සිතෙහි තෙරපෙන හැඟීමක් කිසිවකු සමඟ පවසා නිදහස් වීමේ අවශ්‍යතාවක් වැනි හැඟීමකින් පෙළෙමි. හැඟීමට හේතුව ‘ පැරඩයිස් ‘ය. මේ ලියැවිල්ල පැරඩයිස් පිළිබඳ විචාරයක් නොව පැරඩයිස් නරඹා ඇති වූ කම්පනය මුදා හැරීමේ තැතකි. නැතහොත් හැඟීම් විමෝචනයකි.
විවාහ සංවත්සරය සඳහා ලංකාවේ සංචාරයක එන ඉන්දියානු යුවළකි. කතාවේ ප්‍රධාන චරිතය තරුණයාට ඔහු කලක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි චිත්‍රපටයක් නිපදවීමක් වැනි අවස්ථාවක් උදා වී ඇති බව ඔවුන් ලැගුම්හලට යන අතරතුර කෙරෙන සංවාද ඔස්සේ හෙළිවේ. තරුණිය නවකතාවක් ලිවීම අතර මඟ නවතා සිටින බ්ලොග් රචිකාවියකි.
අතරමග හමුවන දරුවන් ගේ පින්තූර ගන්නා ප්‍රධාන නිළිය, රාවණා ඇල්ලේ දර්ශනය මවට දර්ශනය කරමින් කෙරෙන සංවාදය වැනි දේ මගින් මෙරට කෙරෙහි ඔවුන් ගේ ඇල්ම ප්‍රකාශ වේ.
කතාවේ ගැටුම ආරම්භ වන්නේ ලැගුම්හලේ දී ඔවුන්ගේ ලැප්ටොප් පරිගණකය සහ ජංගම දුරකතන පැහැර ගැනීමට ලක්වීමත් සමඟය. එම සිද්ධියෙන් පසු ව දරුවන් අසලින් නොනවත්වා රිය ධාවනය වීම සොරකම හේතුවෙන් රට කෙරෙහි ඔවුන් ගේ සිත බිඳුණු ආකාරය පෙන්වනු ලබයි. ඒ අතර ප්‍රධාන නළුවා ගේ මුවින් පිටවනුයේ මෙරට ඩොලර් ප්‍රශ්නයට පිළිතුරු සැපයීමේ අරමුණ ද ඔවුනගේ චාරිකාවට හේතු වූ බවයි. ෆකින් වැනි වචනත් ඔහු ඊට යොදයි.
සොරුන් සොයා ගැනීමේ වගකීම පැහැර හරින්නට මුලින් උත්සාහ දරන පොලිසිය, ඒ ගැන තානාපති කාර්යාලයට පැමිණිලි කරන බවට තරුණයා තර්ජනය කළ විට අහිංසකයන් පිරිසක් අත්අඩංගුවට ගෙන පහරදී බලහත්කාරයෙන් වරද පිළිගැනීමට පොලඹවා ගැනීම සහ පොලිස් ප්‍රහාරය නිසා මියගිය තරුණයා විදුලිය කප්පාදුව හේතුවෙන් ඔක්සිජන් නොමැතිව මියගිය බව ප්‍රකාශ කිරීම ආදිය හාවුන් වලසුන් කරන මෙරට පොලීසියේ හැසිරීම පෙන්වයි. ගැගුම්හල් බාරකරු මත සොරකමේ වරද පටවන්නට පොලිස් නිලධාරියා ගනු ලබන වෑයමත් සමඟ එය උච්චස්ථානයට පැමිණේ.
ජනතාව කුපිත වී පොලිසියට ප්‍රහාර එල්ල කරන විට සැකකරුවන් පොලිස් කූඩුවේ දමා පලා යාම. තමන්ගේ ම පිරිසක් පොලිස් කූඩුව තුළ සිට්යදී ජනතාව පොලිසියට පහර දීම වැනි දේ උත්ප්‍රාස ජනකය.
බිරිය පෙළඹවා ගැනීමේ උත්සාහයක වැඩිහිටි වයසේ පසුවන රියැදුරු යෙදී සිටින බවට සැකයකින් තරුණ ස්වාමිපුරුෂයා පසුවන බව හැඟේ. ලැගුම් හලේ ගෙවන පළමු දිනයේ ගැයුමක් කන වැකී ඔහු පවසන ” ඔයා පොලඹවා ගන්න මිනිහා උත්සාහ කරනවා ” වැනි අරුතක් ඇති ප්‍රකාශයෙන් සහ දෙවන දිනයේ ගායනය සවන් වැකී අසීරුතාවට පත්වන සැමියා, මුළුතැන් ගෙයට ගොස් ගයන්නේ රියැදුරු නොව අරක්කැමියා බව සැක හැර දැන ගත් පසු ඔවුන් ගෙන් මත්පැන් වඩියක් ද සප්පායම් වී ගැයුම දිගටම කරන්නට ඇරයුම් කිරීමෙන් ඒ බව පැහැදිලිවේ. ගෝනාට වෙඩි තැබීමේ උත්සාහයට තරුණයා අනුබල දීම සහ “ඒ සුන්දරත්වය නැති කරන්න එපා” වැනි අදහසකින් යුතුව තරුණිය විරුද්ධ වීම, අත්අඩංගුවට ගත් තරුණයන් අතර සොරකමට සම්බන්ධ අය සිටීදැයි පොලිසිය විමසූ විට සොරකම සිදුවූ අවස්ථාවේ ඔවුන් හඳුනා ගත නොහැකි වූ බව තරුණිය කියද්දී සොරුන් ඔවුන් බව තරුණයා කීම. පොලිස් පහරදීමෙන් සැකකාර තරුණයකු රෝහල් ගත කළ අවස්ථාවේ තරුණිය සැකකරු සමඟ රෝහල තුළට යන අතර තරුණයා ඒ ගමනට අවනත නොවීම. තරුණියගේ ඉල්ලීම මත රියැදුරු රෝහල තුළට යාම ආදිය විසින් ලංකාගමනයත් සමඟ ඔවුන්ගේ පස් වසරක විවාහයේ බැඳීම දුරස් වනු පෙනේ. එකී දුරස්ථභාවයට එක් හේතුවක් වන්නේ සැමියාගේ කොන්ත්‍රාත්තුව අනුමත වී ඇති බවට ලැබෙන ඇමතුමයි. එදින රාත්‍රියේ සැමියා ගෙන් ලැබෙන තොල් චුම්බනයේ රහස පවා පෙර කී දුරකතන ඇමතුමයි. ඇමතුමෙන් පසුව සංචාරයේ අරමුණ සැමියාගේ අවධානයෙන් ගිලිහේ. ඉන් පසුව ඔහුගේ අවධානය මුළුමනින්ම යොමු වන්නේ මොබයිල් තිරය වෙතටය. ඇඹුල් පේර විකුණන දරුවන් වෙනුවෙන් රිය නතර කෙරෙන්නේ ද බිරිය ගේ ඉල්ලීමටය. ලැගුම්හලට යන මග අසල ලැයිම් කාමර සැමියාගේ ඇස නොගැටෙන හේතුව ද මොබයිල් තිරය සමඟ ඔහුගේ ගනුදෙනුවයි. නමුත්, බිරිය ඒ ජීවිත දකී. ඒ ජීවිත ගැන සංවේදී බවක් ඇයට තිබේ. ගෝනා නවාතැන් පොළ අසලට ආ අවස්ථාව සැමියාට පෙන්වන්නට බිරිය කුටියට යන විට ඔහු නින්දේය. ගෝනා පසුපස තනිව යන ඇයට ගෝනා නැවත දක්නට නොලැබෙන නමුත් රියැදුරා හමුවීම හේතුවෙන් රාමා සීතා අන්දරයේ අලුත් කොටසක් ඇය හමුවේ විවෘත වේ. කෝවිලේ කතාව පවසා අවසන පූජකයා ඩොලර්, ඉන්දීය මුදලින් හෝ ලංකා මුදලින් ඒ සඳහා ගෙවීම කළ හැකි බව කීම රියැදුරා ඒ සම්බන්ධයෙන් තම නිර්දෝෂ හාවය කියන්නට ගත් තැත වැනි දේ හේතුවෙන් ඇගේ හැඟීම් වෙනසකට ලක්වේ. රාත්‍රි කෑම මේසයේ ඇය සැහැල්ලුවෙන් පසුවන හේතුව එය වුව ලැප්ටොප් පරිගණකය පිළිබඳ හැඟීමෙන් පමණක් පසුවන සැමියාට ඒ හේතුව පිළිබද වැටහීමක් නැත.
මේ සියල්ල ආකර්ෂණීය සිනමා බසකින් සහ රූපරාමු පෙළකින් කියන්නට අධ්‍යක්ෂවරයා දක්වන බුහුටි බව අගය කළ යුතුව ඇත. කතාවේ උච්ච අවස්ථාව තරුණියගේ වෙඩි පහරින් තරුණයා මියයාමයි. චිත්‍රපටය අවසානයේ තරුණිය රියැදුරාගෙන් අසන ” පොලිසියට සත්‍යය හෙළි නොකළේ මන්ද?” යන පැනයට පිළිතුරු ලැබෙන්නේ නැත. එකී හේතුවෙන් චිත්‍රපටය අලුතින් ලියන ලද රාමායණයක් වැනිව අවසන් වේ. පැරැණි රාමායණයේ රාවණා විසින් සීතා පැහැර ගැනීම වෙනුවට පැරඩයිස් හි රාවණා විසින් සීතා මුදා ගනු ලැබේ. චිත්‍රයටය පුරාම දක්නට ලැබෙන රාමායණයට සම්බන්ධ අවස්ථා, රූප සහ දෙබස් විසින් ඒ හැඟීමට අනුබල සපයනු ලබයි. මානව සබඳතා ගැන පුළුල් සංවාදයක් බඳුව ගැඹුරු පුපුරා යාමකින් කෙළවර කෙරෙන එතරම් අපූරු කතාවකට ඉන්ධන පෝළිම්, උද්ඝෝෂණ සම්බන්ධ කර නොගත්තා වුව කතාවේ අන්තර්ගතයට හානියක් නොවන සේම වඩා වැඩි ගැඹුරක් කතාවට එක්කරන්නට ද එමගින් අවස්ථාව තිබූ බව සිතේ. කෙසේ වුව සිනමාත්මක බවින් පරිපූර්ණ මෙන්ම මෑත ඉතිහාසයේ නරඹන්නන් ගේ ආකර්ෂණයට වැඩියෙන් පාත්‍රවන සිනමා නිර්මාණයක් රසික පිරිසට දායක කිරීම සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරයාට ස්තුතිය හිමිවිය යුතුවේ.
අනුර කේ එදිරිසූරිය
2024/08/12