පාවෙන ඡන්ද කාටද?

Share post:

Oxford ශබ්ද කෝෂයට අනුව Floating Voter (පාවෙන ඡන්දදායකයා) කියලා හඳුන්වන්නේ දීගුකාලයක් තිස්සේ එකම පක්ෂයකට හෝ පුද්ගලයෙක් වෙනුවෙන් තමන්ගේ ඡන්දය භාවිතා නොකරන, විවිධ මැතිවරණවලදි තම අභිමතය පරිදි විවිධ පක්ෂවලට හෝ පුද්ගලයන්ට තමන්ගේ ඡන්දය භාවිතා කරන ඡන්දදායකයාට යි. සමහර අවස්ථාවල Swing Voters කියලාත් හඳුන්වනවා දකින්න පුළුවන්.

ලෝකයේ කරලා තියන අධ්‍යයනයන්ට අනුව 1930ට පස්සේ ලෝකයේ රටවල්වල මැතිවරණවලදි මේ පාවෙන ඡන්ද ගොඩ ටික ටික වැඩිවෙන්න පටන් අරගෙන තියනවා. ඒ කියන්නේ මිට දශක නවයකට වගේ කලින් ඉඳන් මිනිස්සු සාම්ප්‍රදායික දේශපාලන මතවාදය, ඒ කියන්නේ තමන්ගේ පරම්පරාවෙන්, පවුලෙන් මතවාදීව පක්ෂයකට හෝ පුද්ගලයෙක්ට සහය දක්වනවා වෙනුවට, අවස්ථානුකූලව ඡන්දය භාවිතා කරලා තියනවා.

පහුගිය දවස්වල පවත්වපු සමීක්ෂණ වගේම, මැතිවරණ කාලයේදී කතාබහ කරන්න ලැබෙන පුද්ගලයෝ සහ සමාජ කණ්ඩායම් ගැන සියුම් අධ්‍යයනයක් කලාම දකින්න ලැබුණේ, තවමත් ලංකාවේ සැලකිය යුතු ප්‍රතිශතයක් පිරිස එළඹෙන ජනාධිපතිවරණයේදී තමන් ඡන්දය ප්‍රකාශ කරන්නේ කාටද කියලා එක්කෝ තවම තීරණය කරලා නෑ, එහෙමත් නැත්නම් ඒ සම්බන්ධයෙන් අදහසක් නෑ.

මේ පිරිස තාර් කිකව පාවෙන ඡන්ද කියන ‘කුලකය‘ ඇතුලේ ඉන්න එක ‘උප කුලකයක්‘ විදිහට හඳුනගන්න පුළුවන්. එතකොට මේ පිරිස දළ වශයෙන් ප්‍රතිශතයක් විදිහට ගත්තම කීයක්ද කියලා කියන්න අපහසුයි. මේ පාවෙන ඡන්දදායකයන් පිරිස බොහෝවිට ස්වාධීනව හිතන, කිසිම පක්ෂයකට ඇලිලා නැති නිසා ඔවුන්ගේ ඡන්දය භාවිතා කරන ස්වභාවය තේරුම්ගන්න සෑහෙන්න අමාරුයි කියලා තෝමස් ආර්. පැල්ෆ්‍රේ 1987දි සඳහන් කරලා තියනවා.
2004 ඇමරිකානු ජනාධිපතිවරණයේදී පාවෙන ඡන්ද ගොඩ ආසන්න වශයෙන් 13%ක් ව පැවතිලා තියනවා. ඒ කියන්නේ ඒ ඡන්ද ගොඩ ඉතාම තීරණාත්මක එකක්. දළ වශයෙන් ලංකාවේ 2024 ජනාධිපතිවරණයේදී භාවිතා වෙන්නට නියමිත ඡන්ද ගණන ලක්ෂ 145ක් නම්, එතනින් ආසන්න වශයෙන් ලක්ෂ 19ක් සැලකියයුතු ප්‍රමාණයක්. බොහෝවිට මේ ප්‍රමාණයට ලංකාවේ ඊළඟ ජනාධිපතිවරයා පවා තීරණය කරන්න පුළුවන්.

දේශපාලන විද්‍යාවේදී හඳුන්වන Political Apathy හෙවත් දේශපාලනික උදාසීනභාවය හෝ මතපලකිරීමට අකමැති පිරිසත් මේ අතරට අයිතිවෙන්න පුළුවන්. කොහොම බැලුවත් මේ පාවෙන ඡන්ද කියන්නේ ඡන්දෙකදි ඉතා තීරණාත්මක සාධකයක්.

ඒත් ලංකාවේ මෑත ඉතිහාසයේ පැවැත්වුණු කිසිම මැතිවරණයකදි මේ පාවෙන ඡන්දවල වැදගත්කමක් හරි, පාවෙන ඡන්ද නිසා සිද්ධවුණු ප්‍රතිඵලයේ වෙනසක් හරි දකින්න අමාරුයි. හැබැයි වෙනත් රටවලදි සමහරවිට පොදුවේ බලයට පත්වේවි කියලා හිටපු පාලකයා හෝ පක්ෂය පවා පරාජයට පත්කරන්න, වෙනස් කරන්න මේ පාවෙන ඡන්ද ගොඩට හැකියාව ලැබෙනවා. උදාහරණයක් විදිහට පහුගිය ඇමරිකානු මැතිවරණයේදී අන්තිම මොහොත වෙනකල්ම බොහෝ දෙනෙක් හිතාගෙන හිටියේ ට්‍රම්ෆ් දෙවනි පාරටත් ජයග්‍රහණය කරාවි කියලා. ඒත් අන්තිම මොහොතෙදි පාවෙන ඡන්ද කැරකුනේ ජො බයිඩන් ගේ පැත්තට.

මේකට හේතුව තමයි බොහොමයක් ජනතාවගේ සමාජ අධ්‍යාපනය ඉහළ මට්ටමක තියන රටවල්වල පාවෙන ඡන්දදායකයෝ තමන්ගේ මතය පලකිරීමට තීරණය කරන්නේ තෙල් නැතිවෙයි, ගැස් නැතිවෙයි, කිරිපිටි නැතිවෙයි කියලා තියන බය නිසාවත්, ගඟෙන් නයි මතුවෙන නිසාවත්, සමාජ මාධ්‍යවල පැතිරෙන මඩ ව්‍යාපාරවල දිග පලල නිසාවත් නෙවෙයි.

ඒ වෙනුවට එක් එක් කණ්ඩායම්වල, අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති, මතවාද, අදහස්, ආකල්ප, වැඩපිළිවෙල සම්බන්ධයෙන් හොඳ අධ්‍යයනයක් කරලා. ඒකට මැතිවරණයේ අන්තිම සතිය දක්වාම මේ පාවෙන ඡන්දදායකයෝ බොහොම ඉවසීමෙන් අධ්‍යයනය කරනවා. අන්තිම මොහොතේ තමයි ඔවුන් තමන්ගේ ඡන්දය තීරණය කරන්නේ.

ඒත් ලංකාවේ වගේම බොහොමයක් ආසියාතික, අප්‍රිකානු, ලතින් ඇමරිකානු රටවල පාවෙන ඡන්දදායකයෝ මැතිවරණයේ අවසන් සතියේ හෝ අවසන් කොටසෙදි ‘රැල්ල යන පැත්තට‘ තමන්ගේ ඡන්දය පලකරන්න තීරණය කරනවා. ඒ නිසා බොහෝවිට මේ රැල්ල හැරෙන පැත්තට පාවෙන ඡන්ද ගොඩත් එකතුවෙනවා මිසක වෙනසක් වෙන්නේ නෑ.

ඒ නිසා ලංකාවේත් මේ පාවෙන ඡන්දදායකයන් ගොන්නෙන් වැඩි පිරිසක් අවසන් සතියේ රැල්ලට ගසාගෙන යන ඡන්ද කියන එකට සැකයක් නෑ. ඒ නිසා මැතිවරණයේ අවසන් සති කිහිපයේ සිදුවෙන සිදුවීම් මැතිවරණයේ අවසන් ප්‍රතිඵලයට ඉතා ඉහළ බලපෑමක් කරනවා. උදාහරණ විදිහට 1999 ජනාධිපතිවරණයට දවස් කිහිපයක් තියෙද්දි පොදුජන එක්සත් පෙරමුණේ අපේක්ෂිකාව චන්ද්‍රිකා බණ්ඩාරණායකට බෝම්බ ප්‍රහාරයක් එල්ලවෙලා ඇසකට හානිවීම එක්ක පරාජය පෙනිපෙනී තිබුණු ඇයට ‘අනුකම්පා ඡන්ද‘ සැලකිය යුතු ප්‍රමාණයක් ලැබීමත් එක්ක නැවත බලය හිමිවුණා.

ඒ වගේම මැතිවරණ යාන්ත්‍රණය ඇතුලේදි අපේක්ෂකයන්ගේ හැසිරීම එක්ක මේ පාවෙන ඡන්ද තමන්ගේ මතය වෙනස් කිරීමේ නැඹුරුවක් තියනවා කියන එක 2010 ජනාධිපතිවරණයේදී දකින්න ලැබුණා. ජනාධිපතිධූර අපේක්ෂක සරත් ෆොන්සේකා ප්‍රසිද්ධ මාධ්‍යකදි පුද්ගලයෙක්ට ‘කලවැද්දා‘ කියලා ඉතා ආවේගයෙන් බැණවැදීම වගේ කාරණා එක්ක සරත් ෆොන්සේකාගේ ආකල්ප සමාජය ඉදිරියේ ප්‍රශ්නගත සිදුවීමක් වුණා. ඒක පාවෙන ඡන්දදායකයන්ගේ තීරණයට ඉතාම තදින් බලපෑවා කියන එක පැහැදිලි කාරණයක් වුණා.

ඉතින් මේ වගේ උදාහරණවලින් වගේම පැවති මැතිවරණවල අත්දැකීම්වලින් පෙනෙන්න තියන දෙයක් තමයි ලංකාවේ පාවෙන ඡන්ද ගොඩ ආසන්න වශයෙන් 15%ක් හෝ ඊට අඩු අගයක් විදිහට ගත්තත්, එයින් ඉතා බහුතර ඡන්ද ප්‍රමාණයක් සමස්ත මැතිවරණය පුරාම ඉතා සාර් ථකව මැතිවරණ ප්‍රචාරණ යාන්ත්‍රණය කරන, පොදුවේ රට ඇතුලේ සැලකියයුතු ආකර් ශණයක් පෙනෙන්න තියන, වැඩි පිරිස් බලයක් හෝ සංවිධාන ශක්තියක් පෙන්නුම් කරන අපේක්ෂකයා හෝ කණ්ඩායම වෙත නැඹුරුවීමේ වැඩි ප්‍රවණතාවක් තියනවා.

මේක 1994,2005,2015 වගේම 2019 මැතිවරණවලදි ඉතාම පැහැදිලිවම දකින්න ලැබුණා. ඒ නිසා 2024දි ඒක එහෙම නොවේවි කියලා කියන්න පුළුවන් තරම් ප්‍රබල සාධකයක් තවමත් හමුවෙන්නේ නෑ.

ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර

2024.08.25

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...