ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය ආත්මීය සබඳතා ඝනීභූත කරන මොහොතකි. සකලවිධ මානව සබඳතා විපරීත කරන මොහොතකි. තමන් පොරවාගෙන සිටින සංකේතීය වහන්තරා තමන් විසින් ම උනා දමා නියම තමන් හෙළිදරව් වන මොහොතකි. මෙවන් මොහොතක දී මිනිසා ආත්මීයත්වයෙන් තොර පැවැත්මක් බවට පත් වේ. මෙලෙස ආත්මීයත්වය අවතැන් වන නිමේෂයකදී මිනිස් චර්යාවේ යථාව හඳුනා ගැනීමට දරන මහඟු ප්‍රබන්ධමය ප්‍රයත්නයක් ලෙස යසස් සමන්ත වීරසිංහගේ වැහි පීල්ලක අතරමංව නවකතාව හැඳින්විය හැකිය.
2022 වර්ෂයේදී මෙරට මුහුණ දුන් දරුණු සහ ඛේදනීය තත්ත්වයත් එහි ප්‍රතිඵලයක් ලෙස පැනනැඟුණු ජනතා අරගලයත් නවකතාවට පසුබිම් වෙයි. මෙම ආර්ථික අර්බුදය සහ අරගලය ලාංකීය ජන සමාජයට නවමු අත්දැකීම් එක් කළ සංසිද්ධි යුගලක් විය. යතුරු පැදියකට ඉන්ධන ගැසීමට තෙල් පෝලිමක දින ගණනාවක් ගත කරන තරුණයෙකුගේ අත්දැකීම් ඇසුරින් කතාපුවත ගොඩනැංවේ. සැබැවින්ම මෙහි නිශ්චිතව හඳුනා ගතහැකි කතාපුවතක් නොමැත. මෙහි අන්තර්ගත වන්නේ මෙම කාලය තුළ තෙල් පෝලිමේදී සිදුවන සිද්ධි මාලාවකි. මෙම සිදුවීම් එම නිශ්චිත මොහොතේදී අප සැවොම මුහුණ දුන් සිදුවීම්වලට අඩු වැඩි වශයෙන් සමානය. එහෙත් මෙම නවකතාවේ විශේෂත්වය වන්නේ එම පොදු අත්දැකීම කේවල පුද්ගලයන්ගේ ආත්මීය ඛාදනයට බලපාන ආකාරය පාඨකයා ඉදිරියේ තැබීමට කතුවරයා දක්වන පරිචයයි. ඒ අනුව බොහෝ දෙනෙකුට ජීවිතයේ පටු තීරයකට සීමාවීමට සිදු වේ. මහා සෙනඟක් මැද වුවද තනිකම දැනෙන්නට ගනී. කාලය නවතී. මිනිසුන්ට ස්වකීය විරුද්ධාභාසී පැවැත්ම නිරාවරණය වීමට පටන් ගනී. ඔවුහු සංකේතිත්වය නඩත්තු කිරීම අතහැර දමති. අනන්‍යතාව තවදුරටත් රැකගත යුතු යමක් බවට පත් නොවේ. භාණ්ඩය සහ මිනිසා අතර වෙනස දියව යයි.
මෙම නවකතාවේ සිද්ධිදාමය දිගහැරෙනුයේ තරුණයාගේ සහ ඔහුගේ යතුරු පැදියේ දෘෂ්ටි කෝණවලිනි. එනම් , සජීවී මිනිසෙකුගේ සහ අජීවී වස්තුවක දෘෂ්ටි කෝණවලිනි. මෙහිදී අජීවී වස්තුව වෙතින් යථාවත් සජීවී මිනිසා වෙතින් ෆැන්ටසියත් පාඨකයාට අභිමුඛ කිරීමට කතුවරයා සමත් වේ. මිනිසාගේ ආත්මීයත්වය ඛාදනය වන අයුරු අප දකිනුයේ දිරායන යතුරු පැදියේ දෘෂ්ටි කෝණයෙනි.මෙලෙස ක්‍රියාව නැවතුණු ලෝකය යතුරු පැදියේ බැල්මට හසු වේ. ක්‍රියාව ඇණහිටි ලෝකය තුළ තරුණයාගේ ෆැන්ටසිය සක්‍රීය වේ. එහෙයින් මෙම ආඛ්‍යාන රටාව මගින් පාඨකයාට යථාර්ථය , යථ සහ ෆැන්ටසිය වෙන් වෙන් වශයෙනුත් සංකලනිත ස්වරූපයෙනුත් දැක ගැනීමට අවකාශ සැලසෙයි. එක් අතකින් මෙම නවකතාව කියවීම යනු තම ආත්මීයත්වය දියවී යන අයුරු තමන්ම දැක ගැනීමක් වැනිය. අනෙක් අතට මෙමගින් ෆැන්ටසියේ අවශ්‍යතාව උත්කර්ෂයට නංවයි. යථාර්ථය කෙතරම් දුෂ්කර වුවද එය පියමං කිරීමට සහ ජීවන ලාලසාව පවත්වා ගෙනයාමට ෆැන්ටසිය අත්‍යවශ්‍ය අංගයක් බව එය පෙන්වා දෙයි.කාලය නැවතුණ මොහොතක , ක්‍රියාව ඇණහිටි මොහොතක මිනිසා සක්‍රීයව තැබීමට ෆැන්ටසිය අවශ්‍ය වේ. එය හීනයක් විය හැකිය. අතීත මතකයක් විය හැකිය. වෙනත් යමක් විය හැකිය. එහෙත් එය කිසිසේත්ම මනෝභ්‍රාන්තියක් නොවේ. වැහි පීල්ලක සිටියද ජීවිතයේ පටු තීරයක සිටියද ජීවිතයට චලනය ලබාදෙන්නේ එමගිනි. යාන්ත්‍රික වන ආත්මීයත්වය යථා තත්ත්වයට පත් කරගත හැක්කේ එමගිනි. තත්ත්වයට හුරුවීම වලක්වා ගත හැක්කේ එමගිනි.
යසස් සමන්ත වීරසිංහ මෙම නවකතාවේ දී භාවිත කරන භාෂා ශෛලිය ද පාඨක අවධානය දිනා ගන්නකි. එය අර්බුද සමයකදී මිනිසාගේ විරුද්ධාභාසී චර්යාව මතුකරන සහ පාඨකයා නොදැනුවත්වම තමන්ට සිනාසෙන බව දනවන බස්වහරකි. එහෙත් ඇතැම්විට මෙම ශෛලිය පමණ ඉක්මවා යන අවස්ථාද නැතුවා නොවේ. එවන් අවස්ථාවලදී පාඨකයා අරාජික මානසිකත්වයක් වෙතට බලහත්කාරයෙන් ඇදගෙන යන බවක් හැඟේ. කෙසේ වෙතත්, සැවොම දන්නා යමක් සැවොම නොදන්නා හැඩයකින් ඉදිරිපත් කළවිට දැනෙන හැඟීම අතිශයින් ම විස්මිතය. වැහි පීල්ලක අතරමං නොවී වැහි පීල්ලක අතරමංව කියවන්න. එවිට එහි දේශපාලනික විස්මය ද ඔබට සමීප වනු ඇත.