පරසුරාමන් අන්නාගේ කථා වස්තුව

Share post:

මම මඩකලපුව විශ්ව විද්‍යාලයේ ආචාර්ය, ජයශංකර්ගේ මගපෙන්වීමෙන් නැගෙනහිර ප්‍රදේශයේ ප්‍රකට පරෙයි මේලම් වාදකයෙක් වන කලී පරසුරාමන් අන්නා හොයාගෙන, ඔහුගේ නිවසට ගොඩවැදුනා.

පරසුරාමන් අන්නා හරීම අදීන මිනිහෙක්. ඔහු තමන්ගේ බෙර සම්ප්‍රදාය දේවත්වයෙන් සලකන ශ්‍රේෂ්ඨ කලාකරුවෙක්. තරුණ පරසුරාමන් විවාහ ගිවිස ගන්නේ එවක මඩකලපුවේ විසූ තවත් ප්‍රකට පරෙයි මේලම් වාදකයෙකුගේ දියණියක්.

පරසුරාමන් අන්නාගේ මස්සිනා කවියෙක්. ඔහු කවි ලියන්නේ සාතන් නම් අන්වර්ථනාමයෙන්. යුද්ධය උත්සන්න කාලයේ ඔහු කුල පීඩනය, පැහැර ගැනීම්, ඝාතන ආදී සමාජයේ අන්ත අසරණ කොටස් මුහුණදෙන අනේක අසාධාරනකම් උලුප්පමින් විරෝධාකල්ප කවි ලීවා.
දවසක් සාතන් පරසුරාමන් ට කියනවා…

“මළ බෙර වාදනය පහත් ක්‍රියාවක්. අපි මළබෙර වයන්නේ අපට ඉහල කුලවලට අයත් අවමංගල පෙරහැරවල. අපි කුල ක්‍රමයට විරුද්ධ වෙන්න ඔනේ. අපේ නායකතුමා, ප්‍රභාකරන් අයියා කියන්නේ කුල පීඩනයට යටත්වන සියළුම රාජකාරි නතර කරන්න කියලා. ඒ නිසා මළ ගෙවල්වල බෙර වාදනයෙන් වලකින්න”

පරසුරාමන් අන්නා මේ ඉල්ලීම තුට්ටුවකට මායිම් කරන්නේ නැහැ. ඔහු සුපුරුදු පරිදි තම රාජකාරියේ යෙදෙනවා. මාසයක් හමාරක් ගිය තැන සාතන්, පරසුරාමන් අන්නාට තර්ජනය කරලා ලියුමක් එවනවා වහාම මේ කටයුත්ත නතර නොකළොත් කරදර වෙයි කියලා. පරසුරාමන් අයියා ලිපිය බාරදෙන්න ආ කෙනා අත සාතන් ට පණිවිඩයක් යවනවා…

“අපි පහල කුලයකට ඉපදුනාට මේ මළ බෙර වාදන සම්ප්‍රදාය පහත් නැහැ. ඒ නිසා යුද්ධයත් එක්කම අපේ වටිනා කලා සම්ප්‍රදායන්ට මියෑදෙන්න ඉඩහරින එක පාපයක්. මේ යුද්ධය සදාකාලිකව පවතින එකක් නෙවෙයි. යුද්ධය නතර වෙච්ච දවසක අපි ලෝකයාට පෙන්වන්න අපේ සම්ප්‍රදායන් ආරක්ෂා කරගන්න ඕනේ. මම මැරෙන තුරාවට බෙර වාදනය නතර කරන්නේ නැහැ. එයාට කියන්න පුළුවන් දෙයක් කරන්න කියලා”

ඊට සතියක් ගියතැන සිය අනුගාමිකයින් පිරිසකුත් සමග එන සාතන්, පරසුරාමන් අන්නාගේ නිවස ගිණිබත් කරන්න උත්සාහ කරනවා. එහෙත් අසල්වැසියන් පැමිණ ඒ කටයුත්ත වලක්වනවා. අවසානයේ ඔවුන් පරසුරාමන් අන්නාගේ නිවසට ගල් ගසා හානි කරනවා. පරසුරාමන් අන්නා ස්වාභාවයෙන්ම නිවිච්ච චරිතයක්. ඔහු නෙවෙයි සාතන් සමග ඔට්ටු වෙන්න ගියේ. ඒ වෙනුවට ඔහු දිගටම මළබෙර වාදනය කළා. පරසුරාමන් අන්නා කියන විදියට…

“දෙවියන් අවදි කරන්නටත්, මළගිය ප්‍රාණකාරයින්ගේ ප්‍රේත ආත්මයන් මේ සක්වලින් පලවා හරින්නටත් හැකියාව ඇත්තේ පරෙයි මේලම් වාදකයින්ට විතරමයි. ඉතින් ඇයි අපි මේ දිව්‍යමය කලාව අත්හරින්නේ”

“යුද්දේ අවසාන කාලේ අපේ වන්නියේ නෑදෑයෝ අවතැන් වුනා. ඒ අයගේ ආරක්ෂාව පතා, හමුදාව කියන විදියට තැනින් තැනට ගියා. ඒ දවස්වල දෙපැත්තම දරුණුවට ඇවිලිලා තිබුනේ. ඒ අය තීරණයක් ගත්තා මොන අකරතැබ්බයට මුහුණ දුන්නත් අපි අපේ බෙර අතහැර පලා යන්නේ නැහැ කියලා. මේ බෙර හරි බරයි. ලොකු බෙරයක් කිලෝ ග්‍රෑම් විස්සක් විතර බරයි. ඒ වුනාට මේ අය, යන යන තැනට මේ බෙර උස්සාගෙන ගියා. හතර අතින් මෝටාර් වදිනවා. සමහර තැන් ගිණි ගන්නවා. ගිණි රස්නෙයි, අව්ව රස්නෙයි ඉවසන්න බැහැ. අපේ කට්ටියත් අතඇරියේ නැහැ. මොන දුෂ්කරතාවයට මුහුණ දීලා හරි බෙර ටික බේරාගන්නවා කියලා තමයි අධිෂ්ඨානේ.”

“මේ විදියට මුල්ලේවයිකාල් වලට යනකල් බෙර ටික පරෙස්සං කරගත්තා. ඒ යුද්ධයේ අවසාන දවස් කීපය. ඒ වෙනකොට මුල්ලේවයික්කාල් එකම ලේ විලක්. එක පැත්තකින් මැරිච්ච මිනිස්සු, තව පැත්තකින් තුවාලකාරයෝ. හතර වටේම ගිණි ගන්නවා. මේ සේරටම වැඩිය ඉවසන්න බැරිවුනේ අතොරක් නැතිව වැටුනු ෂෙල් වෙඩි. ඒ බංකර් අස්සේ මිනිස්සුන්ටවත් ඉන්න ඉඩ මදි එකේ අපි කොහෙද බෙර හංගන්නේ? අන්තිමේ අපේ අය තීරණය කළා බෙර ගිණිබත් කරලා අපේ බෙරකාර ආත්මයන්ද ඒ ගින්නෙන් පුළුස්සා දමන්න.” පරසුරාමන් අන්නාගේ ඇස්වල කඳුළු බේරෙනවා.

අද වන විට නැගෙනහිර කලාපයේ මඩකලපුව ආශ්‍රිත පරෙයි මේලම් වාදකයින් විශාල තර්ජනයකට මුහුණ දී සිටිනවා. ආර්ථික අපහසුතා නිසා මිනිසුන් සියදිවි නසාගන්නා තත්තවයට මේ දූපත වැටී ඇති වර්ථමානයේ, සියළුම තරාතිරම්වල ජනයා තම තමන්නේ වියදම්වලට ස්වයං සීමා පනවාගෙන. අවමංගල පෙරහැරට පරෙයි මේලම් වාදකයින් සහභාගී කරවාගන්නා එක තමන්ගේ ප්‍රමුඛතා ලැයිස්තුවෙන් ඉවත් කරලා. දැන් පරසුරාමන් අන්නලාට රාජකාරි අවස්ථා අවමයි. ඒකටත් හරියන්න වෙනත් ද්‍රවිඩ කුලවලට අයත් පිරිස් මළබෙර වයන්න පටන් අරන්. ඒ අය පරසුරාමන් අන්නලා අයකරන මුදලට ගොඩක් අඩුවෙනුයි අයකරන්නේ. ඊටත් වඩා හර්දය කම්පා කරවන කාරණය තමයි මේ ආර්ථික අවපීඩනය දරාගන්න බැරිව මොනවා හරි කරලා ජීවිතේ ගැටගහගන්න වලිකන මුස්ලිම් ප්‍රජාවත්, දැන් මළබෙර වයන්න පටන් අරන්.

විෂ්ණු වාසු

Vishnu Vàsu

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...