“කොත්තු රොටියේ උපත සිදුවූයේ තින්ඩිවනම් ගමේද කියලත් සැකයි”

Share post:

තින්ඩිවනම් ගම පිහිටලා තියෙන්නේ තමිල්නාඩුවේ විල්ලුපුරම් නගරය ආසන්නයේ. මදුරාසියේ ඉඳලා කෝච්චියේ ගියොත් පැය දෙහමාරක ගමන. ඉන්දියාවේ ප්‍රාන්ත තුනක්, තමිල්නාඩු, කර්නාටක හා අන්ද්‍රා සම්බන්ධ කරන ප්‍රධාන අධිවේගී මාර්ග තුනක් සම්මුඛ වෙන මානයේ. ගමේ මිනිස්සු සේරම අයිති පරයා කුලයට. හැමදාම මළබෙර ගහන්න කොන්තරත් නැති නිසා ගොවිතැනට මුල්තැන.

දෙමළ භාෂාවෙන් පරෙයි කියන වචනයේ තේරුම “කථා කිරීමට හෝ කීමට” යන්නයි. මේ බෙර විශේෂය, ජනතාවට එක්රැස් වන ලෙස සංඥා කිරීමට, යුද්ධය පිළිබඳව අනතුරු ඇඟවීමට, ජයග්‍රහනය හෝ පරාජය ප්‍රකාශ කරන්නට, උපත, විපත, කොටහලුව, නම් තැබීම, විවාහය ආදී සෑම විශේෂ අවස්ථාවක්ම සංනිවේදනය කරන්නට භාවිතා කරනවා. මේ සම්ප්‍රදායට අයත් තාල 156 ක් තියෙනවා. මේ ගමේ ගස්වල කොල හෙලවෙන්නේත්, දරුවෝ අම්මලාගේ තණේ එල්ලිලා බස බස ගාලා කිරි උරා බොන්නේත්, මස් කඬේට හරක් දක්කන්නේත් තාලෙටදැයි මට සැකයි. මේ අයගේ ජීවිත ඒ තරම්ම තාල වලින් පිරිලා.

මේ තින්ඩිවනම් ගමේදි තමයි තමිල්නාඩුවේ සිට ලොරිවලින් ගෙන ආ කුකුල් පොහොර තොගය කර්ණාටකයේ සිට රැගෙන ආ ගෑස් සිලින්ඩර තොගයට හුවමාරු කරගන්නේ. මේ ගමේදි තමයි විජවයාඩාහි මුද්‍රණය වූ සිනමා පෝස්ටර් තොගය මදුරෙයි නුවරින් ගෙන ආ පොල් තොගයට මාරු කරගන්නේ. මෙතැනදි තමයි බැංගලෝරයෙන් ගෙන ආ මී අඹ, විශාඛාපට්නම් සිට ගෙන ආ තීන්ත ලොරියට පටවා ගන්නේ. මෙතන හරියටම පුංචි පහේ තොග හුවමාරු මධ්‍යස්ථායක් වාගේ දවසේ විසිහතර පැයේ ම ගනුදෙනු සිද්ධ වෙනවා.

මේ ගමන ආවේ අපි තුන්දෙනෙක්. ගෞතම්, ආදිත්‍ය සහ මම. හැන්දෑවේ හත විතර වෙනකොට තමයි තින්ඩිවනම් කඩිගුල ඇවිස්සෙන්නේ. ගොඩක් ලොරි එන්නේ මේ ඉර බහින වෙලාව අල්ලලා. මුල් කාලේ, ලොරිවලින් පැමිණෙන පිරිසට ආහාර සප්පායමට පුංචි පුංචි කඩවල් දෙක තුනක් තින්ඩිවනම් ගමේ පටන් ගැනුණා. හැබැයි පහු පහු වෙනකොට කඩෙන් කඬේ එකතු වෙලා දැන් මේ වන විට පාර දෙපැත්තේ කඩවල් තිහක් හතලිහක් විතර හැදිලා තියෙනවා. සිලෝන් පරතා දෙක තුනයි, චිකන් කරියයි, ලූණු සම්බෝලෙටයි තමයි බහුතරයගේ කැමැත්ත. (තමිල්නාඩුවේ සමහර ගම්වල තවමත් පරාතා හඳුන්වන්නේ සිලෝන් පරාතා කියලා)

ලංකාවේ භාවිත දෙමළ භාෂාවෙන් වෙට්ටිත්තාංග කියන්නේ පුංචියට කපලා දෙන්න කියන එක. නමුත් මේ තින්ඩිවනම් ගමේ භාවිත දෙමළ උප භාෂාවට අනුව පුංචියට කපලා දෙන්න කියන්නේ කොත්තිත් තාංග කියලා. රෙන්ඩ මූණු පරාතා කොත්තිත් තාංග කියන්නේ පරාතා දෙක තුනක් කපලා දෙන්ඩ කියන අර්ථය.

පරාතා දෙක තුනක් රොටි තැටියට දාලා රත්වෙන්න අරිනවා. තැටිය මැද්දට විසාල චිකන් කෑල්ලක් දාලා මේ දෙවර්ගය තුනට හතරට කපනවා. ලංකාවේ වාගේ හාල් කෑලි තරම් කුඩුවෙන්න කැපිල්ලක් මෙහේ නැහැ. එසේ කැපූ පරාතාවලින් සාදා ගන්නා ආහාරයට කොත්තු කියලා නම වැටෙනවා. මේ විදියට දශක ගනනාවකට ඉස්සර කොත්තු රොටියේ උපත සිදුවූයේ තින්ඩිවනම් ගමේද කියලත් සැකයි.

තින්ඩිවනම් ගමේ සියල්ලෝම වෘත්තීය බෙර වාදකයින්. ඔවුන් ඉතා සංකීර්ණ තාල වාදනයට උපන් හපනුන්. මේ පිරිස කොත්තු කොටන්නේ තාලයට. මේ හැමෝටම සුවිශේෂී ආරම්භක පදයක් තියෙනවා. තමන්ට ඕඩරයක් ලැබුනු විගස හොඳට අතට බරදාලා ඒ පදය රොටි තැටිය මත වාදනය කළාම, අවට ඉන්න හැමෝම දැනගන්නවා ඔන්න අහවලාට බිස්නස් එකක් ඇවිත් කියලා. මේ කිසිවෙක් තවත් කෙනෙක් අභිභවා තාල වාදනය කරන්නේ නැහැ. ඒ නිසාම ඉතා අලංකාර ලෙස හඬ උස්පහත් කරමින් එකවර පහලොවක් විස්සක් කොත්තු කොටන මේ හරඹය හරියටම සංධ්වනියක් වාගෙයි ඇහෙන්නේ.

විෂ්ණු වාසු
Vishnu Vàsu

Related articles

සිහි විකල් කරවන යථාර්ථයක විකාරරූපී ප්‍රතිබිම්බය: බන්දුජීවගේ ‘ධූමලාවණ්‍යාගාරය’

සිය දෙවන කාව්‍ය සංග්‍රහයෙන් වසර දහයකට පසුව, රුවන් බන්දුජීව සිය තෙවන කෘතිය වන 'ධූමලාවණ්‍යාගාරය' රචනා කරන්නේ, පෙර කෘතියට...

මව්බිම මාධ්‍යවේදීන් වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කම්කරු කොමසාරිස්ට ලියයි !

දිනපතා පුවත්පත් කිහිපයක මුද්‍රණය අත්හිටුවීම හේතුවෙන් මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතතාවයට එල්ල වී ඇති සෘණාත්මක බලපෑම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ...

සංරක්ෂණයේ පදනම බිඳ දමා ‘වනජීවී දිනය’ සමරා ඵලක් වේද?

පාරිසරික යුක්තිය සහ සාධාරණත්වය, පරිසරය සහ සංවර්ධනය අතර සමබරතාව, තිරසාර සම්පත් භාවිතය සහ පූර්වාරක්ෂක ක්‍රමවේද ආදී දහසක්වචන අවභාවිතා...

තරිඳුගේ පෙත්සම : වාචික පැමිණිල්ලක් කළ නිසා කාලාවරෝධයෙන් සහනයක් ඕනෑ – පැමිණිලිකරු : කොමිසමේ ස්වයංක්‍රීය පරීක්ෂණයක සහනය පෙත්සම්කරුට නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

මානව හිමිකම් කොමිසම මගින් ආරම්භ කරන ලද පරීක්ෂණයක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීම සඳහා ලැබෙන සහනය ලබාදීමට අදාළ නොවන බව...