2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම්වලින් සිරකරු ඝාතන චෝදනාවලට වරදකරු කෙරුණු හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ලබාදුන් මරණීය දණ්ඩනයෙන් නිදොස් කොට නිදහස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) නියෝග කළේය.
එම දඬුවමට එරෙහිව විත්තිකාර ළමාහේවා විසින් ඉදිරිපත් කළ අභියාචනයක් පිළිගැනීමෙන් අනතුරුව පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මේ තීන්දුව ලබාදුන්නේය.
2012 නොවැම්බර් 09 දින වැලිකඩ බන්ධනාගාරය තුළ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදුකරන ලද සෝදිසි මෙහෙයුමක් අතරවාරයේ ඇති වූ ගැටුම්වලින් සිරකරුවන් 08ක් මරාදැමීම, ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම, නීතිවිරෝධී ජනරාශියක් වශයෙන් කටයුතු කිරීම ඇතුළු චෝදනා 33ක් යටතේ නීතිපතිවරයා විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර අධිකාරිවරයකු වන එමිල් රංජන් ළමාහේවා යන අයට එරෙහිව 2019 වසරේ නඩු පවරනු ලැබිණි.
මේ නඩුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ වසර තුනකට අධික කාලයක් විභාගයට ගැනිණි.
එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් නියොමාල් රංගජීව නිදොස් කොට නිදහස් කළ අතර, හිටපු බන්ධනාගාර අධිකාරිවරයකු වන එමිල් රංජන් ළමාහේවාට මරණ දඩුවම නියම කරනු ලැබිණි.
නඩුවේ පළමු විත්තිකරු වන නියොමාල් රංගජීව යන අයව සාක්ෂිකරුවන් විසින් සෘජුව හඳුනාගැනීමට අපොහොසත්වීම හේතුවෙන් නිදොස් කොට නිදහස් කරන බව විනිසුරු මඩුල්ල එහිදී නිදහස් කළේය.
මේ නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවෙකු වූ කුඩා බණ්ඩාර නමැති සාක්ෂිකරුගේ සාක්ෂිය පදනම් කරගනිමින් මෙම නඩුවේ දෙවැනි විත්තිකරු වූ එමිල් රංජන් ළමාහේවාට මරණ දඩුවම ලබාදීමට විනිසුරු මඩුල්ල තීරණය කර තිබිණි.
කුඩා බණ්ඩාරගේ සාක්ෂියෙන් කියැවුණේ කළු තුෂාර’ නමැති බන්ධනාගාර රැදවියාව පැහැරගෙන රැගෙන යන ආකාරය තමන් දුටු බවයි.
ඒ අනුව එමිල් රංජන් ළමාහේවාට එල්ලවූ 33 වැනි චෝදනාවට වරදකරු කරමින් ඔහුට මරණ දඬුවම නියම කෙරිණි.
මොකක්ද මේ වැලිකඩ ඝාතන නඩුව?
2012 නොවැම්බර් 09 වැනිදා කොළඹ වැලිකඩ බන්ධනාගාරයට ඇතුළු වූ තුන්සීයක පමණ කණ්ඩායමකින් සැදුම් ලත් පොලිස් විශේෂ කාර්ය බලකායේ භටයන් පිරිසක් සිරකුටි තුළට යමින් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබිණි. සිරකරුවන් අත ඇති අනවසර අවි ආයුධ අත්අඩංගුවට ගැනීම එම සෝදිසි මෙහෙයුමේ අරමුණ වූ බව විශේෂ කාර්ය බලකාය බන්ධනාගාර නිලධාරීන්ට දැනුම්දී ඇත.
පළමුව, දරුණු අපරාධකරුවන් රඳවා තබන වාට්ටුව පරීක්ෂා කරමින් සිරකරුවන්ට තහනම් ජංගම දුරකථන ආදිය තමන් භාරයට ගත් විශේෂ කාර්ය බලකාය, ඉන් අනතුරුව මරණ දඬුවමට යටත් කරන ලද, එසේම ජීවිතාන්ත හෝ දීර්ඝ කාලීන සිර දඬුවම් නියමවූවන් රඳවනු ලබන චැපල් වාට්ටුව නමින් හැඳින්වෙන සිරමැදිරි වෙත ඇතුළු වීමත් සමඟ බන්ධනාගාරය තුළ තත්ත්වය දරුණු අතට හැරිණි.
එම සිරමැදිරිවල රඳවනු ලැබ සිටි සිරකරුවන්ට මාංචු දමා සෝදිසි කිරීම සැලැස්ම වුවත් සිරකරුවන් ඊට එරෙහිවීමත් සමඟ එය ගැටුමක් බවට පෙරළුණු බව බන්ධනාගාර රැදවියන් සඳහන් කර තිබිණි.
එවැනි වාතාවරණයක් තුළ නොවැම්බර් 09 වැනිදා සවස එකයි තිහට පමණ ආරම්භ වූ සෝදිසි මෙහෙයුම අවසන් වූයේ මරණ විසි හතකින් සහ හතළිහකට අධික සිරකරුවන් පිරිසක් මරණීය නොවන මට්ටමේ තුවාල ලැබීමෙනි.
‘2012 වැලිකඩ බන්ධනාගාර කැරැල්ල ලෙස එය සමාජගත වූ අතර, පසුව එය ජාත්‍යන්තර වශයෙන් පවා සාකච්ඡාවට ලක්වෙමින් පවතින මාතෘකාවක් බවට පත්විය.
එසේම 1983 ජූලි කෝලාහල සමයේ දමිළ සිරකරුවන් මරාදමනු ලැබීමේ ප්‍රහාරයෙන් පසු සිදු කරන ලද දරුණුතම ප්‍රහාරය ලෙසත් එය හැඳින්වේ. මේ සම්බන්ධයෙන් සියලුම කරුණු ඇතුළත් පරිපූර්ණ කෘතියක් මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල විසින් වැලිකඩ නමින් රචනා කර ඇත.