අලුත්ගම බොදුබල සේනා භීෂණය මැද මුස්ලිම් මිනිසුන් බේරාගත් තෙවරප්පෙරුම !

Share post:

‘එදා ඒ ගමන යනතුරුම දිගින් දිගටම අපට පහර දුන්නා. මා ඒ අය නාගොඩ රෝහලට අරගෙන ගියා. මා හිතුවා වාහනය ඇතුළේ එක අම්මා කෙනෙක් මැරිලාය කියා. මුහුණට මහ විශාල කොන්ත්‍රීට් ගල් පාරක් වැදිලා ඒ අම්මා එතැනම සිහිය නැතිව වැටුණා. මුහුණෙන් ලේ වැක්කෙරුණා. ඒ අවස්ථාවේ මා ඇය උත්සාගෙන ගියා. ඇගේ පුංචි දරුවාට වයස මාස 09යි. ඒ පුංචි දරුවාගේ පිටුපසට ගල් ගෙඩි පහරක් වැදිලා ඒ වෙලාවෙම පුංචි දරුවා කොළඹ දැඩිසත්කාර ඒකකයට අරගෙන ගියා. ඒ දරුවාගේ අම්මා 22වැනි වාට්ටුවේ ඉන්නවා.‘ ඒ පාලිත තෙවරප්පෙරුම හිටපු මන්ත්‍රීවරයා එක්තරා අවස්ථාවක කළ ප්‍රකාශයක කොටසකි.

වසර 10ක පමණ කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසත්, කෙටි කාලයක් නියෝජ්‍ය අමාත්‍යවරයකු ලෙසත් කටයුතු කළ එහෙත් දීර්ඝ කාලීන දේශපාලන ඉතිහාසයකට උරුමකං කියන පාලිත තෙවරප්පෙරුම මහතාගේ මරණය සම්බන්ධයෙන් බොහෝ දෙදෙනකු විවිධ අදහස් පළකර තිබිණි. ඔහු බලය ඇති නිලධාරීන් සමග හැප්පෙමින් ජනතාවට සහන ලබා දීමට කටයුතු කිරීම ගැනත්, ආපදාලවදී පෞද්ගලිකවම මැදිහත්වී ජනතාවට සහන සලසා දුන් ආකාරය ගැනත් ලියා තිබිණි. කෙසේ වෙතත් පාලිත තෙවරප්පෙරුම ගැන මට ඇති ගෞරවය ඒ කිසිවක් නිසා නොවේ. මට ඇත්තේ ඔහු ජාතිවාදයට එරෙහිව කළ කී දෑ සම්බන්ධයෙන් වන පැහැදීමකි.

මම ජනමාධ්‍යවේදියකු ලෙස තෙවරප්පෙරුම සමග කතා කර ඇත්තේ එක් අවස්ථාවක පමණි. ඒ 2014 වසරේ ජුනි මාසයේදීය. ඒ සම්බන්ධයෙන් පසුව සඳහන් කරමි. එහෙත් මා ඔහුගේ ඇතැම් වැඩ ගැන ලියා ඇත්තෙමි. යහපාලන රජය පත්වූ විගස ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට මහ මග පහරදීම ගැන මම ඉරිදා ලංකාදීප පුවත්පතට ලිපියක් ලීවෙමි. එය 2015 වසරේ පල විය. මා එම ලිපිය ආරම්භ කළේ ‘අලුත්ගම බේරුවල දී වීරයකුගේ චරිතයකට පණ පෙවූ තෙවරප්පෙරුම පසුදිය දා පෙණ පෙව්වේ ඊට හාත්පසින්ම වෙනස් චරිතයකටය.‘ ලෙසය. සිද්ධිය අගලවත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අලුතින් කාර්යාලයක් විවෘත කිරීම සදහා එක්සත් ජාතික පක්ෂයේ කොඩි වැල් කැපීමකි. ඒ අසලට ගිය තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා එය සිදුකරමින් සිටි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා මහ මග දණගැස්වීය. ඇත්තටම ඊට මුල්වූයේ මන්ත්‍රීවරයා නොව එක්සත් ජාතික පක්ෂෙයේ වෙනත් පාක්ෂිකයෙකි.  සිද්ධිය ගැන පරීක්ෂණ පැවැත්වූයේ කොළඹ අපරාධ කොට්ඨාසයයි. එම කොට්ඨාසය තෙවරප්පෙරුම අත්අඩංගුවට ගැනීමටත් පෙර තෙවරප්පෙරුම පැමිණ බාර විය. පාක්ෂිකයා පාවාදී නැවත නිවසට යනවා වෙනුවට ඔහු වගකීම බාර ගත්තේය. අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු රිමාන්ඩ් කෙරිණි. මාස ගණනක් රිමාන්ඩ් බාරයේ සිටීමට තෙවරප්පෙරුමට සිදුවිය. 2015 මහ මැතිවරණයට තෙවරප්පෙරුම ඉදිරිපත් වූයේ රිමාන්ඩ් සිරගෙදර සිටය.

පාර්ලිමේන්තුව එසේත් නැත්නම් ව්‍යවස්ථාදායකය යනු රටේ නීති සකස් කරන ස්ථානයයි. එසේම රටේම මුදල් සම්බන්ධයෙන් වන තීන්දු තීරණවල අවසානාත්මක බලය ඇත්තේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙතය. ව්‍යවස්ථාදායකයට ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ක්‍රියාත්මක කිරීම සඳහා තෙවරප්පෙරුම වැන්නවුන් නුසුදු නොවන බවටත්, තෙවරප්පෙරුම වැන්නවුන් සුදුසු වන්නේ ප්‍රාදේශීය පාලනයකට බවත් ඇතැමුන් කියා තිබිණි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නීතිඥවරු කී දෙනෙක් සිට ඇත්ද? දැනටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිශ්චයකාරවරයකු   පාර්ලිමේන්තුවේ සිටියි. උගත්තු බුද්ධිමත්හු රැසක් පාර්ලිමේන්තුවේ සිටියහ. තෙවරප්පෙරුමගෙන් බලාපොරොත්තු විය නොහැකි ව්‍යවස්ථාපිත වගකීම ඔවුන්ගෙන් ඉෂ්ඨවී තිබේද? එලෙස ඉෂ්ඨවූවා නම් 2022 දී 225ම එපායැයි මිනිස්සු පාරට බහින්නේ නැත. උගතුන්ගෙන් බුද්ධිමතුන්ගෙන් සිදුවූ දේට වඩා වැඩි යමක් ජනතාවගේ පැත්තෙන් තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා විසින් සිදු කර තිබේ.

තෙවරප්පෙරුම විශේෂ වන්නේ ඒ කිසිවක් නිසා නොවේ. ඔහු විශේෂ වන්නේ බොහෝ මන්ත්‍රීවරුන් වචනයක් යෝ නොකියන, නොකියපු ජාතිවාදී ප්‍රශ්න ගැන තෙවරප්පෙරුම කෙලින් කතා කළ හෙයිනි. ඊට හොඳම උදාහරණය අලුත්ගම දර්ගා නගරයේ සිදුවීමයි. 2014 වසරේ ජුනි මාසයේ දී අලුත්ගම දර්ගගානගරය ආශ්‍රිතව වූ සිදුවීම තවමත් යුක්තිය නැති තවත් එක සිදුවීමක් වී හරමාය. බොදුබල සේනා සංවිධානයේ ප්‍රධානත්වයෙන් අලුත්ගම නගරයේ පැවැති රැස්වීමකින් පසු ප්‍රදේශයේ මුස්ලිම් ප්‍රජාවට අයත් නිවාස, කඩසාප්පු රැසක් ගිනිබත් කෙරිණි. හතර දෙනකු පමණ මරා දැමිණි. පොලිසිය සහ ආරක්ෂක අංශ බලා සිටියදී සිදුවූ එම සිදුවීම්වලින් විපතට පත්වූ මුස්ලිම් ජනතාව බේරා ගැනීමට තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් විය.

පොලිසිය, ආරක්ෂක අංශ කළ යුත්ත නොකරන පසුබිමක එම කටයුත්ත කිරීමට සිදුවූයේ තෙවරප්පෙරුම මන්ත්‍රීවරයාටය. ඔහු වින්දිතයන් කිහිප දෙනකු තම වාහනයේ දමාගෙන යමින් සිටියදී පොලිසිය සහ ආරක්ෂක අංශ බලා සිටියදී වාහනයට ප්‍රහාරයක් එල්ල විය. එම ප්‍රහාරයෙන් වාහනයේ සිටි කිහිප දෙනකුට පමණක් නොව තෙවරප්පෙරුම මන්ත්‍රීවරයාටද තුවාල සිදුවිය. එක් ඇසකට පවා හානි සිදුවී තිබියදී ප්‍රහාර මධ්‍යයයේ ඔහු තුවාලකරුවන් රෝහලට ගෙන ගොස් ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට ගත් උත්සාහය වෙනත් කිසිදු මන්ත්‍රීවරයකු තබා කිසිම පුද්ගලයකුවත් කරන්නට තියා හිතන්නටවත් උත්සාහ නොකරන දෙයකි.

තෙවරප්පෙරුම මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් 2014 ජුනි 19 වැනිදා පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින් කතා කළේය. ඔහු එදා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය මෙසේය.

‘ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අලුත්ගම ප්‍රදේශයේ පසුගිය දා ඇති වූ නොසන්සුන් තත්ත්වය සොයා බැලීමට මහජන නියෝජිතයකු ලෙස මම ඉදිරිපත් වුණෙමි. එය මාගේ වගකීමක් ලෙස සැලකුවෙමි. එදින මෙම කලහකාරී තත්ත්වයට මැදි වී පාසල් දරුවන් තුන් දෙනකු නිවෙස්වලට එන්නට විධියක් නැතිව හොස්ටල් එකේ හිරවෙලා හිටියා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ දරුවන්ව ගෙන්වා දෙන්න කියලා ඒගොල්ලන්ගේ අම්මලා අදාල පොලිස් ස්ථානයට දැනුම් දුන්නා. වැලිපැන්න පොලිසියට දැනුම් දුන්නා. නමුත් ඒ අය මේ පිළිබඳව කිසිම උත්සාහයක් උනන්දුවක් දැක්වුවේ නැහැ. නමුත් ඒ දෙමාපියන් මට ඒ ගැන කිව්වට පස්සේ මහජන නියෝජිතයකු හැටියට මට බලාගෙන ඉන්න බැරි නිසා මම උදේ ගිහිල්ලා මේ පාසල් දරුවන් තුන් දෙනාව මගේ වාහනයට දාගෙන ආවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ඊට පස්සේ රැ වැලිපැන්න ප්‍රදේශයේ අබ්දුල්ලා කියලා මනුස්සයෙක්ව මේ කලහකාරී, නොසන්සුන්කාරී තත්ත්වයට බයේ හෘදබාධයක් හැදිලා මිය ගියා. මේ පුද්ගලයා මිය ගියේ වැලිපැන්න ප්‍රදේශයේදියි. ඔහුගේ අම්මලා හිටියේ අලුත්ගම දර්ගා නගරයේ වැලිපිටිය කියන ප්‍රදේශයේයි. මේගොල්ලන් ගෙනැත් දෙන්න කියා වැලිපැන්න පොලිසියට දැනුම් දීමක් කලා. වැලිපැන්න පොලිසියට දැනුම් දීමක් කලාම ඒ පොලිසියේ නිලධාරියකු ඒ අයට කියලා තිබෙන කතාව මට මෙතැන කියන්න බැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අලුත්ගම පොසියටත් දැනුම්දීමක් කලා. නමුත් අලුත්ගම පොලිසියෙනුත් ඒ සම්බන්ධයෙන් පියවරක් ගත්තේ නැහැ. පසුව මට ඒ කාරණය දැනුම් දුන්නා. ඒ ප්‍රදේශයේ අයකුගේ වාහනයක් අරගෙන මම වැලිපිටියට ගිහිල්ලා ඔහුගේ දෙමව්පියන් ඇතුළු ඥාතීන් දහසය දෙනකු වාහනය ඇතුළට දාගත්තා. අත දරුවෝ පස් දෙනකුයි, බබාලා හම්බ වෙන්න ඉන්න අම්මලා දෙන්නකුයි වයසක අම්මලා දෙන්නකුයි පොඩි ළමයෙකුයි ඒ අය අතර හිටියා. මම ඒ ස්ථානයට යන විට පොලිස් නිලධාරීන් 500ක් විතර දෙපැත්තේ හිටියා. අලුත්ගම පොළ ආශ්‍රිතව ෆිල්ම් හෝල් එකක් තිබෙනවා. ඒ දිගටම පොලිස් නිලධාරීන් හිටියා. මම මෙහෙම වැඩකට යනවාය කියලා පොලිසියට කියලයි ගියේ. මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බව පොලිසියේ අය දන්නවා.

ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මා ඒ අය දාගෙන ඉස්සරහට එනකොට, ජනතාව පොලිසිය ඉස්සරහ කඩු, පොලු තියාගෙන ලොකු දිග පරාල තියාගෙන දිගටම ඉන්නවා මා දැක්කා. එස්ටීඑෆ් එක, පොලිස් නිලධාරීන් එතැනින් යනවා එනවා. එතැන ඒ අයගේ මොබයිල් සර්විස් එක ඉන්නවා. නමුත් කිසිම කෙනෙක් මේ ගැන ප්‍රශ්න කරන්නේ නැහැ. මට මේ ගැන සැක හිතිලා වාහනය පදවාගෙන ඇවිත් පොලිසියේ මොබයිල් රථයක් පිටුපස මගේ වාහනය තියාගත්තා. එහෙම තියාගෙන චුට්ට දුරක් එනකොට පොලිස් මොබයිල් රථය මගේ වාහනය දැකලා අයින් කර ගත්තා. අයින් කර ගත්තාම එතැනදීම ඒ කලහකාරී පිරිස් මා හිතන හැටියට අර බොදුබල සේනාවේ බීමත්ව හැසිරෙන මානසික රෝගියෙක් වන ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන්ගේ කට්ටිය වට කර ගෙන වාහනයේ සිටි අයට අමානුෂික විධියට පහර දුන්නා. වාහනය කුඩු පට්ටම්. මා වාහනය නැවැත්වුයේ නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. වාහනය ඉස්සරහ  මාපට ඇඟිිලි තුඩක් විතර දාන්න පුළුවන්  හිලක් තිබුණා. ඒ හිලෙන් බලාගෙන තමයි මා වාහනය පදවාගෙන ආවේ. එහෙම කළේ නැත්නම් වාහනයේ සිටි 16් දෙනාම ගලබොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන්ගේ කට්ටිය විසින් මරා දානවා. අධික ලෙස බීමත්ව සිටි මේ අය කිසිම හේතුවක් නැතිවයි පහර දුන්නේ. පහර දෙන්න කිසිම හේතුවක් නැහැ. පොලිසියේ අය ඉස්සරහයි මේ අය පහර දුන්නේ. මම මේක වගකීමක් ඇතිවයි කියන්නේ. පොලිස් නිලදාරීන් 500ක් විතර ඉස්සරහදීයි පහර දුන්නේ. පොලිසිය නිශ්ශබ්දව සිටියා. අඩු ගණනේ මොකද කියාවත් ඇහුවේ නැහැ. මේ පහර දීම සිදු වුණේ 16 වන දායි. මා 17 වන දා පැමිණිල්ලක් දාන්න යනතුරුම පොලිසිය සොයා බැලුවේ නැහැ කාටද ගැහුවේ කියා.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එදා ඒ ගමන යනතුරුම දිගින් දිගටම අපට පහර දුන්නා. මා ඒ අය නාගොඩ රෝහලට අරගෙන ගියා. මා හිතුවා වාහනය ඇතුළේ එක අම්මා කෙනෙක් මැරිලාය කියා. මුහුණට මහ විශාල කොන්ත්‍රීට් ගල් පාරක් වැදිලා ඒ අම්මා එතැනම සිහිය නැතිව වැටුණා. මුහුණෙන් ලේ වැක්කෙරුණා. ඒ අවස්ථාවේ මා ඇය උත්සාගෙන ගියා. ඇගේ පුංචි දරුවාට වයස මාස 09යි. ඒ පුංචි දරුවාගේ පිටුපසට ගල් ගෙඩි පහරක් වැදිලා ඒ වෙලාවෙම පුංචි දරුවා කොළඹ දැඩිසත්කාර ඒකකයට අරගෙන ගියා. ඒ දරුවාගේ අම්මා 22වැනි වාට්ටුවේ ඉන්නවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මා හිතන හැටියට බොදුබල සේනාව මෙහෙයවන ගලබොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ කියන්නේ මානසික රෝගියෙක්. මේ රෝගියා කරන දේවල් නිසා අපේ බෞද්ධ ජනතාව අද බලු වෙලා තියෙන්නේ.ඒ මානසික රෝගියාට 15 වෙනිදා අලුත්ගම නගරයේ රැස්වීමක් තියන්න පොලිසිය අවසර දුන්නා. අලුත්ගම නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවෙලා තියෙද්දී මුස්ලිම් ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර ගිනි තියලා තියෙද්දි හාමුදුරුවරුන්ට ගහලාය කියා රාවයක් යද්දි පොලිසිය බොදුබලසේනාවේ මේ මානසික රෝගියාට මේ රැස්වීම තියන්න අවස්ථාව දුන්නා. මේ මානසික රෝගියා ඒ ස්ටේජ් එකට නැගලා කිව්වේ ‘සිංහල කෙනකුට හරි අත තිබ්බොත් මරක්කලයින් එකෙක් තියෙන්නේ නැහැ‘ කියලයි. ‘අද රෑට මරක්කලයින්ගේ සියලු දේපොළවලට දෙවියන්ගේ පිහිටයි‘ කිව්වා. 15 වෙනිදා උදේ එහෙම කිව්වා. රෑ සියලුම දේපොළ ගිනි තිබ්බා. කෝටි ප්‍රකෝටි ගණනක දේපොළ පොලිස් නිලධාරීන් බලා සිටිද්දී, පොලිස් නිලධාරීන් ඉස්සරහා පොලිස් නිලධාරීන් තල්ලු කර දාලා ගිනි තිබ්බා. 16 වනදා රැ මතුගම නගරයේ පොලිස් මෝටර්සයිකල් තිබෙද්දි කළ දේවල් වීඩියෝපටවල තිබෙනවා. ඒ කළේ බොදුබල සේනාවේ ගලබොඩඅත්තේ හාමුදුරුවන්ගේ කට්ටියයි. සියලු බෞද්ධයෝ නොවෙයි. සියලු සිංහල ජාතිකයෝ නොවෙයි මේක කළේ. මේක අසාධාරණ දෙයක්. මට අමානුෂික ලෙස පහර දුන්නා. පොලිසිය බලාගෙන සිටියදීයි මේක කළේ. මා කියන්නේ, බොදුබල සේනා සංවිධානයේ මානසික රෝගියාත්, රජයත්, පහර දුන් අයට ආරක්ෂාව දුන්නු පොලිසියත් මේ සිද්ධියට සම්පූර්ණයෙන් වගකීම භාර ගන්න ඕනෑය කියලයි. මා ඉල්ලීමක් කරනවා මීට පස්සේ මෙවැනි සිද්ධීන් සිදු නොවෙන්න මේ මානසික රෝගියා අත්අඩංගුවට ගෙන මානසික වෛද්‍යවරයකුට ඉදිරිපත් කර මේ ප්‍රශ්නය විසඳන්න කියලා. එහෙම නැත්නම් මුළු රටේම ජාතිවාදය ඇවිළෙනවා.

මේ බලන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අද මේ පුංචි දරුවන්…‘ තෙවරප්පෙරුම මන්ත්‍රීවරයාගේ කතාව අදර මගින් නතර කර දැමීමට නියෝජ්‍ය කතානායකවරයා කටයුතු කෙළ්ය.

අසීරු අවස්ථාවලදී ජාතිවාදයට එරෙහිව ඔහු දිගින් දිගටම කතා කළේය. මා තෙවරප්පෙරුමට කතා කර ඇති එකම අවස්ථාව දාර්ගා සිදුවීම ගැන ඉරිදා ලංකාදීපයට තෙවරප්පෙරුමගෙන් ප්‍රතිචාරයක් ගැනීමට පමණි.

ගංවතුර ස්ටාර් – පාලිත තෙවරප්පෙරුම : කොපි කළ හැක සම කළ නොහැක – චාමර ලක්ෂාන්ගේ සටහන මැයෙන් ලංකා  ඊනිව්ස වෙබ් අඩවියේ 2017 ජුනි 03 එනම් දර්ගා  සිද්ධියෙන් වසර තුනකට පමණ පසු ලිපියක් පළ විය. එහි මෙසේ තිබිණි.

‘දින ගණනක් පුරා පැවැති ගංවතුර අතිමහත් විනාශයක් සිදුකළ මුත් එය “තරුවක්” බිහි කිරීමට සමත් විය. කඩපොළේ බස්රියේ, දුම්රියේ පමණක් නොව සයිබර් අවකාශය තුළ ද මේ දිනවල ජනප්‍රියම තරුව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමය. අපගේ සමාජීය මිත්‍රයකු සඳහන් කර තිබූ ආකාරයට ම “ගංවතුර ස්ටාර්” තෙවරප්පෙරුමය. දැන් රටම කථා කරනුයේ නිදි වර්ජිතව, කුසට අහරක් නොමැතිව, පාවහන් රහිතව ආපදා කළමනාකරණයේදී තෙවරප්පෙරුම කළ සුරවිරුකම් පිළිබඳවය. කථා කිරීමෙන් නොනැවතී, වත්මන් සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍යවරයාට රටේ ආපදා කළමනාකරණය පිළිබඳ වගකීම භාර දිය යුතු බවට ද ඇතැමුන් යෝජනාද ඉදිරිපත් කරමින් සිටිති. කෙසේ වෙතත්, පාලිත තෙවරප්පෙරුම ද දේශපාලනඥයකු බැවින්, ඔහුගේ මෙම හැසිරීම කිසිසේත්ම “අහිංසක” නොවන බව කියන, පිරිසක් ද සිටිති. දේශපාලනඥයන් “කැමරා” දෙස බලමින් ඒ ගැන අවධානය යොමු කරමින් සියල්ල කරන යුගයක ඉහත කී අන්දමේ විශ්වාසයක් යමෙකුට උපදවා ගත හැකි වුවද, පාලිතව හොඳින් දන්නා කෙනෙකු ලෙස, රඟපෑමකට එහා ගිය අවංකභාවයක් ඒ තුළ ඇති බව වගකීමෙන් යුතුව අපට පැවැසිය හැකි ය. ගංවතුරකදී, නායයෑමකදී තවත් සරලව කියතොත් ව්‍යසනයකදී පාලිතගේ මේ හැසිරීම මතුගම, අගලවත්ත, බුලත්සිංහල ඇතුළු කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවට ආගන්තුක වූවක් නොවේ. හැඩිදැඩි පෙනුමක් සහිත පාලිත, හිත හොඳ පුද්ගලයකු බව පක්ෂ, විපක්ෂ බේදයකින් තොරව කළුතර ජනතාව හොඳාකාරවම දනී. මාධ්‍ය කේන්ද්‍රීයව මෙවර, වැඩි ඉඩක් හිමි වූ මුත් මීට පෙර ද ඔහු අනන්තවත් මෙවැනි සිදුවීම්වලට සම්බන්ධ වී ඇත.

මීට වසර විසිහතරකට පෙර සිදු වූ සිද්ධියක් මේ ලියුම්කරුට හොඳහැටි මතකය. බස්නාහිර පළාත් සභා උණුසුමෙන් කළුතර දිස්ත්‍රික්කය ගිනියම්ව තිබූ මොහොතක සිංහල හා හින්දු අලුත් අවුරුදු උදාවෙන් දින කිහිපයකට පසුය මෙම සිදුවීම සිදු වූයේ. මතුගම සිට අලුත්ගම දක්වා ධාවනය වෙමින් පැවති ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් වැලිපැන්න මුණමල්වත්ත පාලමෙන් ඇළට ඇද වැටිණි. මුණමල්වත්ත ඇළ, හිනිදුම කන්දෙන් පටන්ගෙන කළුවාමෝදරින් මුහුදට වැටෙන බස්නාහිර හා දකුණු පළාත් මායිම් කොට ගලා බස්නා බෙන්තර ග‍ඟේ අතු ගංගාවකි. මේ ඇළ, කිඹුලන් පිළිබඳ චිරප්‍රසිද්ධය. කදුරු ගෙඩියක් වැටුණු කල එය ඩැහැගැනීමට පොර කෑමට තරම් කිඹුලන් එහි සිටි බව ජනප්‍රවාදයේ සඳහන් වේ. ලංගම බස් රථය මුණමල්වත්ත ඇළට ඇද වැටීමෙන් දොළොස් දෙනකු පමණ ජල රකුසා එදා බිලිගත්තේය. කෙසේ වෙතත් බස් රථයේ ගමන් ගත් පිරිසක් තවදුරටත් ජීවිත බේරා ගැනීමට තරම් වාසනාවන්ත විය. තම ජීවිත අවදානම ද නොතකමින් ඇළේ ගිලීමෙන් සිටි පිරිස බේරා ගැනීමට පළමුව ඉදිරිපත් වූ දෙතුන් දෙනා අතර පාලිත තෙවරප්පෙරුම ද විය. නාවික හමුදා කිමිදුම්කරුවන් පැමිණීමට පෙර සිටම පාලිත ඇතුළු පිරිස කටයුතු කළ ආකාරය ගැන අදටත් ඇතැම්හු කෘතවේදීව සිහිපත් කරති.‘ චාමර එසේ ලියා තිබිණි.

තෙවරප්පෙරුම සමග පසුගිය වසරේ දී චමුදිත සමරවික්‍රම කළ සම්මුඛ සාකච්ඡාවකදී චමුදිත ඔහුගෙන් ප්‍රශ්නයක් ඇසීය. ඒ මන්ත්‍රීවරයකු ලෙස සිට දැන් තුන්වේල හරියට කන්න නැතිව රස්සාවක් සඳහා විදෙස් ගතවීමට සැරසීම ගැනයි. ඊට තෙවරප්පෙරුම හොඳ පිළිතුරක් ලබා දුන්නේය. යම් පුද්ගලයකු පුරවැසි ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ පසු ඔහු ඊට අදාල කටයුතු කර පාර්ලිමේන්තුවෙන් නික්ම ගිය පසු නැවත සුපුරුදු ජීවිතයට යා යුතුය. සුපුරුදු රස්සාවල්වලට යායුතුය. එසේ නැතිව පාර්ලිමේන්තුවට යද්දී නොතිබුණු වාහනවලින් පාර්ලිමේන්තුවෙන් ඉවත්වෙද්දී යනවා නම්, පාර්ලිමේන්තුවෙන් ඉවත් වුවද රැකියාවක් නොකර කෝටි ගණන් වටිනා නිවාසවල වෙසෙනවා නම් එයින් පෙන්නුම් කරන්නේ දේශපාලනයෙන් හම්බ කල ආකාරය මිස අන් දෙයක් නොවේ. එසේ බැලු විට තෙවරප්පෙරුම ව්‍යවස්ථාදායකය තුල තම කාර්ය හරි හැටි ඉටු නොකළා වුවත් දේශපාලකයකු ලෙස පුරවැසියන්ගේ බලාපොරොත්තු ඉටු කර ඇති මන්ත්‍රීවරයෙකි.

එහෙත් මේ කිසිවකින් ඔහු නීතියට පිටින් කළ ඇතැම් ‘චණ්ඩිකම්‘ අනුමත නොකෙරේ.

  • තරිඳු ජයවර්ධන

Related articles

ඉන්දියාවෙන් පාඩමක්

ටාටා ස්ටීල් චෙස් තරගාවලිය අවසන් වුණා. ටාටා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් ඉන්දියාවේ පැවැති එම තරගාවලියට ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් සහභාගී...

පාර්ලිමේන්තු ඉතිහාසයට නව පිටුවක් – කාන්තාවන් 22ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස දිවුරුම් දෙති !

හෙට (21) ආරම්භ වන දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩි ම මන්ත්‍රීවරියන් පිරිසක් දිවුරුම් දීමට නියමිත...

ජුලම්පිටියෙ අමරෙගේ මරණ දඬුවම අභියාචනාධිකරණයෙන් ස්ථිර කරයි – මහ මොළකරුවන් නිදොස් කොට නිදහස් ද?

2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ...

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ කළමනාකරණ කුසලතා සංවර්ධන වැඩසටහන දියත් කරයි !

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ එක් වී පිරිනමන නවතම අධ්‍යාපන වැඩසටහන වන කළමනාකරණ කුසලතා සංවර්ධන...