ජයග්‍රාහකයෙකුගේ කතාවක්

Share post:

“ක්‍රීඩා ලෝකයේ සිටින්නේ ශූරයන් වර්ග දෙකකි. පිරිසක් තමන් උත්තේජක ලබා ගන්නා බව ප්‍රසිද්ධියේ කියයි. ඉතිරි පිරිස එය සඟවයි”

හත්වරක් මිස්ටර් ඔලිම්පියා කිරුළ දිනූ ආර්නෝල්ඩ් ස්වසනේගර් –
කොතරම් කාර්යබහුල වුනත් තවමත් මම කියවනවා. කියවීමට ඇති පොත් ලයිස්තුවේ පොතකින් පිටු කිහිපයක් හෝ කියවීමට අසමත් වූ දවසක් ඇත්නම් එය මට අසාර්ථක දවසක්.
කියවීමේදී මා එක් විෂයකට බැඳී නැහැ. විවිධ විෂයන් හි පොත් අවස්ථාව අනුව කියවනවා.
ඒ අතර ක්‍රීඩා සම්බන්ධ පොත් සහ චරිතාපදාන විශේෂයි.
මේ ගෙවෙන්නේ ජූලි මාසය. සුප්‍රසිද්ධ ප්‍රංශ පා පැදි සවාරිය පැවැත්වෙන්නේ ජූලි මාසයේදීයි.
හරියටම මීට වසර දහයකට පෙර පැවැති 2004 ප්‍රංශ පා පැදි සවාරිය පිළිබඳ ලියැවුණු මේ පොත, ක්‍රීඩාව සම්බන්ධයෙන් මා කියැවූ විශිෂ්ටතම පොතක්.
ශ්‍රී ලාංකිකයන් වන අපට පා පැදි තරග හෝ ක්‍රීඩාව තරමක් නුහුරුයි. එනමුත් පා පැදි ක්‍රීඩාව ලොව ජනප්‍රිය සහ ඊට අනන්‍ය වූ සංස්කෘතියක් පවතින ක්‍රීඩාවක්.
විශේෂයෙන්ම එය යුරෝපයේ ජනප්‍රිය ක්‍රීඩාවක්.
එම ක්‍රීඩාවේ මුදුන් මල් කඩ ප්‍රංශ පා පැදි සවාරියයි (Tour de France).
2004 ප්‍රංශ පා පැදි සවාරිය ජය ගත්තේ ලාන්ස් ආර්ම්ස්ට්‍රෝංග්.
තර්කයකින් තොරව පා පැදි ක්‍රීඩාවේ බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයා.
ලාන්ස් පා පැදි ක්‍රීඩාවේ පමණක් නොව සමස්ත ක්‍රීඩා ඉතිහාසයේම බිහි වූ විශිෂ්ටතමයන් අතර නම රැන්දූ ක්‍රීඩකයෙක්.
1999 වසරේ සිට 2005 දක්වා ප්‍රංශ පා පැදි සවාරි හතක් ඔහු නොකඩවා ජය ගත්තා.
එය විශ්මිත වාර්තාවක්. ලොව අපහසුම පා පැදි තරගයේ ශූරතා හතක් පිට පිට ජයග්‍රහණ කිරීම කිසිසේත්ම සුලුපටු ජයග්‍රහණයක් නොවේ.
ඒ සඳහා අවශ්‍ය ශාරීරික සහ මානසික සුදානම උදෙසා ගෙවීමට ඇති මිල ඉහළයි.
විශේෂයෙන්ම පිළිකා රෝගයෙන් පීඩා විඳ, පසුව එය සුව වී පැමිණ ප්‍රංශ පා පැදි සවාරි හතක් ජය ගැනීම පුරාවෘත්ත කතාවක්.
කෙසේ වෙතත් ඔහු ක්‍රීඩාවෙන් විශ්‍රාම ගිය පසු ඔහුට තහනම් උත්තේජක චෝදනා එල්ල වුණා.
පසුව ඔහු එම වරද පිළිගත්තා. එම නිසා ඔහු දිනූ සියලූම ජයග්‍රහණ අහෝසි කළා.
එනමුත් එය ඔහුගෙන් ඉගෙන ගත යුතු දෑ ඉගෙනීමට සහ ඔහු ලබා ගත් විරල ජයග්‍රහණය අගය කිරීමට බාධාවක් නොවිය යුතුයි.
මන්ද ආර්නෝල්ඩ් ස්වසනේගර් කියූ ලෙසම ලොව සිටින්නේ තමන් උත්තේජක ලබා ගන්නා බවට පිළිගන්නා ශූරයන් සහ තවමත් එය හෙළි නොවූ ශූරයන් පමණයි.
විශාල මුදලක් ගැවසෙන, ඉතාම ඉහළ තරගකාරීත්වයක් ඇති මෙවැනි ක්‍රීඩා වල නිරත වෘත්තීමය ක්‍රීඩකයන්, එවැනි උත්තේජක ලබා ගන්නා බව ප්‍රසිද්ධ රහසක්.
ඒවා වෛද්‍ය පරීක්ෂණ වලට හසුනොවීමට තරම් සූක්ෂමයි.
රහස හෙළිවනතුරුම ඔවුන් ශූරයන්.
ලාන්ස් එඩ්වර්ඩ් ආර්ම්ස්ට්‍රෝංග් උපදින්නේ ඇමෙරිකාවේ, ටෙක්සාස් ප්‍රාන්තයේ.
ටෙක්සාස් ඇමෙරිකානු සිහිනයත්, සාම්ප්‍රදායිකත්වයත් උපරිමයෙන් ආරක්ෂා කෙරෙන කලාපයක්
ඕනෑම ටෙක්සාස් මා පියන්ගේ මෙන්ම ඔහුගේ දෙමාපියන්ගේ සිහිනය වූයේත් ඔහුව ඇමෙරිකානු ෆුට්බෝල් (American football) ක්‍රීඩකයෙකු කිරීමටයි.
ඔහුට නම් තැබුවේත් ටෙක්සාස් හි ඩලාස් කව්බෝයිස් ඇමෙරිකානු ෆුට්බෝල් ක්‍රීඩකයෙකු වූ ලාන්ස් රෙන්ට්සෙල් ගේ නමින්.
නමුත් ලාන්ස් ආර්ම්ස්ට්‍රෝංග් කුඩා කල සිටම ප්‍රිය කළේ පා පැදි ක්‍රීඩාවට.
ඔහු වයස අවුරුදු 12 දී පා පැදි ක්‍රීඩාව ආරම්භ කළා.
සාමාන්‍යයෙන් පා පැදි ක්‍රීඩාව යුරෝපීයයන්ගේ ක්‍රීඩාවක්.
ප්‍රමුඛ පා පැදි තරගාවලි සියල්ල පැවැත්වෙන්නේ යුරෝපයේ.
පා පැදි තරග ඉතිහාසයේ සාර්ථකම ක්‍රීඩකයන් බහුතරය යුරෝපියයන්.
එනමුත් කුඩා ආර්ම්ස්ට්‍රෝංග් පා පැදි ක්‍රීඩාවට ඇලුම් කළා. ඔහුට අවශ්‍ය වූයේ දිනෙක ප්‍රංශ පා පැදි සවාරිය ජය ගැනීමටයි.
අවසානයේ තරුණ ආර්ම්ස්ට්‍රෝංග් පා පැදි ක්‍රීඩකයෙකු වුණා.
ඔහු වෘත්තීය පා පැදි කණ්ඩායමක් වන මොටෝරොලා කණ්ඩායමේ සාමාජිකයෙකු ද වුණා.
නමුත් තරුණ ආර්ම්ස්ට්‍රෝංග් ගේ සිහින බිඳ වැටෙන්නේ 1996 වසරේ දී.
ඔහු එවකට 25 හැවිරිදි, තරුණ වෘත්තීය පා පැදි ධාවකයෙක්.
අධික හිසරදය ඇතුලු රෝග කිහිපයකට වෛද්‍යවරයා මුණ ගැසෙන ඔහුට දැන ගන්නට ලැබෙන්නේ ඔහුගේ ජීවිතයේ අවාසනාවන්තම පුවතයි.
ඔහුට පිළිකා රෝගය වැළඳිලා.
එය තෙවන මට්ටමේ (Stage three – Advanced) පිළිකාවක්.
අවසානයේ ඔහුගේ ශරීරයෙන් පිළිකාව වැළඳුණු වෘෂණයක් වෛද්‍යවරු විසින් ඉවත් කරනවා.
ඒ මොහොතේ ඔහුගේ ජීවිතය ආරක්ෂා වීමේ සම්භාවිතාව වූයේ 20% ක් පමණයි.
නමුත් ලාන්ස් ආර්ම්ස්ට්‍රෝංග් ගේ දෛවයට වෙනත් සැලසුමක් තිබුණා.
ඔහු සුව වුණා. එපමණක් නොවෙයි, ඔහු නැවතත් වෘත්තීය පා පැදි ක්‍රීඩාවටත් එක් වුණා.
පිළිකා රෝගය පරාජය කිරීමෙන් පසුව ඔහු 1998 වසරේ ප්‍රංශයේ පා පැදි තරගයකට එක් වූවත් එය සාර්ථකව අවසන් කිරීමට නොහැකි වුණා.
රෝගය සුව වූවත්, එහි පසුකාලීන වේදනා සහ අතුරු ආබාධ වලින් පීඩා විඳීම ඊට හේතුවයි.
ඔහු තරගය අතරමැද දී හැර දා යළිත් ඇමෙරිකාවට පැමිණියා.
එහිදී ඔහු පා පැදි ක්‍රීඩාවෙන් සමුගැනීමට උත්සාහ කළත් දෛවය ඊට ඉඩ දෙන්නේ නැහැ.
මේ සමයේ ඔහු පිළිකා රෝගීන් උදෙසා පුණ්‍ය වැඩසටහනක් ආරම්භ කර තිබුණා.
ඔහු පිළිකා රෝගීන්ගේ ප්‍රථිකාර සඳහා මුදල් රැස් කිරීමට ඇමෙරිකාවේ දී පා පැදි තරග සංවිධානය කළා.
ඔහුට අතීත පා පැදි ධාවකයෙකු මෙන්ම, පා පැදි පුහුණුකරුවෙකු ද වූ ක්‍රිස් කාර්මයිකල් හමුවන්නේ එහිදීයි.
කාර්මයිකල් ලාන්ස් ආර්ම්ස්ට්‍රෝංග් සතු වූ විභවය (Potential) මැනවින් හඳුනා ගත්තා.
ඔහුට අනුව ප්‍රංශ පා පැදි සවාරිය ජය ගැනීමට අපහසුම පා පැදි තරගාවලිය නොවෙයි.
ඔබ ශක්තිවන්තම ධාවකයා නම් එය ඔබට පහසුවෙන්ම ජය ගත හැකි පා පැදි තරගාවලියයි, මන්ද ප්‍රංශ පා පැදි සවාරිය ලොව අපහසුම පා පැදි සවාරියයි.
ඒ සඳහා ශාරීරික ශක්තිය පමණක් ප්‍රමාණවත් නැහැ.
දින 23 ක් පුරා ගිරි දුර්ග, කඳු, බාධක සපිරි මාවත් තරණය කරමින් සැතපුම් 2100 ක් පා පැදිය ධාවනය කිරීමට විශාල මානසික ශක්තියක් ද අවශ්‍යයි.
කාමයිකල්, ආර්ම්ස්ට්‍රෝංග් ගේ එම හැකියාවන් දුටුවා.
ඔවුන් යළි පුහුණුවීම් ආරම්භ කළා.
1998 වසරේ ඇමෙරිකාවේ ඇප්ලාචන් කඳුකරයේ ඔහු පුහුණු වුණා.
එය අසීමිත කැපකිරීමක් සමග කළ පුහුණුවක්.
වෘත්තීය පා පැදි තරගකරුවෙකු විසින් වර්ධනය කළ යුතු සුවිශේෂි මාංශපේශීන් තිබෙනවා.
විශේෂයෙන්ම පාදය, කලවා සහ වලලුකර ආශ්‍රිත මාංශපේශීන් හි සවිමත් බව පා පැදි ක්‍රීඩකයෙකුට අත්‍යවශ්‍යයි.
එමෙන්ම ඔවුන් විසින් සිහින්ව පවත්වා ගත යුතු, අනවශ්‍ය මාංශ පේශි න් ද තිබෙනවා.
එම මාංශ පේශී සිහින් වීම වෘත්තීය තරගයක දී අමතර වාසි ගෙන එනවා.
මීට වසරකට පෙර දරුණු, මාරාන්තික පිළිකා රෝගයකින් පීඩා විඳි ලාන්ස් ආර්ම්ස්ට්‍රොංග් දිනකට පැය හතර බැගින් ව්‍යායාම කළා.
එය ශරීරයේ වේදනාව සමග කළ සටනක්.
උදෑසන ව්‍යායාම අවසන් වූ සැණින් පාදය වේදනා දී ඇද වැටෙන තුරුම ඔහු ඇප්ලාචාන් කඳු පන්තියේ පා පැදියේ පැඩලය පෑගුවා.
ඇතැම් දිනවල ඔහුට විවේක ගැනීම උදෙසා පැය කිහිපයක් වෙන් කර තිබුණා.
එනමුත් එම අතිරේක පැය කිහිපයත් ඔහු ව්‍යායාම සඳහාම කැප කළා.
ඒ පිළිබඳව ලාන්ස් ආර්ම්ස්ට්‍රෝංග් පසුව කියූ ලස්සන කතාවක් තිබෙනවා.
එක් දිනයක් තුල අමතර පැයක් ව්‍යායාම කිරීමෙන් මා හට ලැබෙන්නේ අතිරේක විනාඩි හැටක් පමණයි.
එනමුත් දින දෙකක් පුහුණුවීම් කරද්දී එය මිනිත්තු 120 ක්.
සතියක්, මාසයක් පුහුණු වෙද්දී මාගේ ප්‍රතිවාදීන්ට වඩා මිනිත්තු දහස් ගණනක් මා පුහුණු වී තිබෙනවා.
සෑම තරගයකටම පෙර මා ඒ අතිරේක පුහුණුව ගැන කල්පනා කරනවා. එවිට මාගේ ආත්ම විශ්වාසය ඉහළ යනවා.
ඒ අතිරේක පුහුණුව ගැන ලාන්ස් ආර්ම්ස්ට්‍රෝංග් කියූ කතාවයි.
අවසානයේ 1999 වසරේ දී පිළිකා රෝගයකින් පීඩා විඳි, වසර ගණනකින් යූරෝපීය පා පැදි ක්‍රීඩාව මඟ හැරුණු තරුණ ඇමෙරිකානුවා ප්‍රංශ පා පැදි සවාරිය ජය ගත්තා.
එය කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ ජයග්‍රහණයක්.
මුලු පා පැදි ලොවම බලාපොරොත්තු වූයේ යුරෝපීය පා පැදි ක්‍රීඩාව හුරු, ඉතාලියානු මාරියෝ ටිපොලෝනි ගේ ජයග්‍රහණයි.
එනමුත් ලාන්ස් ආර්ම්ස්ට්‍රෝංග් පරාජය කිරීමට ඔවුන්ට නොහැකි වුණා.
එපමණක් නොවෙයි, එතැන් සිට 2005 වසර දක්වාම නොනැවති ප්‍රංශ පා පැදි සවාරිය ලාන්ස් ආර්ම්ස්ට්‍රෝංග් විසින් ජය ගත්තා.
පසුව ඔහුගේ ජයග්‍රහණ අහෝසි කළත්, ලාන්ස් ආර්ම්ස්ට්‍රෝංග් ගේ ජීවිතයෙන් උගත හැකි බොහෝ පාඩම් තිබෙනවා.
එක් දිනෙක අතිරේක පුහුණුවීමක් කෙටි සහ සුලු බලපෑමක් ලෙස පෙනිය හැකියි.
නමුත් ඒ කෙටි බලපෑම වසරක් තිස්සේ අඛණ්ඩව එක් වූ විට විශාල වෙනසක් නිර්මාණය කළ හැකි බලපෑමක්.
ජයග්‍රාහකයන් බිහි වන්නේ එවැනි කැපකිරීම් මතින්.
වෘත්තීය ක්‍රීඩාවේ දී ශූරයන් වීමට තමන් උපතින් ගෙනා කුසලතා පමණක් ප්‍රමාණවත් නැහැ.
එම කුසලතා ඔපමට්ටම් කර ගැනීමට කැපවීම ක්‍රීඩකයෙකුගේ වගකීමයි.
ඉතිහාසය කෙසේ ලියූවත්, මානව සංහතියේ විශාලතම කැපකිරීමක් කළ ක්‍රීඩකයෙකු විසින් උගන්වන පාඩම එයයි.

ඉරේෂාන් සිරිවර්ධන (fb)

    2024. 07. 17

Related articles

මහර රැඳවියන් ඝාතන නඩුව ඉවත් කරගැනීම : නීතිපතිගේ හදිසි තීන්දුව පිළිබඳ බරපතළ සැකයක් !

මහර බන්ධනාගාරයේ සිරකරුවන් 11 දෙනකු ඝාතනය කිරීමේ සිදුවීමත්, එය අපරාධයක් බවට කරුණු අනාවරණය වී ඇති නිසා ඊට වගකිවයුතු...

සීෂෙල්ස් නව නීතිපති ධුරයට ශ්‍රී ලාංකික නීතිඥයෙක් !

ශ්‍රී ලාංකික නීතිඥයකු වන වින්සන්ට් පෙරේරා සීෂෙල්ස් රාජ්‍යයේ නව නීතිපතිවරයා වශයෙන් දිවුරුම් දෙයි.අද (16) ඔහු එරට රාජ්‍ය මන්දිරයේදී...

‘ඉඳුදුන්න නැමුන තැන’ – උපුල් සේනාධිරිගේ

ජීවිතය කරනුයේ ඔහුගෙන් එකිනෙක පැහැර ගැනීමය. පළමුව එසේ පැහැරගන්නා ලද්දේ ඔහුගේ මසැසය. එවිට හේ සැරයටියද ගෙන ගමන් ඇරඹීය....

වසරේ චිත්‍රපටය ලෙස හැදින්විය හැකි ‘The Substance’ (2024)

වසරේ චිත්‍රපටය විදිහට හඳුන්වන්නට පුළුවන්. නරඹන්නට තෝරගන්න ප්‍රධානතම හේතුවක් විදිහට අධ්‍යක්ෂකවරියව නම් කළ හැකියි. Revenge (2017) කියන අපූරු...