“ගින්න ගිනි ගත්තා…..
සැවොම ගිනි ගත්තා…
තට්ට ගායිකාව…සමග
අපිත් ගිනි ගත්තා….”
පශ්චාත් දෙවන ලෝක යුධ සන්දර්භය තුල ලියවුණු ප්‍රංශ නාට්‍යවේදී ’යූජෙන් ඉයනොස්කෝගේ’ “ලා කැන්තාත්‍රිස් ශෝව්” නාට්‍යය ඇසුරෙන් භාෂාව හා පරිවර්තනය පිළිබඳ පර්‍යේෂණාත්මක අත් හදා බැලීමක් කරමින් ලාංකීය ප්‍රේක්ෂකාගාරයට කංචුකා ධර්මසිරි කැදවා ගෙන ආ ‘තට්ට ගායිකාව’ නාට්‍යය පළමු වරට නරඹා
දශක එකහමාරක ට පමණ පසු පසුගියදා දෙවන වරට නැවත නැරඹීමි.
ප්‍රේක්ෂකාගාරයෙන් පිටව ආ මොහොතේ සිට එහි අර්ථ ස්තර සමුච්චයන් නැතහොත් “අර්ථ පිට අර්ථයන්ගෙන් “(meaning upon meanings) මිදීම අසීරු වූ බව කියමින් මේ සටහන අරඹමි.
කංචුකා ධර්මසිරි “ලා කැන්තාත්‍රිස් ශෝව්” නාට්‍යය “තට්ට ගායිකාව”ලෙස ලොහාන් ගුණවීර සමග සිංහලයට නැගීමේ සම පරිවර්තිකාව මෙන්ම නාට්‍යයෙහි අධ්‍යක්ෂිකා ව මෙන් ද්විත්ව භූමිකාවක නිරත වීමද අභියෝගත්මකය..
තව දුරටත් වචන මත පාලනක් නොමැති භාෂාමය හා අර්ථවිචාරී(semantic ) තලයන්ගෙන් ඔබ්බට අර්ථය විහිදෙන්නාවූ නිමේෂයක් වේදිකාව මත නිමවන ඉයනෙස්කෝ ගේ අභූතරූපි රංග (Theartre of the Aburd) සම්ප්‍රදාය ලාංකිකකරණය කරන්නට කංචුකා හා ලොහාන් දැඩි පරිශ්‍රමයක් දැරූ බව තට්ට ගායිකාව පෙළ ඇතුලත් කෘතියෙහි සදහන් වෙනවා.
ඉයනෙස්කෝට ආවේණික කෙලිලොල් ප්‍රංශ බස හා එහි ඉංග්‍රිසි පරිවර්තනය සිංහල අනුවර්තනයක් ලෙස ඉදිරිපත් කරන්නට පරිවර්තන කාර්‍යයෙදී කංචුකා හා ලොහාන් ගේ අභිප්‍රාය වූ බව කංචුකා පවසනවා. එමෙන්ම මෙම නාට්‍යය නිෂ්පාදනයේදී පෙරහුරු අතරවාරයේ නාට්‍ය පඨිතය බොහෝ වෙනස්කම්වලට භාජනය කරන්නට සිදුවෙනවා.ඇතැම් විට අරුත් වටහා ගැනීමේ අසීරුවකට රංගන ශිල්පීන් පවා මුහුණ පෑ බව අධ්‍යක්ෂිකාව පවසනවා. ප්‍රංශ ප්‍රේක්ෂකාගාරයට සාමාන්‍ය වූ අරුත් අපේ ප්‍රේක්ෂකයන්ට දුරස්ත වූ නිසා නාට්‍යය අවසානය ලාංකීය සංදර්භයට උචිත අයුරින් නිම වන්නට සිදුවීමද අපගේ සිතීම් රාමු පිලිබද අපව ගැඹුරු විමසීමකට යොමු කරනවා.
අවචින්තනය, පාංතික හරසුන් ජීවිත තුල මානව ප්‍රකාශනය බිදවැටී ඇති හා අරුත්සුන් බව හා කිසිදු අරුතක් නැතිව ගෙවී යන මිනිස් පැවැත්මෙහි ඛේදවාචකය මෙන්ම අගක් මුලක් නැති පල් හෑලි දොඩවන දේශපාලන සමාජයක මානව අවතැන් වීම ප්‍රබල ලෙස නිරූපණය කරන්නට ඉයොනෙස්කෝ කළ වෑයම ලාංකික ප්‍රේක්ෂක මනස් හරහා අපගේ දේශපාලන සමාජයට ගලපාලන්නට කංචුකා ඇතුලු නාට්‍ය කංඩායම දැරූ වෑයම අගයනවා.
මේ නාට්‍යයෙහි දෙබස් අරුත් සුන් සුලභ වාක්‍ය ඛණ්ඩ , යාන්ත්‍රික , ඒකාකෘති වාක්‍යාංශ වල වක්‍රාකාර පුනරුච්චාරණයන්ගෙන්ද යුක්ත වන අතර අප එදිනෙදා දිවියෙහි අදහස් හුවමාරුවේදී කොතෙක් නම් එවන් දෝෂයන්ගෙන් පිරී සිටුමුද…අප කිසි විටකත් ඒ කෙරෙහි අවබෝධයෙන් සිටීද…
අපගේ පාලකයන්ගේ කොතෙක් හරසුන් යාන්ත්‍රික වදන් තුල අපි ජීවිතයේ අනන්ත පීඩා සිනා සලමින් උසුලමින් සිටින්නෙමුද..
මිනීමරුවන්..
උම්මත්තකයන්…කවටයන් නායකයන්ව වෙසෙන සමාජයක අපි දැඩිව නිහඩව අපේම හරසුන් ජීවිත නිසලව ගලා යාමට දී මානුෂිකත්වයෙන් අවතැන්ව නොසිටුමුද…
අද බ්‍රෙෂ්ට්ගේ වැල් පාලමේ ගීතය අත් පත් කර ගන්න වෑයම් කරන… ජනතාවගේ අභිලාෂයෙහි බලය අහිමි …නායකයාගේ විකාරරූපී නන් දෙඩුම් අභියස නිහඩව බලා සිටින ලාංකීය සමාජය අභියසට… දරුණු යුධමය ඛේදවාචකයක් පසු කරමින් සිටින දේශයකට… ප්‍රංශයේ සිට ඉයොනෙස්කෝ ගේ තට්ට ගායිකාව යලි රැගෙන ආවාට ස්තූතියි කංචු..
මට ඔබලාගේ වෑයම නාට්‍යමය වින්දනයකින් ඔබ්බේ විහිදෙන සිතීමේ සංදර්භයක් සේ දැනේ…..
තිලිනා වීරසිංහ(fb) 2024 ජූලි 21