සමන් පෙරමුණගේ ” ඒ මී ඇස්” ගැන කෙටියෙන්

Share post:

සමන් පෙරමුණ කී සැනින් ඔබට සිනහා පිරුණ ප්‍රීතිමත් මිනිසකුගේ මුහුණක් සහා ආයාසයෙන් නික්මෙන සහෝදරාත්මක සුහඳ වදන් වැලක් සිහිවනු ඇත. ඒ අපූරු සොඳුරු හිතවතා තුළ සැඟවී සිටින අනෙක් මිනිසා හමුවන්න ඔබ ” ඒ මී ඇස්” කාව්‍ය සංග්‍රහය රස විඳිය යුතු ම ය. ” ඒ මී ඇස්” කාව්‍ය සංග්‍රහය සමාජගතවන දිනය අගෝස්තු 4 දා ය.

” මම බස්සෙකක යන විටත්, පාරෙ මග තොටේ ගම්වල ලඳු කැලෑ බිම් මැදින් මිනිසුන් සොය සොයා යමින් ඇවිදින සැම විටමත් මේ තෙතම තෙත විඩා බර අහිංසක ඇස් හම්බවෙනවා. ඒ අයගේ කියව ගන්න අමාරු මුහුනු දිහ මම බලා ගෙන ඉන්නවා.” – පෙරවදන
මේ කාව්‍ය සංග්‍රහය පුරාම හමු වන්නේ කවියාට සිය දෛනික ගමන් බිමන් වලදී හමුවන මිනිසුන්ගේ දුක පිළිබඳව කෙරුණ කියවා ගැනීම් ය.
ඔහු සිංහල භාෂා ආචාර්‍ය වරයෙකි. කවියකු ලෙස රූපාන්තරණය වන විට සිය පාන්ඩිත්‍යයේ තරම විදහා දක්වන්නට සිය දෑත පළල් කරන්නේ නැත. කවිය තුළ භාවයන් උද්දීපනය සඳහා සරල වදන් පමණක් ඔහු මෙවලමක් කර ගනී.

අපි අතර තරගය තරංගාකාර ය
එය රැලි නංවමින්
නිතර වෙරලේ හැපෙමින්
බිඳෙමින් පවතින්නකි. ( අපි අතර තරගය)

වනත රන තිසරුය
වැනෙන කුදු පිරිමිය
හිනාවක් මුව අරං කුනු අදින ගැහැනු ය
කොළඹ හරි පුදුමය (කොලඹ නං හරි පුදුමය)

අහම්බෙන් ඔබ නැවත
මා ඉදිරිපස අසුනෙහිය
කියඹු වැල් මුහුණට
වැටෙන එක නවතන්න
තාම රණ්ඩුව එහෙමම ය. (ඇස් ඩිංග)

ඔහුගේ මේ නිර්මානයන් නිස්කාන්සුවේ සැප පුටුවක අසුන්ගෙන උණුසුම් කෝපි පානය කරමින් අලස සුවය විඳීමත් කරදරයක් වූ මොහොතක ලියවුණ කවි නොවේ. බොහෝ කවි නිමැවී ඇත්තේ කබල් බස් රථයක ගමනක් යන විටය. තනි තට්ටමක් සීට් එකක තබාගෙන දනිස්සක් ඉස්සරස් සීට එකට තද කරගෙන වීරිය වඩා සිටින මොහොතක ය. කෙළින් පාරවල පවා වංගු මවන බස් රථ රියදුරුගේ හැකියාව ගැන විශමයෙන් ජීව්ත ආශාව ප්‍රශ්නකාරී වූ මොහොතකය.

එම හේතුව නිසා ම මේ කවි වල දැනෙන්නේ මහජන සමූහයක් අතරින් නැගෙන දාඩිය සුවඳකි. කවියේ ආත්මය එම මහ ජනයාගේ හෙට දවස ගැන අවිනිශ්චිත අත්දැකීමෙන් කාල් ගා පදම් කරගෙන ඇත. මේ එවන් කවි කිහිපයකින් ගත් පේලි කිහිපයකි.

චීන බලුබ් වැල් ගැන මට ඇති භක්තිය
රෑ කඩේක හෝටලයක පන්සලක
මගුල් ගෙදරක මිනී පෙට්ටියක
කියා වෙනසක් නැත
අලංකාරයක් නැති හැම තැනම
කැත වහන හැකියාව
ඒ එලිය වැල් සතුය. (සැදැහැති එලිය වැල්)

අප ගමන් ගද්දීම
පාර කඳු හරහාද
කඳු පාර හරහාද
වැටී තිබුනි (කඳු පාර)

ඇය අහස උසට නැගි
කොළඹ ගොඩනැගිලි දෙස
මුට්ට කර ගසන කලු හැන්ඩි
මිනිස් පරඬැල් දෙස බලා උන්නාය
අපි අපායද දෙව්ලොවද එකට හමුවන
කොලොම්පුරය දෙස බලා සිටියෙමු. (ඕ)

පැරණි සිංහල චිතපටයක නමක්, චරිතයක් ජවනිකවක් හරහා පෙරමුණ කවියා වත්මන් සමාජයේ සැබෑ ප්‍රශ්න වසන කඩතිරයක් දෙපලු කිරීමේ වෑයමක් ගනී.

මං හිතුවෙ ගනිකාවකටවත්
තේරුං ගන්න බැරි
කුනුහරුපයක් ඒක කියල
යනුවෙන් කී පේමක්කා
කොක් හඬලා සිනා සුනාය

සොල්දාදුන්නැහේ
පේමක්කාට පහර දීමට
පස්සෙන් පන්නන්නට වූයේ එවිටය
“පරමාධිපත්‍යට හිනා වෙන්න එපා”
ආන්ඩුව කියන්නේ ජනතාවට
සොල්දාදුන්නැහේ උඩ බලාගෙන
කෑ කැසුවේය. (සොල්දාදු උන්නැහෙ)

එම කවියේම හමුවන දේශපාලනයේ ජඩබව මතුකරන උත්ප්‍රාසාත්මක යෙදුම් අප මුවට සිනා නගයි

“විලී මහත්තයාගේ සරදම් හිනාව
පතී ගෙන ආ එකක් නොව
හුනුවටයේ කතාවේ අසඩක්ගෙන්
සොරා ගත් එකක් විය යුතු ය.” (සොල්දාදු උන්නැහෙ)

නුදුරු දිනයක ආරම්භ කෙරෙන “සාහිත සංවාද” නම් යූ නලය හරහා ” ඒ මී ඇස්” පිළිබඳව සංවාදයකට සමන් පෙරමුණ කවියා අප හා සම්මුඛ වීමට නියමිතය. එහිදී අපට මේ ගැන සවිස්තරාත්මකව කතා කළ හැක.

අගෝස්තු 4 දින රත්නපුරයේදී පැවැත්වෙන ඒ මී ඇස් දොරට වැඩුමට සමන් පෙරමුණ කවියා ඔබ සැමට ආරාධනා කර සිටී. යන්න ඒ දුක ම දුක ඇස් තියෙන කොස් ඇට මීයාගේ කතාව දැන ගෙන පෙරමුණ කවියාට සුබ පතමින් ශක්තියක් වෙන්න.

නිරෝෂ ප්‍රනාන්දු

08/01/24

Related articles

ලෝකයේ සක්‍රීය වෛද්‍ය සේවයේ ඉන්න වයස්ගතම වෛද්‍යවරයා Dr. Howard Tucker

හොවාර්ඩ් ටකර් කියන්නේ වයස අවුරුදු 102ක් වන ස්නායු ශෛල්‍ය වෛද්‍යවරයෙක්. ටකර් හඳුන්වන්නේ ලෝකයේ සක්‍රීය වෛද්‍ය සේවයේ ඉන්න වයස්ගතම...

තායිලන්ත අගමැතිනියට වහාම ඉවත්වන්නැයි විරෝධතා

තායිලන්ත අගමැතිනිය පේටොන්ග්ටාන් ශිනවත්‍රා ට තනතුරෙන් වහාම ඉවත්වෙන්න කියලා බලකරමින් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් තායිලන්තය තුළ මතුවෙලා තියනවා. දහස්...

නිහඬ කළ ලස්සන ම කවිය : අබ්බාසි !

යුද්ධයක පළමු වින්දිතයා වන්නේ කාන්තාවයි. ලංකාවේ උතුරේදීත්, දකුණේදීත් අපි එය අත්දකිමු. උතුරේ දරුවන් අහිමි අම්මලාගේ, ආබාධිත බවට පත්වූ...

කුප්පි ලාම්පුව පෙරැලී මියගිය ජාතික වස්තුව- නිත්තවෙල ගුණයා…….

විදේශ සම්මානයට බුහුමනට ලක් වුවද සිය දේශයේදී කෲර ඉරණමකට ලක්වූ මෙරට අති දක්ෂ නැට්ටුවානි ත් ත ව ල...