“අමරකීර්ති තුළ වෙසෙන කවියා මෙයින් ලංකාවේ තහනම් කලාපයකට මනරම් ලෙස පිවිසෙයි”

Share post:

ඩොක්ටර් ෂිවාගේ නවකතාව හරහා ලෝකයේම සම්භාවනාවට පත්, තමන් මත මහත් මර්ධනයක් පතිත කළ එහෙත් සිය කවිය හරහා තම මර්ධකයාද ආලෝලනයට පත් කළ බරීස් පස්තර්නාක් වරෙක මෙසේ කියා සිටියේය.

‘‘සාහිත්‍යය යනු සාමාන්‍ය ජනයා පිලිබඳව කිසියම් අසාමාන්‍ය දෙයක් අනාවරණය කරගැනීමේ සහ කිසියම් අසාමාන්‍ය යමක් සාමාන්‍ය වදනින් පවසා සිටීමේ කලාවයි.”

ඉදින් මම බරීස් පස්තර්නාක්ගේ ඉහත කියමන සිතෙහි රළ නගද්දී දුම්රිය ගැස්සෙන තාලයට අනුව නොවැටී සිටින්නට වෙර දරමින්, සර්කස්කාරයෙකුගේ සමත්කම විහිදමින් තිර මත ඇලුණු ජීවිත මැද දුම්රියේ අඳෝනාව සවන් පාරද්දී ‘හෙවණැල්ල වී පවතිමි’ කවි එකතුව කියවන්නට පටන් ගතිමි. දුම්රියේ කියවීම යනු මා කෘතියක සාර්ථකත්වය මනිනා එක් දර්ශකයකි. දුම්රියේ ගැහැට මැද දිගටම කියවන්නට මට සිත් දෙන කෘතියක් වේ නම් මට අනුව ඒ සාර්ථකය. විදර්ශන පොත් හලින් ගෙන්වාගෙනකාර්යාලයේදී කියවන්නට ගත් සැණින් මම එය දුම්රියෙහි තාලය අනුව කියවන්නට හැකි කෘතියකැයි තිරණය කළෙමි.

දුම්රිය නතර කර ඇත්තේ වාද්දුවේ යැයි නිවේදිකාවක නාසිකාස්වරයෙන් කියන්නීය. මට මේ නාසිකාස්වර යුවතිය හුරුය. දුම්රිය පිටවන්නට පෙර වේගයෙන් ඊට වදිනා මගීහු මගේ ඇඟේ වැදීගෙන තමන්ට හුරු පුරුදු තැන්වලට වදිති. මම දෙවන වරටද ‘බිඳ පිරිමි හද බස’ නම් කවිය කියවමි.
අමරකීර්ති යනු අපේ සාහිත්‍ය කලාපයෙහි නෙක ඉසවු තරණය කරන්නෙකි. ඔහුගේ කෙටිකතාව නවකතාව මෙන්ම සාහිත්‍ය විචාර පිළිබඳ ලිවීම් බෙහෙවින් ප්‍රචලිතය. එහෙත් කවියෙකු ලෙස ඔහුගේ මැදිහත්වීම කාව්‍ය කෘති දෙකකට සීමා වෙයි. මේ ඔහුගේ තෙවන කාව්‍ය කෘතියයි. දුම්රිය පාලමක් මතින් යන බොල් හඬ නැගෙයි. ඉක්මනින් ඊළඟ නැවතුම වෙනුවෙන් දුම්රිය සිය වෙගය අඩු කරනු ඇත. මම කවිය කියවමි.

අමරකීර්ති තුළ වෙසෙන කවියා ඒ කවියෙන් ලංකාවේ තහනම් කලාපයකට මනරම් ලෙස පිවිසෙයි. ඒ කවියකු තුළ තිබිය යුතු පුළුල් බව මෙන්ම මනුෂ්‍යත්වයේ අසිරිය සහ විවිධත්වයද ගරුකරන්නෙකුගේ හදවත විදහා පාමිනි. නූතන යයි කියනා ලංකාව ඇතැම් කාරණාවන්හිදී අතිශය සම්ප්‍රදායිකය. අත්තනෝමතිකය. අනම්‍යය. පසුගාමීය. ලිංගික කාරණා වලදී මෙය අතිශයින් බිහිසුණුය. එහෙයින්ම මේ මොහොතේත් මේ දියුණු ලංකාවේ සමකාමීත්වය යනු තහනම් මාතෘකාවකි. ඇඟ හිරි වට්ටන්නකි. නර්මාලාප අවදි කරන්නකි. එහෙත් අප කවියා ඉසියුම් ලෙස මේ කරුණ වෙත එළඹෙයි. ඒ එළඹුමේ ඇත්තේ මිනිසත් බව කෙරෙහි වන ආදරය ඉවසීම සහ අප්‍රමාණ ගෞරවයයි. ඔහු ලියන්නේ සමකාමී පෙමක වෙලි කතුන් දෙදෙනකු ගේ කතාවයි. පස්තර්නාක් කියන්නාක් මෙන් ඒ නම් සාමාන්‍ය වදනින් අසාමාන්‍ය යයි හඟිනා දෙයක් ගැන එළඹුමකි. ඔහු සිය කවිය හරහා ගෙන එන්නේ මිනිසත් බවෙහි අසිරිය විඳින්නට යමකු තුළ ඉවසීම සහ තම දැක්ම දියුණු කරගන්නට සමත් වදන් සිත්තමකි. ඔහුගේ වදන් පිහාටුවක ඇති සැහැල්ලුව දනවයි. ඒ සමගම ඔහු මනුෂ්‍ය සම්බන්ධතාවන්හී ඇති මිණිය නොහෙනා ගැඹුර ස්පර්ශ කරයි. ආදරයේ විචිත්‍රත්වය කැටුව එන අතරම අනෙකා ඉවසීම කෙතරම් වැදගත්ද යන්න අපට සිහිපත් කරවයි.

මොහොතකට වසමු අපි වාං දොර
ස්ත්‍රීවාදී පුරුෂවාදී ලිංගවාදී
වචන එන වදන් දොර
සිතිවිලි ප්‍රවාහය වෙත අප දෙදෙනගෙම

මං ආසම ඔයාගේ
පළල උරහිස සිඹින්නට
පිටුපසින් සිට පසුගෙල සුවඳ විඳ

උරවිල නටන රත් රන්වන් තිසර තන
ගන්වා නවාතැන් මා දෑතේ අල්ල මැද

ආදරය යනු තම බලය විදහා පානා සටන් බිමක් නොව එකිනෙකා මත අසීමිත නිදහසකින් දියව යන අතිශය හෘදයාංගම සැරුමක් බව ඔහු අපට කියයි. කවියා සිය කවිය අවසන් කරනුයේ සම්ප්‍රදාය සහ පසුගාමීත්වය කරින් ගත් සමාජය කොනිත්තමිනි.

යමු අපි සාරි දෙක මාරු කර හැඳ
අලුයම් කෙළක් සේ ලෝකයට වීසි කර
හෙළා අර්බුදයකට කවි බස
පිරිමි කවියන හද බස

අමරකීර්තිගේ කවි පිරිමි ලෝකයෙහි තැලෙන අණ මුරිච්චි බවට පත්වන කතුන් ගේ ලෝකයට පිවිසෙයි. විටෙක ඒ පුද්ගලික අත්දැකීමක් ඇසුරු කරගනිමිනි. එහෙත් ඒ පිවිසුම කවියෙහි නැවුම් බව රඳවයි. පුද්ගලික අත්දැකීමක් හුදු වදන් ප්‍රකාශයක් බවට පත් නොකර එය සමාජයේම විචාරයට බඳුන් විය යුතු මාතෘකාවක් බවට පත් කරන්නට කවියා දක්වන සමත්කම මෙහිදී කැපී පෙනෙයි. අලුත් අස්සන නමින් වන කවිය සමගින් මොරටුන දුම්රියපොල පසුවෙයි. නිවේදිකාවක් පසුව එන දුම්රිය කිහිපයක පමාව ගැන නිවේදනය කරයි. මට මොහොතකට බන්දුලගේ බන්ධූත්වයක් නොදනවන මුහුණ මැවී නොපෙනී යයි. මම කවිය කියවාගෙන යමි. ඒ වරෙක විවාහයක සාක්ෂියට අස්සන් කරන්නට සිදුවූ සාක්ෂිකරුවෙකුගේ අත්දැකීමකි. ඔහු දැන් විත්තිකාරයෙකු මෙන් තමන් සාක්ෂියට අස්සන් කළ සිසුවියකගේ විවා දිවිය ගැන ඇගේ සැමියාගේ පාර්ශවයේ මැසිවිලි වලට කන් දෙයි. ඒ පෙමක අවසන ඇති වූ විවාහයකි.

උදක් මට එන්නට
එවූ පණිවිඩයට
පැමිණ හිඳගත් විට
කියූ පැමිණිළි අසූයෙමි මම

සාලයෙ රජ කරන
නිලමෙ ඇඳුමින් යුතු
ඔබේ පුතු හා ලේලිය
පෙම් සටන් ජයගත්

නිලමෙ ඇඳුමින් යුතු පුතු සහ ලේලියගේ සාලයේ රජකරන මගුල් පොටෝව යනු විසල් කතන්දරයක් සංක්ෂිප්තව පවසන උත්ප්‍රාසවත් සිත්තමකි. දැන් සාක්ෂිකරුවාට සිදුව ඇත්තේ මහා නඩුවක් අසා සිටින්නටය. එහෙත් කවියා මේ සියලු විවේචන මැද ඇතිව තිබෙනා සංකීර්ණ අවුලේ සරල සත්‍යය දකියි. ඒ ලංකාවේ පවුල් සංස්ථාවේ බහුලව දක්නට ලැබෙනා ආකල්පමය වියවුලකි.

මෙතෙක් මා දුටු මේ
නොයෙක් සැරසිලි
ෆොටෝ වීඩියෝ තොරන් අෂ්ටක
සැරසිලි යට කැකෑරෙන
කැපිලි කෙටිලි ඉවිලී
හේදිලි නෑවිලි වැවිලී
කරන වහලී
මට පෙනේ……

සමාජයකට ඇති බරපතලම ගැටලුව වනුයේ එහි ඇති වියවුල් නොව ඒ වියවුල් ගැන කෙරෙනා අර්ථකතනයන්ය. ඒ අර්ථකතනයන් මගින් කෙරෙනුයේ සැබෑ ගැටලුව යට කර ව්‍යාජ මතුපිටක් පෙන්වාදීමය. මම මනරම් උයන කියවමි. දුම්රිය තාප්පයක මැකී යන ගෝඨාමය රාවණා සිත්තමක් ඇඳි අඩවිය පසු කරයි. වර්තමානයේ දක්නට ලැබෙනා එක් කරුණක් නම් කාන්තාවන් අසපුගතවීමේ වැඩි ප්‍රවණතාවයි. බොහෝ කාන්තාවෝ තමන්ට ගරහන භික්ෂූන්ගේ බණටද මහත් සේ සාදු නද පවත්වති. සමාජයෙහි මේ ප්‍රවණතාව ගැන සඳහන් කෙරෙනුයේ කතුන් කෙරෙහි වන උපහාසය සහ අපහාසය මුසු ස්වරයන්ගෙනි. එහෙත් කවියා ගේ එළඹුම සපුරාම වෙනස්ය.

පන්සලක් කරපු අය
ඒ අසිරිමත් උයන
‘උපාසක අම්මලා”
කිය කයා බැණ වදිති
තමන් විඳිනා ගැහැනු

මේ කවියා සැබෑ ගැටළුව ස්පර්ශ කරනා ආකාරයයි.

ඔබ නොවෙද පන්සලක් පල්ලියක් කෝවිලක්
කළේ ඒ මල් උයන, පෙම් උයන, රති උයන?…..

මුදු හදින් මුදු බසින් කවි බසින් ඒ උයන
පුෂ්ප ශක්තිය ගන්න
ආනන්ද උද්දාම කරවන්න
නොදන්නා ඔබ නේද
සිල් රෙද්දකින් වසා
මිලානව හකුළවා
පිරිමිකම් බරින් මැඩ
උපාසක කළෙ උයන?

දැන් සන්ධ්‍යා කාලයයි. ආපසු නිවෙස් බලා යන වෙහෙස පිරි මිනිස් අහිනක් මැද දුම්රියෙක යළි කියවමි. මගේ සිත ‘කට හඬිනි මා පියඹ’ නම් කවෙහි නතර වෙයි. පරිකල්පනයේදී කවියෙකුට සීමාවක් නැති බවට මේ කදිම ආදර්ශයකි. කවියා එහිදී තමන්ගේ පෙම් කතාවන් දෙකක් ගැන පාපෝච්චාරණයක යෙදෙයි. ඒ පෙම් කතා දෙකම අසිරිමත් ය. කට හඩට බැඳි පෙමකි. අත්තනායක පවුලක සහ රූකාන්තගෙ ගෙදර ගැන ය ඒ කතා. සංඥා පමාවකට දුම්රිය නතර වෙයි. මම අප කවියාගේ පෙම සමග සරන්නට ගනිමි. මනුෂ්‍ය හැඟීම් ඉතා පරෙස්සමින් වදන් මත කවරන මේ කවිය සමූහයක් මැද කියවන්නට ඇත්නම් කදිම යයි මට සිතෙයි.
අෂටකාර්ථ නම් කවිය මගේ නෙත ගැටෙයි.

මම පුදුම ආසයි
අෂ්ටක කියන මාමට
ඉස්සර

පස්සෙ කාලෙක වුව
මම හරිම ආසයි
අෂ්ටක කියන අයියට හෝ මාමට

දැනුත් මම ආසයි
අෂ්ටක කියන මල්ලිට අය්යට හෝ මාමට

මේ කවියෙහි ඇති සියුම් උපහාසය සහ හාස්‍යය බෙදා ගන්නට කෙනකු මේ සෙනග අහිනෙහි නැත. මම තනිවම කියවමි. සමාජයේ වැදගත්ම ඉසව්වුක් වන විවාහය සහ අෂ්ටක කියන්නා පාදක කරගනිමින් කවියා නිමවන කවිය සමාජ විචාරය, ආකල්පමය දිළිඳුකම, වාණිජකරණය, ව්‍යාජය, ආදී නොයෙක් පාර්ශවයන් කැටි කර විවාහ මංගල්යම උත්සවයක ඇති නාටකීය බව අපට ගෙනහැර පායි.
මේ ඔහුගේ ඉන්න සහ මම කවියෙනි.

වැල්ට යන්නට හිටවන
ඉන්නට ‘ ඉන්න” කීවේ කවුරුද?
මගේ කරවිල වැල ළඟ
ඉන්නේ ඉන්නක්ම විතරද?

යළිත් සාමාන්‍ය වදන්මය. එහෙත් ඒ කවියෙන් පල කරනා ගැඹුරු අදහස විමසන්නට ඔබ මේ කවිය කියවිය යුතුය.

ලියනගේ අමරකීර්ති සිය නව කවි එකතුව හරහා පොහොසත් පරිකල්පනයෙන් යුත් නිරීක්ෂකයෙකුගේ චාරිකාවකට අපද හවුල් කරගනියි. මේ එකතුවෙහි ඇති බොහෝ කවි සමූහයක් ලෙස බෙදාගෙන විමසුමට ලක් කල යුතු යයි මට හැඟෙයි. අවාසනාවට ජන කවියෙහි අසිරිය ගැන උජාරුවෙන් කියවන අපට අදටත් සාමූහිකව කවියක් කියවන විඳින පුරුද්දක් නැත. එහෙයින් අපට කවිය අපේ ජීවිතයට බද්ධ වන විලාසිතාවක් කරගැනීම සිහිනයක්වම පවතියි.
මා බැසිය යුතු තැන ලංව එන බව ගස් සහ ගොඩනැගිලි මට මතක් කරවයි. මම කන්තෝරුකාර හැව හැර දමා දුම්රියෙන් බසින්නට සැරසෙමි. එහෙත් ගමන් වාර දෙකක සරතැස නිවාලූ ලියනගේ අමරකීර්තිගේ කවි පැස රැගෙන යමි.

චූලානන්ද සමරනායක

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...