අධිකරණයට අපහාස කිරීමේ නීතිය අවභාවිත නොකළ යුත්තේ ඇයි? – මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනගේ තීන්දුව සමග අනුපිළිවෙළට කියවා ගත යුතු කරුණු කිහිපයක් !

Share post:

අධිකරණයට අපහාස වන ආකාරයෙන් කටයුතු කිරීමේ චෝදනා ලත් නීතිඥවරයකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත්, ඔහුගේ නීතිඥ වෘත්තීයභාවය අත්හිටුවීමටත් ශ්‍රේෂ්ඨාධිකරණය සිදු කළ නියෝගය දැඩි කතාබහට ලක්විය. අවස්ථා කිහිපයකදී ම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් විසින් මේ චෝදනා ලත් නීතිඥවරයාගෙන් විමසා තිබුණේ ‘ඔබ පෙර ස්ථාවරය ම දරන්නේද’ යනුවෙනි. ඒ සෑම අවස්ථාවකදී ම ඔහු සඳහන් කර තිබුණේ ‘ඔව්’ යන පිළිතුරයි.

නීතිඥවරයා විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ විනිසුරුවරුන්ට හැකියාවක් නැති බවට නීතිඥවරයා විසින් තර්ක කරන ලදි. ඊට හේතුව තමන් මේ විනිසුරුවරුන්ට එරෙහිව නඩු පවරා තිබීම බව නීතිඥවරයා පෙන්වා දී තිබිණි. මේ නඩුව විමසීමට තමන්ට නියම කර ඇත්තේ අගවිනිසුරුවරයා විසින් බවත්, අධිකරණයේ කටයුතුවලට බාධා නොකරමින් එම කටයුතු පවත්වාගෙන යෑමට සහාය ලබාදෙන ලෙසත් මෙහිදී විනිසුරුවරුන් නීතිඥවරයාට දැනුම් දෙන ලදි.

මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මල විග්නේෂ්වරන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ නීතිඥවරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙසයි. සියලු‍ කරුණු සලකාබැලීමෙන් පසු අධිකරණය අදාළ නියෝගය ලබාදුන් අතර, ඒ අවස්ථාවේදී ‘ස්තූතියි ස්වාමීනි’ යනුවෙන් පවසා අධිකරණයට ආචාර කළ නීතිඥවරයා, ඔහු පැළඳ සිටි නීතිඥ කබාය ගලවා සිය අසුන මත දමන ලදි.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී නීතිපති දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක් සේවය කළ හිටපු අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා පැවසුවේ අධිකරණ අපහාසය පිළිබඳ නිවැරදි අර්ථ නිරූපණයක් නොමැති බවයි. කෙසේ වෙතත් මීට අදාළ අවසාන තීරණ ගැනීමේ බලය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට බව ද ඔහු පෙන්වා දුන්නේය. එනම් වගකීම ඇත්තේ ඉහළ අධිකරණයට ය. ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ හෝ අභියාචනාධිකරණය ඉදිරියේ යම් වෘත්තීය විරෝධී කටයුත්තක් කළහොත්, ඒ අධිකරණයටම ඒ සම්බන්ධයෙන් පියවර ගැනීමේ හිමිකම ඇතැයි ද ජනාධිපති නීතිඥවරයා පැවසීය.

මෙහිදී තවත් කරුණක් ඔහු ඉස්මතු කරයි. එනම් අධිකරණයේ ගෞරවය රැකිය යුතු බවයි. එය බිඳවැටුණහොත් සමස්ත සමාජයටම හානියක් බව පෙන්වා දෙන ඔහු, එය බිඳවැටෙන අවස්ථාවකදී ඊට අදාළව විමර්ශනයක් පවත්වා අධිකරණය සෑහීමකට පත්වන්නේ නම් නියෝගයක් කිරීමේ හැකියාව පවතින බව ද සඳහන් කළේය.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) අනුව අධිකරණයේදී හෝ අන් ස්ථානයකදී අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් කිරීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණය සතු ය. ඊට අදාළ ව 2024 අංක 8 දරන නව පනතක් ද ඉදිරිපත් කොට තිබේ. ඉහත කී නීතිඥවරයාට චෝදනා ගොනුකරන ලෙස නියෝග කර ඇත්තේ එම පනත යටතේ ය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ හිටපු ඇමැති එස්.බී. දිසානායකට 2003 වසරේදී බරපතළ වැඩසහිත වසර 2ක සිරදඬුවමක් නියම කෙරිණි. අගවිනිසුරුවරයාට එරෙහිව පවරා තිබූ නඩුවක් අතරතුර අධිකරණයේදී උස් හඬින් කතාකිරීමේ චෝදනාව මත අගවිනිසුරුවරයා විසින් ම ටෝනි එම්මානුවෙල් ප්‍රනාන්දුට වසරක සිර දඬුවමක් නියම කර ඇත. බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට අපහාස කළ බව පවසමින් එවකට හෝමාගම මහේස්ත්‍රාත් ධුරය දැරූ රංග දිසානායක අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් පසු, 2018 වසරේදී වසර 19ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කෙරිණි. කෙසේ වෙතත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් උන්වහන්සේට ජනාධිපති සමාව ලබාදෙන ලදි.

2017 අගොස්තු 21දා පැවති මාධ්‍ය හමුවකදී අධිකරණ විනිශ්චයකාරවරුන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් වූ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක තීන්දුවට අනුව ඔහුට බරපතළ වැඩ සහිත වසර 4ක සිර දඬුවම් නියම කෙරිණි. ඔහුට ද ජනාධිපති සමාව ලැබුණු අතර, අධිකරණ අපහාසය සම්බන්ධයෙන් වූ තවත් නඩුවකදී රංජන් රාමනායක සමාව ගන්නා ලදි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට මහාධිකරණයෙන් මරණ දඬුවම ලබාදීම තහවුරු කිරීමේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය පිළිබඳව කළ ප්‍රකාශයක් හේතුවෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ යුද හමුදාවේ විශ්‍රාමික මේජර් නීතිඥ අජිත් ප්‍රසන්නට 2023 ජනවාරි 24දා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වසර 4ක සිර දඬුවමක් නියම කෙරිණි. නීතීඥ වෘත්තියට අගෟරවයක් සහ අවමානයක් වන පරිදි කටයුතු කළ බවට චෝදනා ලැබූ නාගානන්ද කොඩිතුවක්කුගේ නීතිඥභාවය අහෝසි කිරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය පෙබරවාරි 29දා නියෝග කළේය.

කෙසේ වෙතත් අධිකරණ අපහාසයට අදාළ වැදගත් තීන්දුවක් අභියාචනාධිකරණය පෙරේදා (30) ලබාදුන්නේය.
අධිකරණයට අපහාස කළ බව සඳහන් කරමින් සිහළ රාවය සංවිධානයේ නීතිඥවරයකු කළ කරුණු දැක්වීමක් මත ජනමාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ඇතුළු පිරිසක් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙසට කොළඹ කොටුව හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ පරිගණක අපරාධ කොට්ඨාසයට කළ නියෝග 02ක් වහාම අත්හිටුවන ලෙසයි, අභියාචනාධිකරණය නියෝග කළේ.

කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේගේ නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලමින් කොළඹ පළාත්බද මහාධිකරණයට මීට පෙර අභියාචක විසින් පෙත්සමක් ගොනුකර තිබිණි. එහෙත් එය මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.පී.එස්. නිශ්ශංක විසින් ප්‍රතික්ෂේප කරන ලදි. ඊට එරෙහිවයි, මාධ්‍යවේදියා විසින් අභියාචනාධිකරණයට මේ පෙත්සම ගොනුකර තිබුණේ.

නීතිඥ මනුෂිකා කුරේගේ උපදෙස් පරිදි ගොනු කළ මේ ප්‍රතිශෝධන පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, පරිගණක අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා, අන්තර්ජාල බුද්ධි කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා සහ නීතිපතිවරයා නම් කර තිබිණි.
පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී නීතිඥ සු‌රේන් ඩී. පෙරේරා, නීතිඥ මනුජය ද සිල්වා සහ නීතිඥ මනුෂිකා කුරේ සමග ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පෙත්සම්කරු වෙනුවෙන් කරුණු දක්වමින් කොටුව මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය නීතියට පටහැනි බව පෙන්වා දෙමින් එම නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා සිටියේය.

ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව ජනමාධ්‍ය, සිවිල් හා මානව හිමිකම් ක්‍රියාකාරීන් පිරිසක් මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ බවත්, එම මාධ්‍ය සාකච්ඡාවේදී පිරිසක් අධිකරණයට අපහාස කළා යැයි කියමින් නතාෂාට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී විවෘත අධිකරණයේදී නීතිඥවරයකු කළ කරුණු දැක්වීමක් පදනම් කරගනිමින් පෙත්සම්කාර තරිඳු ජයවර්ධන ඇතුළු පිරිසට එරෙහිව විමර්ශනයක් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බවත් ඔවුහු පෙන්වා දුන්හ.

නීතිඥවරයාගේ කරුණු දැක්වීමේ කිසිම තැනක පෙත්සම්කරුගේ නම නොතිබියදී මහේස්ත්‍රාත්ගේ නියෝගයේ තරිඳු ජයවර්ධන යනුවෙන් සඳහන් කර ඇති බවත්, මෙය ගැටලු‍ සහගත බවත්, මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණ බල ප්‍රදේශයේ පිහිටි සමාජය හා සාමයික කේන්ද්‍රයේ කළ මාධ්‍ය සාකච්ඡාවකට අදාළ ව කොටුව මහේස්ත්‍රාත්වරයා තීන්දුවක් ලබාදීම අධිකරණ බලය ඉක්මවා යෑමක් බවත් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් මෙහිදී සඳහන් කළේය.

අධිකරණයෙන් පිටතදී කරන ලදැයි කියන අපහාසයක් ගැන සෙවීමට මහේස්ත්‍රාත්වරයාට කිසිම බලයක් නැති බවත්, ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද හැකියාවක් නැති බවත්, තමන් භාෂණයේ ප්‍රකාශනයේ නිදහස භාවිත කරමින් පොලිසියේ වැරදි ක්‍රියාකලාපය විවේචනය කළ ද කිසිම අවස්ථාවක අධිකරණයට අපහාස නොකළ බවත් තරිඳු ජයවර්ධන මාධ්‍යවේදියා පෙත්සමේ සඳහන් කර තිබේ.

අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් බී. අබේකෝන් සහ පී. කුමාරරත්නම් විසින් මේ තීන්දුව ලබාදුන්හ.
අධිකරණ සංවිධාන පනතේ 55.1 යටතේ මහෙස්ත්‍රාත් අධිකරණයක් ඉදිරිපිටදී කරනු ලබන අධිකරණයට අපහාස කිරීමක් සම්බන්ධයෙන් දඬුවම් පැමිණවීමට එම අධිකරණයට බලය ඇත. එහෙත් මහෙස්ත්‍රාත් අධිකරණයෙන් පිටතදී කරනු ලබන අධිකරණයට අපහාස කිරීමක් සම්බන්ධයෙන් කටයුතු කිරීමට මහෙස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105.3 අනුව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් පැමිණවී‍මේ අනන්‍ය බලය ඇත්තේ අභියාචනාධිකරණයට බවත් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් කිහිපදෙනෙක් ම පැවසූහ.

අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සමේ වැඩිදුරටත් දැක්වෙන්නේ විමර්ශනයක් සඳහා බලය ඇති බවට නිගමනයකට එළඹීම සඳහා මහාධිකරණ විනිසුරුවරයා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 9 (ආ) (i) වගන්තිය උපුටා දක්වා ඇති බවයි. එසේ වුවද එම වගන්තියේ පළමු කොටස මහාධිකරණ විනිසුරුවරයා නොසලකා ඇති බවත්, ‘ස්වකීය ප්‍රාදේශීය අධිකරණ බලසීමාව තුළ’ ලෙස එහි සඳහන් වන බවත්, මෙම සිද්ධියට අදාළ මාධ්‍ය සාකච්ඡාව පවත්වා ඇත්තේ කොටුව ප්‍රාදේශීය අධිකරණ බල සීමාව තුළ නොව මාලිගාකන්ද ප්‍රාදේශීය අධිකරණ බල සීමාව තුළ බවත් පෙත්සමේ වැඩිදුරටත් දැක්වේ.

අධිකරණයේ ගෞරවය ආරක්ෂා කිරීම මගින් නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීම සියලු පුරවැසියන්ගේ වගකීමකි. එසේම සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පනත, අධිකරණ අපහාස නීති වැනි නීතියේ සඳහන් ප්‍රතිපාදන අවභාවිත කිරීම ද අනුමත කළ නොහැකිය. මුලින්ම සඳහන් කළ නීතිඥවරයාගේ සිදුවීමත්, හිටපු අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මතුකරන තර්කයත්, එස්.බී. දිසානායකගේ සිට නාගානන්ද කොඩිතුවක්කු දක්වා උදාහරණත්, පෙරේදා මාධ්‍යවේදියාගේ සිදුවීමත් එක පෙළට තබා කියවාගත යුත්තේ එම නිසා ය.

  • ශාලික විමලසේන

Related articles

කාන්තා T20 ලෝක කුසලානය අද ආරම්භ වුණා – චමරි අතපත්තුගේ අවසන් ලෝක කුසලානය විය හැකි

කාන්තා T20 ලෝක කුසලානය අද ආරම්භ වුණාඑහිදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වන පළමු තරගයත් අද පැවැත්වෙනවා.ඒ පාකිස්තාන...

බට්ටිලා සහ ලිමන්සා

නවසීලන්ත යොවුන් කාන්තා කණ්ඩායම සමග පැවැති තරගයෙන් ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම ජය ගත්තා.ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය...

Ceylon Energy හා HJT China එක් වී SESRIP ව්‍යාපෘතිය යටතේ දියත් කළ මහව හා අම්පාර කිලෝ වෝල්ට් 33ක විදුලි බෙදාහැරීමේ පද්ධතිය සාර්ථකව අවසන් කරයි !

Ceylon Energy සමාගම සහ HJT China සමාගම එක් වී දියත් කළ මහව සහ අම්පාර කිලෝ වෝල්ට් 33ක (33 kV) විදුලි බෙදා හැරීමේ...

නතාෂා අත්අඩංගුවට ගැනීමෙන් පොලිසිය සහ ආගමන විගමන පාලක මූලික අයිතිවාසිකම් කඩලා : නිලධාරීන්ට එරෙහිව පියවර ගැනීමට මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ !

පරිගණක අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ ලකී රන්දෙණිය, එහි සහකාර පොලිස් අධිකාරී චන්දිමා අරුමප්පෙරුම, අන්තර්ජාල ආවේක්ෂණ හා බුද්ධි ඒකකයේ...