ඉන්දියාවේ ඡන්දය ඇරඹෙයි : ලොකු අයියා සහ පොඩි මල්ලී හවුලේ කන ඡන්ද අයිතිය !

Share post:


ඉන්දියාව සැලකෙන්නේ ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය ලෙසයි. ඒ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයේ ලෝක් සභා මැතිවරණය 2024 අප්‍රේල් 19දා (අද) ආරම්භ කිරීමට නියමිත ය. අද ආරම්භ වන මැතිවරණය අවසන් වන්නේ ලබන ජුනි 01දා ය. මැතිවරණ ප්‍රතිඵල නිකුත් කෙරෙන්නේ ජුනි 4දා ය.
ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් (ලෝක් සභාව) සහ ඉහළ මන්ත්‍රී මණ්ඩලයකින් (රාජ්‍ය සභාව) සමන්විත වේ. අද මැතිවරණය ඇරඹෙන්නේ ලෝක් සභාවේ ආසන 543ක් සඳහා නියෝජිතයන් තෝරා පත්කර ගැනීමට ය. ඉන්දියාවේ ජනගහනය මේ වන විට බිලියන 1.4කි. එරට මැතිවරණ කොමිසමේ වාර්තාවලට අනුව මැතිවරණයේදී ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටින ඡන්දදායකයන් සංඛ්‍යාව මිලියන 970කි. ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වගන්තියට අනුව සෑම වසර 5කට ම වරක් ලෝක් සභාවට මන්ත්‍රීවරුන් තෝරාගැනීම සඳහා මැතිවරණය පැවැත්විය යුතුය. ඉන්දීය මැතිවරණ කොමිසම මාර්තු 20 දිනට පෙර නිල වශයෙන් මැතිවරණය පැවැත්වෙන දින ඇතුළත් සමස්ත ක්‍රියාවලිය නිවේදනය කළේය. මැතිවරණය ආරම්භ කිරීමෙන් පසු කිසිදු හේතුවක් මත මේ කාලසටහන් සහ ප්‍රකාශයට පත්කළ ක්‍රමවේදය වෙනස් කිරීමට හැකියාවක් නැත. එය ව්‍යවස්ථාවේ සඳහන්ව ඇති නීතියකි.

ඉන්දීය දේශපාලනයේ පවතින්නේ ප්‍රධාන පක්ෂ දෙකක් සහිත බහු පක්ෂ පද්ධතියකි. අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය සහ රාහුල් ගාන්ධිගේ ඉන්දීය කොංග්‍රසය දැනට පවතින ප්‍රධාන පක්ෂ 02 වේ. 2014 වසරේ සිට මේ දක්වා භාරතීය ජනතා පක්ෂය ඉන්දියාවේ ආණ්ඩු බලය හොබවයි. මෙවර භාරතීය ජනතා පක්ෂය වටා ගොනු වූ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය දක්ෂිණාංශික කඳවුර ලෙස මැතිවරණයට ඉදිරිපත් වී සිටී. ඉන්දීය ජාතික කොංග්‍රසය වටා එකතු වූ ඉන්දීය ජාතික සංවර්ධන සන්ධානය විපක්ෂයේ වාම බලමුළුව ලෙස විචාරකයෝ හඳූන්වති.
විපක්ෂයේ සන්ධානයට එකතු වී සිටින දේශපාලන පක්ෂ සංඛ්‍යාව 24කි. ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය, බහුජන සමාජ පක්ෂය, ජාතික මහජන පක්ෂය, ආම් ආද්මි පක්ෂය ඊට ඇතුළත් වේ. ඉන්දීය ව්‍යවස්ථාවට අනුව ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභා මැතිවරණයකින් හෝ ලෝක් සභා මැතිවරණයකින් මැතිවරණ කොමිසම නියම කරන නිර්ණායක සපුරාලීමෙන් පසුව ය, ලියාපදංචිය සඳහා සුදුසු පිළිගත් දේශපාලන පක්ෂයක් පිළිගැනෙන්නේ. එරට මැතිවරණ කොමිසමේ වාර්තාවලට අනුව දැනට හඳූනාගෙන ඇති ක්‍රියාත්මක දේශපාලන පක්ෂ සංඛ්‍යාව 2,500 ඉක්මවයි

හින්දු අන්තවාදීන් සහ හින්දු ජාතිකවාදීන් ඉලක්ක කොට මෝදි විසින් සිදු කළ අයෝධ්‍යාවේ රාම් මන්දිරය ප්‍රතිසංස්කරණය කොට ජනතාවට පැවරීම මේ මැතිවරණයට අදාළ ප්‍රබල ඡන්ද තුරුම්පුවකි. භාරතීය ජනතා පක්ෂයේ ජාතික මහ ලේකම් රාම් මාධව් විසින් පසුගිය කාලයේ කරන ලද ප්‍රකාශ ආන්දෝලනයට තුඩු දුන් අතර, එක් පසෙකින් එම ප්‍රකාශ නිසා තරුණ හින්දු අන්තවාදීන් පක්ෂයට ආකර්ෂණය වුවද, හින්දු ජාතිකවාදීන් පක්ෂයෙන් දුරස්වීමක් සිදු වූ බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වියත් මග මෙන්, රාම් මාධව් යනු භාරතීය ජනතා පක්ෂයේ වියත් මග ලෙස හඳූන්වනු ලබන රාශ්ත්‍රීය ස්වායම්සේවක් සංග්හි න්‍යායාචාර්ය භූමිකාව ඉටුකරන්නා ලෙස ප්‍රකට ය. හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ 2019 ජුනි මාසයේදී සතිඅන්ත ඉංග්‍රීසි පුවත්පතක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවේ පොදුජන පෙරමුණ භාරතීය ජනතා පක්ෂයේ හැඩයට නිර්මාණය කළ යුතු බවයි.
කෙසේ වෙතත් අයෝධ්‍යාවේ රාම් මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට ඉන්දීය කොංග්‍රසයේ සහ විපක්ෂයේ නායකයන් ඇතුළු නියෝජිතයන් රැසකට ආරාධනා කර තිබුණද, ඔවුන් කිසිවකු ඒ සඳහා සහභාගි වූයේ නැත. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු නියෝජිතයන් ඉන්දියාවේ සංචාරය අවසන් කර පැමිණි පසු, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉන්දියාවට යෑම ද කතාබහට ලක්විය. නාමල් එහි ගියේ මේ රාම් මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට ලද ආරාධනාවකට අනුව ය.

මේ අතර 2023 ජනවාරි මාසයෙන් පසු ඉන්දීය රහස් ඔත්තු සේවයේ ක්‍රියාකාරකම් මෙරට වැඩිවීම සම්බන්ධයෙන් ද අන්තර්ජාතික මාධ්‍ය අවස්ථා ගණනාවකදී වාර්තා කර තිබිණි. 2022 දෙසැම්බර් මාසයේදී ඉන්දීය රහස් ඔත්තු සේවය වන රෝ (RAW) හි ප්‍රධානී සමන්ත් කුමාර් ගෝල් මෙරටට පැමිණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්ෂ මුණගැසීම ද දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්විය. සමන්ත් කුමාර් ගෝල්ගේ පැමිණීම විශේෂ වන්නේ ඔහු රෝ ප්‍රධානියා වීම නිසා පමණක් නොවේ. ඉන්දියාවේ කැබිනට් ලේකම් (පර්යේෂණ) වන්නේද ඔහු ය. රෝ ක්‍රියාත්මක වන්නේ සෘජුව ම ඉන්දීය අගමැතිවරයා යටතේ ක්‍රියාත්මක වන ඒකකයක් ලෙස ය. එය එරට පාර්ලිමේන්තුවට වගකියනු ලබන ආයතනයක් නොවේ. 2019 ජුනි මාසයේ සිට සමන්ත් කුමාර් මේ ධුරය දරයි.
මේ අතර 2019 අප්‍රේල් 21දා සිදු කළ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දීය රහස් ඔත්තු සේවයක් මගින් මෙරට රාජ්‍ය බුද්ධි සේවයට අවස්ථා 4කදී දැනුම් දී තිබිණි. මුල්වරට ඒ පිළිබඳ දැනුම් දී තිබුණේ 2019 අප්‍රේල් 04දා ය. ඉන්පසු ප්‍රහාරකයන්ගේ නම් ඇතුළු සියලු විස්තර සහිතව අප්‍රේල් 20දා ද දැනුම් දී තිබිණි. ප්‍රහාරයෙන් පසු ඇමෙරිකාවේ FBI සමග එක්ව විමර්ශන සඳහා ඉන්දීය බුද්ධි අංශ ද එක්ව තිබිණි. එහිදී හමුවූ යම් නිශ්චිත සාක්ෂියක් පිළිබඳ විමර්ශන ඉදිරියට නොයෑම සම්බන්ධයෙන් එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර ව සිටි ශානි අබේසේකර විසින් ද පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ ජනාධිපති විමර්ශන කොමිසමේ අවධානය යොමුකර තිබිණි.

මේ ආකාරයට ඉන්දියාව සහ ලංකාව භූදේශපාලනික අතින් මෙන්ම බල දේශපාලනය අතින් ද සමාන සහ සමාන්තර හැඩහුරුකම් දරයි. යටි පෙළ එක් පසෙක තිබියදී, මත්පැන් අලෙවි කිරීමේ බලපත්‍ර ලබාදීමේදී සිදුවූ දූෂණයක් සම්බන්ධයෙන් චෝදනා එල්ලකරමින් දිල්ලි ප්‍රාන්තයේ මහ ඇමැති ආම් ආද්මි පක්ෂයේ නායක අරවින්ද් කේජ්රිවාල්ට විරුද්ධව මෑතකදී පරීක්ෂණ ආරම්භ කෙරිණි. ඉන්පසු නීතිවිරෝධී ඉඩම් විකිණීමකට සම්බන්ධ බවට චෝදනා කරමින් පසුගිය පෙබරවාරි මාසයේදී ඔහු අත්අඩංගුවට ගන්නා ලදි. විපක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීන්ට එරෙහිව මෙවැනි නඩු රැසක් හදිසියේ ගොනුකිරීමට මෝදි ආණ්ඩුව කටයුතු කළේය.
ලෝක් සභා මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු ඉන්දීය මැතිවරණ කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙක් කොමිසමෙන් ඉල්ලා අස්වූහ. අගමැති මෝදි එම පුරප්පාඩු පිරවූ ආකාරය විපක්ෂයේ දැඩි විරෝධයට හේතු වී තිබේ. ඊට හේතුවී තිබෙන්නේ ව්‍යවස්ථාවට අනුව හිටපු අගවිනිසුරුවරයකු හෝ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු මේ පුරප්පාඩු සඳහා නම් කළ යුතු වුවත්, මෝදි කටයුතු කර ඇත්තේ එසේ නොවේ.

මේ අතර අද ආරම්භ කිරීමට නියමිත ඉන්දීය ලෝක් සභා මැතිවරණය හේතුවෙන් යළිත් කච්චතිවු දූපත පිළිබඳ සංවාදයක් ද මතු වී ඇත. ලංකාවේ මැතිවරණ කාලවලදී මෙන්ම හදිසියේම කච්චතිවු දූපතට අයිතිවාසිකම් කියන රජ පවුලක් දකුණු ඉන්දියාවේ සිටින බව එරට මාධ්‍ය වාර්තා කළේය. ඔවුන් දූපතේ අයිතිය ඉල්ලා නඩු දමන බව ද සඳහන් කෙරිණි. තොරතුරු දැනගැනීමේ පනත යටතේ කච්චතිවු දූපත පිළිබඳ ලබාගත් තොරතුරක් පසුගිය මාර්තු 31දා සිය එක්ස් සමාජ මාධ්‍ය ගිණුමේ පළකරමින් නරේන්ද්‍ර මෝදි සඳහන් කර තිබුණේ ‘ඉන්දිරා ගාන්ධි අපේ භූමිය අත්හරින ලද ආකාරය බලන්න’ යනුවෙනි. අගමැතිවරයාගේ සටහනට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය විදේශ කටයුතු ඇමැති එස්. ජායිශංකර් එහි ම සඳහන් කර තිබුණේ ‘අතීතයේ කළ වැඩ පිළිබඳ සම්පූර්ණ සත්‍යය ජනතාව දැනගත යුතුයි’ යනුවෙනි.
පසුගිය අප්‍රේල් 07දා බටහිර බැංගලෝරයේ පැවැති මැතිවරණ ප්‍රචාරක රැස්වීමකදී මෝදි නැවතත් ප්‍රසිද්ධියේ චෝදනා කළේ කච්චතිවු සහ කාශ්මීර් ප්‍රශ්නවලට කොංග්‍රසය සෘජුව වගකිවයුතු බවයි. ප්‍රකට දේශපාලන තීරු ලිපි රචකයකු වන සුදීන්ද්‍ර කුල්කර්නි පසුගිය සතියේ අවදාරණය කර තිබුණේ තමිල්නාඩුව තමන්ට නතුකර ගැනීමට මෝදි ඕනෑම දෙයක් කරනු ඇති බවයි. කච්චතිවු හිමිකරුවන්ගේ කතාව පැමිණියේ ද ඉන්පසුව ය.
මැතිවරණයේ මුදල් හුවමාරු සම්බන්ධයෙන් ද ඉන්දීය මැතිවරණ කොමිසම දැඩි නිරීක්ෂණයක සිටී. භාරතීය ජනතා පක්ෂයට මේ වන විට මැතිවරණ කටයුතු සඳහා ලැබී ඇති මුළු මුදල ඉන්දීය රුපියල් කෝටි 6060.5කි. සමස්ත ඉන්දීය ත්‍රිනාමූල කොංග්‍රසයට ලැබී ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 1,609කි. ඉන්දීය කොංග්‍රස් පක්ෂයට ලැබී ඇති මුදල රුපියල් කෝටි 1,214.7කි. මේ අතර කොංග්‍රස් පක්ෂය සතුව තිබූ අරමුදල්වලින් ඉන්දීය රුපියල් බිලියන 2.1ක් අඩංගු බැංකු ගිණුම් අත්හිටුවීමට ද පසුගිය පෙබරවාරි මාසයේදී කටයුතු සිදු විය. කොංග්‍රස් පක්ෂයේ භාණ්ඩාගාරික අජේ මාකන් මේ සම්බබ්ධයෙන් පවසා තිබුණේ මුද්‍රා තබන ලද ඔවුන්ගේ බැංකු ගිණුම් පසුව රාජසන්තක කළ බවයි. කොංග්‍රස් පක්ෂයේ හිටපු නායිකා සෝනියා ගාන්ධි මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා තිබුණේ මේ මූල්‍ය ප්‍රශ්න පක්ෂය අඩපණ කිරීමේ උත්සාහයේ කොටසක් බවයි.

කෙසේ වෙතත් තරු හතේ ප්‍රජාතන්ත්‍රවාදයක් පවතින බව පවසන ලංකාවේ 1981 වසරේදී ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා විසින් ජනමත විචාරණයක් පවත්වා මහ මැතිවරණය නොපවත්වා වැඩියෙන් වසර 5ක් බලයේ සිටියේය. සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිවරිය 1975 වසරේදී නියමිත පරිදි මැතිවරණය නොපවත්වා වසරක් වැඩියෙන් බලයේ සිටියේය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අධිකරණයට දැනුම්දුන්නේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මුදල් නැති බවයි.

  • ශාලික විමලසේන

Related articles

‘මේ ගසට ගල් ගසන්න’ යළි යළි කියවන්නට පොළඹවන මත දනවනා කවි එකතුවකි

මේ ගසට ගල් ගසන්න - ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න කම්කරු දිනයෙහි සන්ධ්‍යාව පසුගිය දින කිහිපයෙහි පැවති අකුණු සහ තද වැසි...

කටුනායක වීසා ප්‍රශ්නය : මාර්තු මාසයේ අපි කිව්වේ මෙහෙමයි : ඇමැති ටිරාන්ගේ වැඩක් – ඉන්දියාව සම්බන්ධ නෑලු !

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ ඊයේ (01) ඇතිවූ තත්ත්වයට සම්බන්ධ සමාගම සහ ඉන්දියාව අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව...

Astrozeneca : මූලික අයිතිවාසිකම් උල්ලංඝනය ගැන පරීක්ෂණයක් ඉල්ලා තරුණ ජනමාධ්‍යවේදීන්ගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් !

Astrozeneca එන්නත ලබාගත් පුද්ගලයන් දරුණු අතුරු ආබාධවලට මුහුණ දී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස...

ඡන්ද කරන හැටි කියලා දෙන්න අලියාට – පොහොට්ටුවට මෝදි එන්න කියයි !

මැතිවරණ කටයුතු පිළිබඳ දැනුවත් කිරීමට ඉන්දියාවට පැමිණෙන ලෙස එරට අගමැති නරේන්ද්‍ර මෝදි විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ...