තරංගනී රෙසිකා ප්‍රනාන්දු – ‘ජෙරුසලෙම් දූවරුනි’

Share post:

අපි දන්නා කියන අතීත චරිතයක්, වර්තමානයට පැමිණ අතීතයේ වූවැයි දැන හුන් කතාවක් වුවත් අලුත් ලෙසකින් කියද්දී, එහි ඇත්තේ අලුත් බවකි. අතීතයේ සිටි කාන්තා චරිතයක් හීනෙකින් වර්තමානයට අවුදින්, වර්තමානයේ සිටින චරිතයක් සමඟ කතාබහක යෙදෙමින් ඇයව ද කැටුව ගමනක යෙදෙන අතරේ, වර්තමාන චරිතය එනම්, ‘මම’ යැයි කියනා තරුණිය ලියනා කතාවයි, ජෙරුසලෙම් දූවරුනි.

කතා වින්‍යාස දෙකක් මාරුවෙන් මාරුවට උඩ යට යවමින්, කතා වින්‍යාස දෙක අපට නොදැනෙන ලෙස මුසු කරමින්, කතා වින්‍යාස දෙක දැන් එක්වෙයි – දැන් එක්වෙයි කියා සිතෙද්දීත් හිටිහැටියේ ඈත්කරමින් මෙය රචනා වෙයි. මරියා එක කතා වින්‍යාසයකින් ද, තරුණිය තවෙකකින් ද එමින් අතීතය සහ වර්තමානය යාකරයි. දෙදෙනාම දෙදෙනාගේ කෝණවලින් කතාව ගෙන එයි. තව අයත් ඊට එක්වෙත්.

ලියන්නිය සිටින්නේ පීඩිත කාන්තාවන්ගේ පැත්තේ ය. ඔවුන්ට යුතුකම් ඉටුකරනා භූමිකාවකය. කතාව ආරම්භවන්නේ ලංකාවේ වෙසෙන කාන්තාවන් වටාය. ලෝකයේ විසූ එවැනිම ප්‍රකට කාන්තාවන් සමූහයක් කන්දක් උඩට නැංවීමෙන්, සිහිනය වර්තමානය සමඟ මුසු වී, ඇත්ත ජීවිතේ තැනකින් කතාව අවසන් වේ. ඒ අතරේ ‘මම’ ලෙසින් පෙනී සිටින චරිතය වටා සිටිනා කාන්තාවන්ගෙ කතා ද ලියැවෙයි. ඒ අනුව, සියල්ල කාන්තාව වටා කරකැවේ. විටෙක එය කාන්තා බල ඇණියක් නැත්නම් කාන්තා කොලනියක් ලෙසින් වුව ද පෙනෙන්නට ඉඩ ඇත.

නවකතාවේ මුල සහ මැද, අගට වඩා ප්‍රබලව පෙනේ. කන්ද කොටසේ දී කතාව වේගයෙන් ඇදෙයි. කාන්තාවන්ට එක්වී තම ජීවිතය ගැන කතාබහ කර, යුතුකම් ගැන සිතීමට සැබෑ පොළොවෙන් එහා තැනකට, එනම් කන්දකට නැගීමට සිදුවීම ම එක අතකින් සංකේතයක් වැනි. කෙසේ හෝ මරියාගේත්, තරුණියගේත්, ඈ වටා සිටින්නන්ගේත් භූමිකා, ඔවුන් කියවන්නන්ට දෙන උපදෙස් සියල්ල එකම අරමුණක් වෙනුවෙන් පවතී. එය නම්, අතීතයේ හෝ වර්තමානයේ නොලැබුණැයි ඔවුන් සිතනා දෙය අනාගතයේ දී ලැබගෙන, ළඳුන්ගෙ සොව නිමාවී පාරාදීසයක් උදාවීමේ සිහිනය යි.

නවකතාවේ අවධානය වැඩියෙන්ම යොමුවන දෙය මේ කිසිවක් නොව, තරංගනී රෙසිකාගේ බස, ලියන රටාව සහ තානය යි. මේ බස ගලා යන රිද්මයකට අනුගත, සනීපදායි එකකි. වේගයෙන් දුවන ලෝකයක් නවතාලන්නට ඊට හැකියාව තිබේ. සුපුරුදු වදන් පවා ලියන්නිය ලියන තැනදි අමුතු සොබාවක් ගනී. නුපුරුදු වදනක් දෙකක් ඒ අතරේ ලැගුම් ගනී. එනිසා, කවි බසක මිහිරියාවකින් නවකතාවක් කියවන්නට සියලු දූවරුන්ට ඉඩ ලැබේ.

ඩිල්ශානි චතුරිකා දාබරේ

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...