නතාෂා අත්අඩංගුවට ගැනීමෙන් පොලිසිය සහ ආගමන විගමන පාලක මූලික අයිතිවාසිකම් කඩලා : නිලධාරීන්ට එරෙහිව පියවර ගැනීමට මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ !

Share post:

පරිගණක අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ ලකී රන්දෙණිය, එහි සහකාර පොලිස් අධිකාරී චන්දිමා අරුමප්පෙරුම, අන්තර්ජාල ආවේක්ෂණ හා බුද්ධි ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එස්.එම්. සුබසිංහ සහ අගමන විගමන පාලක ජනරාල්වරයා ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරියගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීන්දු කර තිබේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලකී රන්දෙණිය, සහකාර පොලිස් අධිකාරී චන්දිමා අරුමප්පෙරුම සහ උප පොලිස් පරීක්ෂක එස්.එම්. සුබසිංහ යන තිදෙනාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර නිසි පියවරක් ගන්නා ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ කර ඇති අතර, විමර්ශන වාර්තාවේ පිටපතක් පොලිස්පතිවරයාටත්, මහජන ආරක්ෂක අමාත්‍යංශයටත්, ජාතික පොලිස් කොමිෂන් සභාවටත් යොමු කර තිබේ.

2023 අප්‍රේල් 01දා කලම්බු කොමඩි සෙන්ටර් විසින් සංවිධානය කරන ලද ප්‍රහසන වැඩසටහනකදී නතාෂා එදිරිසූරිය විසින් කළ ඉදිරිපත් කිරීම පාදක කරගෙන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (අයිසීසීපීආර්) යටතේ 2023 මැයි 27 වැනිදා ඇය අත්අඩංගුවට ගනු ලැබීය. පරිගණක අපරාධ කොට්ඨාසය ඇය අත්අඩංගුවට ගත්තේ ඇය විදේශගතවීම සඳහා ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේදී ආගමන විගමන නිලධාරීන් විසින් රඳවා ගැනීමෙන් පසුව ය.

ඇය මානව හිමිකම් කොමිසමට ප්‍රකාශයක් ලබාදෙමින් පවසා ඇත්තේ තමන් කළ ඉදිරිපත් කිරීම පාදක කරගෙන 2023 මැයි 24 වැනිදා තමන් බුදුදහමට අපහාස කළ බව දක්වමින් සමාජ මාධ්‍යවල විවිධ මත පළවූ බවයි. එසේම ප්‍රධාන මාධ්‍යවල ද ඇය හිංසාවට ලක්වන ආකාරයේ ප්‍රවෘත්ති පළවිය. තමන් කිසිම වරදක් නොකළ නමුත්, තමන්ට එරෙහිව සමාජ මාධ්‍ය හරහා දියත් වූ විරෝධය හේතුවෙන් මානසික පීඩාවට පත්වූ බවත්, ඉන් මිදීම සඳහා ටික දිනකට විදේශගත වීමට තීරණය කර ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේදී ආගමන විගමන නිලධාරීන් තමන් රදවා ගත් බවත්, කෙසේ වෙතත් රඳවා තබාගැනීමට අදාළ ව කිසිම ලේඛනයක් ඉදිරිපත් නොකළ බවත් නතාෂා එදිරිසූරිය මානව හිමිකම් කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබේ.

ආගමන විගමන නිලධාරීන් තමන් රඳවා තබාගෙන සිටියදී රාත්‍රී 11.10ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පැමිණ තමන් එහි ප්‍රධාන කාර්යාලයට ගෙන ගිය බව ද, තමන් අත්අඩංගුවට ගැනීම ආවරණය කිරීම සඳහා ජනමාධ්‍ය එම ස්ථානයට පැමිණ සිටි බව ද, මුලින්ම තමන්ට කිසිවකු හමුවීමට අවස්ථාව නොදුන් බවත්, අවසානයේ 28දා තමන්ගේ සහකරු පමණක් හමුවීමට අවස්ථාව දුන් බවද, නීතිඥවරයකු හමුවීමට අවස්ථාව නොදුන් බව ද, එදින තමන් නිවසට ගෙන ගොස් තමන් විසින් රචිත පොත් කිහිපයක් නිලධාරීන්ගේ බාරයට ගත් බව ද, එම ස්ථානයට ද මාධ්‍ය පැමිණ සිටි බව ද ඇය සඳහන් කර ඇත.

2023 මැයි 28දා කොළඹ – කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ හමුවට තමන් ව ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කළ අතර, කොළඹ මහාධිකරණයෙන් තමන්ට ඇප නියම වන තෙක් ජූලි 05දා තෙක් බන්ධනාගාරගතව සිටීමට සිදුවූ බව ද ඇය සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මෙම පැමිණිල්ල ගැන විමර්ශනය කරද්දී අනාවරණය වී ඇත්තේ පළමුවැනි වගඋත්තරකාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රන්දෙනිය ඇය විදේශ ගතවීමට පැමිණියහොත් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසට හතරවැනි වගඋත්තරකාර ආගමන විගමන පාලකට දැනුම් දී ඇති බවයි. ඇය විදේශගතවීම වැළැක්වීම සඳහා නීත්‍යනුකූල අධිකරණ නියෝගයක් තිබී නැති බව කොමිසම නිරීක්ෂණය කර තිබේ.

ඇයගේ ගමන නවතා ඇත්තේ සාධාරණ නොවන පූර්ව උපකල්පනයක් මත පිහිටා බවත්, නීතිය මගින් ඉඩ සලසා නොමැති ක්‍රමවේදයකට එසේ කටයුතු කිරීමට හැකියාවක් නැති බවත් කොමිසම සඳහන් කරයි.

මානව හිමිකම් කොමිෂන් සභා පරීක්ෂණයේදී වැඩිදුරටත් හෙළිදරව් වී ඇත්තේ නතාෂා එදිරිසූරියට එරෙහිව පරිගණක අපරාධ කොට්ඨාසයට පැමිණිල්ල ලැබී ඇත්තේ 2023 මැයි 27දා උදෑසන 9.30ට බවයි. පැමිණිල්ල ලැබීමෙන් පසු පෙරවරු 10.40ට ඇය සම්බන්ධයෙන් සොයාබැලීම ආරම්භ කර ඇති බවටත්, එදින පස්වරු 2.00ට ඇයගේ වෙනත් වැඩසටහනක් පැවැත්වෙන බවට ලද තොරතුරක් අනුව නිලධාරීන් යොමු කළ බවටත් සටහන් යොදා ඇති බවත් අනාවරණය වී තිබේ.

ඇය විදෙස් ගත වන බවට පෞද්ගලික ඔත්තුකරුවකුගෙන් ලද තොරතුරක් අනුව ඇය රඳවා තබාගන්නා ලෙස දුරකතන පණිවුඩයක් යොමු කළ බවට ද එදින පස්වරු 4ට උප පොලිස් පරීක්ෂක සුබසිංහ සටහන් යොදා තිබී ඇත. ඒ අනුව පැමිණිල්ල ලද වහාම කිසිදු විමර්ශනයක් නොමැතිව ඇය රඳවා තබාගන්නා ලෙසට ආගමන විගමන පාලක ජනරාල්වරයාට පළමු වගඋත්තරකාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රන්දෙනිය දැනුම් දී ඇති බව හෙළිදරව් වී තිබේ.

පරිගණක අපරාධ කොට්ඨාසය නතාෂා එදිරිසූරියගේ වැඩසටහන් ප්‍රකාශයේ සුළු කොටසක් පමණක් සලකා බලා ඇති බව ද, ඇගේ සම්පූර්ණ ප්‍රකාශය සලකා බලා නැති බව ද මානව හිමිකම් කොමිසමේදී හෙළිදරව් වී ඇත.

දීර්ඝ විමර්ශනයකින් පසු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර ඇත්තේ පරිගණක අපරාධ කොට්ඨාසයේ වගඋත්තරකරුවන් තිදෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13.1, 12.1 සහ 14.1.අ ව්‍යවස්ථා උල්ලංඝනය කර ඇති බවත්, ආගමන විගමන පාලක ජනරාල්වරයා 12.1 ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවත් ය.

ඒ අනුව පරිගණක අපරාධ කොට්ඨාසයේ එවකට සේවය කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රන්දෙණිය ඇතුළු තිදෙනාට එරෙහිව නිසි පියවර ගන්නා ලෙසට කොමිසම නිර්දේශ කර ඇති අතර, පුද්ගලයකුගේ ගමන් තහනම් කිරීම නීත්‍යනුකූලව කිරීමට අවශ්‍ය ක්‍රමවේදය ගැන පොලිස්පතිවරයා සමග සාකච්ඡා කර මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙස ආගමන විගමන පාලකවරයාට නිර්දේශ කර තිබේ.

එසේම නතාෂා එදිරිසූරියට රුපියල් 50,000ක මුදලක් ගෙවන ලෙසට ද පරිගණක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් තිදෙනාට කොමිසම නිර්දේශ කර ඇත.

නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීමෙන් පසු එම සිද්ධියට ම බෲනෝ දිවාකර ද අත්අඩංගුවට ගත් අතර, මේ දෙදෙනාටම එරෙහිව නඩුවක් පවත්වාගෙන නොයන බවට නීතිපතිවරයා කළ දැනුම්දීමක් මත ඔවුන් මුදාහැරිණි.

Related articles

කාන්තා T20 ලෝක කුසලානය අද ආරම්භ වුණා – චමරි අතපත්තුගේ අවසන් ලෝක කුසලානය විය හැකි

කාන්තා T20 ලෝක කුසලානය අද ආරම්භ වුණාඑහිදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වන පළමු තරගයත් අද පැවැත්වෙනවා.ඒ පාකිස්තාන...

බට්ටිලා සහ ලිමන්සා

නවසීලන්ත යොවුන් කාන්තා කණ්ඩායම සමග පැවැති තරගයෙන් ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම ජය ගත්තා.ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය...

Ceylon Energy හා HJT China එක් වී SESRIP ව්‍යාපෘතිය යටතේ දියත් කළ මහව හා අම්පාර කිලෝ වෝල්ට් 33ක විදුලි බෙදාහැරීමේ පද්ධතිය සාර්ථකව අවසන් කරයි !

Ceylon Energy සමාගම සහ HJT China සමාගම එක් වී දියත් කළ මහව සහ අම්පාර කිලෝ වෝල්ට් 33ක (33 kV) විදුලි බෙදා හැරීමේ...

අධිකරණයට අපහාස කිරීමේ නීතිය අවභාවිත නොකළ යුත්තේ ඇයි? – මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනගේ තීන්දුව සමග අනුපිළිවෙළට කියවා ගත යුතු කරුණු කිහිපයක් !

අධිකරණයට අපහාස වන ආකාරයෙන් කටයුතු කිරීමේ චෝදනා ලත් නීතිඥවරයකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත්, ඔහුගේ නීතිඥ වෘත්තීයභාවය අත්හිටුවීමටත් ශ්‍රේෂ්ඨාධිකරණය සිදු...