1980දී තරගත වුන ‘හංස විලක්’

Share post:

හංස විලක් කියන්නේ සැබෑ කතාවක් පදනම් වුන චිත්‍රපටයක්. එහි එන සියලුම සිදුවීම් සත්‍ය සිදුවීම් බව තමයි එහි රචකයා සහ අධ්‍යක්ෂවරයා වන ධර්මසිරි බණ්ඩාරනායකයන් පවසන්නේ. මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නෙත් බන්ඩාරණායකයන්මයි. ඒ නිශ්ශංක වීරසේකර නමින්. ඔහුගේ නීත්‍යානුකූල බිරිඳ ලෙසින් චිත්‍රපටයේ රඟපාන්නේ වසන්ති චතුරානි. ඒ වගේම නිශ්ශංක වීරසිංහගේ අනියම් සම්බන්ධය වන මිරුන්ඩා රණවීර ලෙසින් රගපාන්නේ ස්වර්ණා මල්ලවආරච්චි මහත්මිය සහ ඇගේ නීත්‍යානුකූල සැමියා වන ඩග්ලස් ලෙස හෙන්රි ජයසේනයන් රංගනයෙන් දායක වෙනවා.

මෙහි තිර පිටපතට හිමිවන්නේ එකල ශ්‍රේණිගත කිරීම් වලට අනූව සී ශ්‍රේණියයි. එය ඒ ශ්‍රේණියේ වූවා නම් එකල චිත්‍රපටයේ පිරිවැය බැංකුවක් මගින් ලබා දීමට චිත්‍රපට සංස්ථාව කටයතු කරනවා. නමුත් තම චිත්‍රපටයට අනුග්‍රාහකයෙකු සොයාගැනීමට බණ්ඩාරනායකයන්ට සිදු වෙනවා. කෙසේ හෝ එකල ඇස්වාටුවේ බේක් හවුස්හි සභාපති ඇල්බට් ජයසිංහ මහතා නිෂ්පාදනය සදහා කැමැත්ත පල කරනවා. නමුත් චිත්‍රපටය අතරමඟදී එතුමන් මිය යනවා. නමුත් සී ශ්‍රේණියේ තිබූ හංස විලක් චිත්‍රපටයට සම්භාව්‍ය පස්වන මණ්ඩලයේ තිරගත කිරීමට අවසර හිමි වෙනවා.

මිරැන්ඩා රණවීර සහ නිශ්ශංක වීරසිංහ අතර ඇතිවන අනියම් ප්‍රේමයේ උච්චතම අවස්ථාවට පැමිණි විට මොවුන් දෙදෙනා පෙම් සුව විදීම සදහා හෝටල් කාමරයකට යෑමට තීරණය කරනවා. නමුත් හෝටල් කමරයේ පෙම් සුව විදින මොවුන් අතරට හදිසියේම පොලීසිය කඩා පනිනවා. මොවුන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමට පොලීසිය මොවුන් දෙදෙනා වෙන වෙනම ගන්නවා. නිශ්ශංක පොලීසිය නොමග යැවීමට විවිධ දේ කියුවත් දෙදෙනාගේ ප්‍රකාශ පරස්පර නිසා අවසානයේ දී සත්‍ය පැවසීමට සිදු වෙනවා. අන්න ඒ අවස්ථාවේදී තමයි අපිට හෙමින් සැරේ පියා විදා ගීතය මුලින්ම ඇහෙන්නේ. අන්තිමේ දී දෙදෙනාටම දෙදෙනාගේ සැමියා සහ බිරිද සමගින් උසාවියට පැමිණෙන්නට සිදුවෙනවා. මේ උසාවියේ නඩුකාරයා තීන්දුව ප්‍රකාශ කරන වස්ථාවෙත් මේ ගීතය ඇහෙනවා.
මේ ගීතය නිර්මාණය කිරීමත් බොහොම අපූරු විදියටයි සිදුවන්නේ. මේ ගීතය ලියන්නේ ධර්මසේන පතිරාජයන්. බණ්ඩාරනායකයන් පතිරාජයන්ගෙන් ඉල්ලීමක් කරනවා මේ චිත්‍රපටයට ගීතයක් ලියා දෙන්න කියා. පතිරාජයන් ඔහුගෙන් පිටපත ඉල්ලනවා මුලින්ම. පිටපත කියවපු පතිරාජයන්ට මේ ගීතය ලියන්න වැල්ලවත්තේ මුහුදු වෙරළට ගිහින් විනාඩි පහලොවයි ගත වුනේ.

බණ්ඩාරනායකයන් මේ ගීතය දෙන්නේ ආචාර්ය කේමදාසයන්ට. කේමදාසයන් මේ ග‍ීතය ගායනා කරන්න තෝරගන්නේ ටී.එම්. ජයරත්නයන් සහ සුනිලා අබේසේකරයන්.
ඇත්තටම මේ ගීතය ගැන කියනවා නම් පදරචනාව ඉක්මවා සංගීතය ගිය අවස්ථාවක් කිවුවොත් නිවැරදියි. නමුත් මෙතැනදී පදරචනාවත් සංගීතයත් ඉතාම ප්‍රභලයි. නමුත් මේ ගීතය ගත්තම වචනයෙන් වචනය ගලවලා වෙන් කරන්න පුලුවන් ගීතයක් නෙමෙයි. මේ වචන පොකුරම ගත්තම මේ හොටල් කාමරයේ තනිවුන පෙම්වතුන් යුවලගේ හිත්වල ඇතිවන සම්පූර්ණ හැගීමම විස්තර කරනවා. මේ ගීතයේ එන ප්‍රභලතම ප්‍රකාශණයක් තමයි “නැවුම් වත්සුණු රොනින් මත් වී… සිහින නිම්නය සුපුෂ්පිත වෙයි” කියන කොටස. මේ දෙදෙනාගේ හැගීම් උච්චතම අවස්ථාවට පැමැණීම තමයි මේ මගින් රචකයා ශ්‍රාවකයාට ගෙනහැර දක්වන්නේ. පෙම් කරන්න තැනක් නැතුව හෝටලයක් හොයාගෙන යන යුවලකට ඒ කාමරයේ හම්බවෙන පුස් ගඳ ගහන කුනු දූවිලි පිරුන ඇදත් සිනිදු ඇතිරිලි වලින් සරසපු සුමුදු සයනයක්ම තමයි.

1980දී තරගත වුන හංස විලක් චිත්‍රපටය වෙනුවෙන් එහි අති විශිෂ්ඨ රංගනයක යෙදෙන ස්වර්ණා මල්ලවආරච්චි මහත්මියට 1981දී ජනාධිපති සම්මානය හිමි වෙනවා. ඒ වගේම හෙන්රි ජයසේනයන්ට 1981 සරසවිය සම්මාන උලෙළේදී හොදම සහාය නළුවා සම්මනය හිමි වෙනවා. එමෙන්ම එම සම්මාන උලෙළේදීම හොදම තිර රචනය සදහා වූ සම්මානය ධර්මසිරි බණ්ඩාරනායකයන් හිමිකරගන්නවා.
ඔබත් අවස්ථාවක් ලැබුනොත් නැරඹිය යුතුම චිත්‍රපටයක් තමයි හංස විලක්…

හෙමින් සැරේ පියා විදා
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම් සියොතුන්
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්

මලක් නම් එය මලක් වුව මැන
සිනිඳු සුකොමල රුවෙන් සරසන
විලක් නම් එය විලක් වුව මැන
නීල ඉඳුවර දියෙන් උපදින

නැවුම් වත්සුණු රොනින් මත් වී
සිහින නිම්නය සුපුෂ්පිත වෙයි
සිහින් හඬකින් මහද අමතයි
මුදා හැරදා පවුරු සිරි යහනේ

ගායනය : ටී.එම්.ජයරත්න සමඟින් සුනිලා අබේසේකර
සංගීතය : ප්‍රේමසිරි කේමදාස
පද රචනය : ධර්මසේන පතිරාජ

චතුරංග ජයසුන්දර (fb)

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...