරණයන්ම බව පෙනෙයි. පහත දැක්වෙන්නේ එබඳු කවියකි.
ඒ ක්ෂුද්‍ර මොහොත
කෙතරම් වෙහෙස ද
ඔබ මුහුණ මතකයට නැඟුම
හරියටම එදා දුටු විදිහට
නාන තටාකයෙ ගැට්ට මත
මඳක් බීමත්ව
විදුලිය කාන්දු කරමින් මවෙත
ඒ ක්ෂුද්‍ර මොහොත
දැන් ඔබට සදහටම අමතකව ගිය
කංචනාගේ කාව්‍ය සංග්‍රහයේ නාමයට පාදක වන කවිය සරල බසකින් යම් ගැඹුරු අරුතක් මතු කරන කවියක් ලෙස පෙනෙයි.
කාල රේඛාව
සුනම්‍යව පැවති කාල රේඛාව
බිඳී ඉහිරී
‘ යමි’ යි සිතා ගෙන
කඳු මුදුන්,සාගර පතුල් පිරික්සුවද
කිසිවකු මා භාර නොගනී
පැටිවියේ පටන්, ඒ ලෙසමය
‘ කිසිවකු ඔබව භාර නොගනී’
මම මා තුළම ගිලෙමි
පටු මතක දෙබුක්කා තුළ වැදී
කුඩා එළියක් දල්වමි
ඒත්,මතකය ඔබව භාර නොගනී
කෲරත්වය උගන්නා තෙක්
කිසිවකු ඔබව භාර නොගනී
මෘදු තතු කියන්නට නතර වුණු අය
තැබූ විට හදවත තිබූ තැනට අත
අතැර දුවාවි
පැටි වියේ පටන් එහෙමයි
‘ කිසිවකු ඔබව භාර නොගනී’

අපේ සමහර ලක්ෂණ නිසා අප ප්‍රතික්ෂේපිත පුද්ගලයින් බවට පත් වන්නේ නම් එබඳු සමාජයක් ඛේදනීය නොවේද? සමාජය තුළ සුරක්ෂිත වීම පිණිස අපේ අනන්‍යතා සඟවා ගැනීමට සිදුවන අවස්ථා කොතෙක් ද?  කාංචනාගේ කවි විඳින්නට ඔබට ද ඇරයුම් කරමි .

ප්‍රියංකර නිවුන්හැල්ල

Related articles

කච්චතිව් නඩුව සහ මෝදිගේ ලංකාගමනය !

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ලබන 05 වැනිදා ලංකාවට පැමිණීමට නියමිත ය. එහිදී ඔහු සාම්පූර් ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කර...

කැන්ගරු කැබ්ස් Genie Business සමග එක් වී Tap to pay ගෙවීම් ක්‍රමය හඳුන්වා දෙයි !

වසර 35ක් පාරිභෝගික විශ්වාසය දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ කුලී රථ සේවාවේ ප්‍රමුඛයෙකු වන කැන්ගරු කැබ්ස් නව තාක්ෂණයේ ඉදිරි...

“නාඔටුන්නගෙ කවි බහුතරය ගේන්නෙ වළ දාපු දුකක්” – ‘කළු පැහැති කුඩා පොත’

කළු පැහැති කුඩා පොත - සචින්ත ප්‍රමෝද් නාඔටුන්න මම වැඩිපුරම ආස පෙම් කවි කියවන්න. දැන් මං ආස පෙම් කවි...

මහාධිකරණ විනිසුරුවරුන්ට අධිකරණ සේවා කොමිසමෙන් වත්කම් ගැන ලිඛිත දැනුම්දීමක් !

විනිසුරුවරුන් නොවන අධිකරණ නිලධාරීන් 2024 සඳහා වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශන ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන...