Walk For Peace එකේ හැටි!

6

මේ තියෙන්නෙ සාම පා ගමනේ නිල ෆේස්බුක් පිටුවෙ පළ කළ රූප කීපයක්. මේ තියෙන්නෙ සාම පා ගමන, ලෝකයේ එක එක තැන්වල, එක එක දවස්වල තිබුණු විදිහ. මේ එකක්වත් ලංකාවේ පා ගමනේ ඡායාරූප නෙවෙයි.

අමෙරිකාවෙ ඉන්නවාය කියන මිලියන 4ක බෞද්ධයින් ඉන්නෙ වර්ග කිලෝ මීටර මිලියන 9ක භූමියේ. ලංකාවෙ ඉන්න මිලියන 15ක බෞද්ධයින් ඉන්නෙ වර්ග කිලෝ මීටර හැටපන්දාහක විසිරිලා. ඉතින් ලංකාවෙදි ‘සෘජුවම බෞද්ධාගමට සම්බන්ධ පාගමනක්‘ යද්දි, අමෙරිකාවෙ තත්ත්වය බලාපොරොත්තු උනා නම්, ඒක අත්වැරැද්දක්.

හැබැයි අමෙරිකාවෙත් මේ පාගමන, අති විශාල පිරිසක් මැද, අධික තදබදයක් මැදින් ගිහින් තියෙන බව, පාගමනේ නිල ෆේස්බුක් පිටුවෙන් පේනවා. ඒ ඡායාරූප යටින් විදේශිකයො කමෙන්ට් කරලා තියෙනවා. ඔවුන් කියන්නෙ සාමය මහා ගංඟාවක් වගේ ගලනවා කියලා.
ලංකාවෙ පාගමනටත් විදේශිකයින් කමෙන්ට් කරලා තියෙනවා. ඔවුන් කියනවා මේක කලබලයක් කියලා. මේ තැන් දෙකේදිම, පාගමන ජන ශූන්‍යව වගේම ජනාධිකව ගිහින් තියෙනවා.

ඒ අවස්ථා දෙකෙන්, අපි කැමති එක විතරක් තෝරාගෙන මේ පාගමන දිහා බලන එක ඒ තරම් හොඳ වැඩක් නෙවෙයි. අමෙරිකාවේ පාගමන බොහොම සන්සුන් බව කියන්න වගේම, ඒක ලංකාවෙ පාගමනටත් වඩා කලබලකාරී බව කියන්නත් ඕනෑ තරම් ඡායාරූප, පාගමනේ නිල ඡායාරූප අතරින් ගන්න පුලුවන්.

ලංකාව කියන්නෙ ගමේ පන්සලේ කඨිනෙටත් දෙතුන් දාහක සෙනඟ එකතු වෙන රටක්. ඒක හින්දු, ක්‍රිස්තියානි, මුස්ලිම් හැම ආගමකම වැඩවලදි අපි දකිනවා. කෝවිලේ උත්සවයට අපේ ගම්වල පාරවල් වහනවා. කඨිනෙට වහනවා. සිකුරාදට නගර පාලු වෙනවා. පල්ලියේ මංගල්ලය කාලෙට පාරවල් වහනවා. එහෙම තමයි ආගම් එක්ක මෙහේ මිනිස්සු. ගමේ වැඩකදි එහෙමනම්, ජාත්‍යන්තර වැඩකට මේ එකතු වීම පුදුමයක් නෙවෙයි.
ආගමික වැඩකට මිනිස්සු එකතු වීම සීමා කරන්නත් කාටවත් බෑ. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත අයිතියක්. සාම පාගමන ගිහින් මහන්සි උනහම ආලෝකත් මඟ නවතීවි. හාමුදුරුවන්ටත් මහන්සි උනහම එයාලත් නවතියි. නියාමනය කරන්න ඕන උනත්, සාමූහික වැඩකදි හුදෙකලාවම ඉල්ලා සිටීම ප්‍රායෝගික දෙයක් නෙවෙයි.

මේ පාගමනට කරන ලොකුම නිග්‍රහය තමයි, අපි කැමති කැමති ඡායාරූපය තෝරාගෙන, ලංකාවෙ එක හෑල්ලු කිරීම. හැම තැනම, ඒ ඒ තැනට සාපේක්ෂව මේක සාමූහික වැඩක්. ලංකාවෙ එක අපිට කොහොමත් අගයෙන් අඩුයි. ඒක අපේ හැටි.

ලංකාවෙදි මේ ගමන යන්නෙ, ශ්‍රී මහා බෝධි අංකුරයක් බටහිරට ගෙනියන්න. දින කිහිපයක සංකේත ගමනක්. ගමන අවසානයේ දේශන කීපයක්. සාම පාගමනක් කියන්නෙ, යුද්ධයක් නවත්වන්න යන එකක් ද? මට ඒ ගැන වැටහීමක් නෑ.

සාම පාගමනක් කියන්නෙ ‘බුදු තාත්තෙ බොන්න එපා‘ කියලා අමද්‍යප සංවිධානවලින් යනවා වගේම නිරර්ථක ගමනක් තමයි. පාගමනේ පණිවුඩය මිස, එවෙලේ මත්පැන් පානය කරමින් ඉන්නා අයව නවත්වන්න යන ගමනක් නෙවෙයි.

පාගමන නිසා, ‍අපේ හිතේ සාමය අහිමි කරගන්න එක අපි කරන වැරැද්දක්. සැබෑ බුදු දහම පාගමනින්වත්, ආලෝකාගෙන්වත්, පාගමන කලබලකාරී වීමෙන්වත් විනාශ වෙන්නෑ. යම් අරමුණක් වටා දස දහස් සංඛ්‍යාත සෙනඟ එකතු වෙන්න ඕනෑය කියලා විශ්වාස කරන මිනිස්සු පවා, පාගමන වටා මිනිස්සු එකතු වීම තදබල ලෙස විවේචනය කරනවා. ඒත් යුද්ධය එපා කියලා දහස් ගණන් එකතු වෙලා උද්ඝෝෂණ සංවිධානය කරනවා. මේ දෙකෙන් අපි පිළිගන්න ඕන කොයිකද?
අපි අකැමැති පමණින්, ලෝකයේ දේවල් වෙනස් වෙන්නෑ. අපි නොදන්නා පමණින් අපි දන්නා දේට වඩා දැනුමක් ලෝකයේ නැතැයි කියන්නත් බෑ. පාගමනේ සාමය නම් මේ වෙද්දි නැති බව අපිට පේනවා. මාධ්‍යය විසින් ඒක තවත් අවම කරනවා. ඒත් ලෝක සාමය කියන අවශ්‍යතාව සහ බුදුදහම බටහිරට ගෙනයාම කියන කාර්යය කියන දෙක මේකෙන් අවසන් වෙන එකක් නෑ.

මාධ්‍ය නාලිකා සහ ආණ්ඩුව නිසාත් තව අය මේකට විවේචන ගේනවා. ඒත් රටවල් කීපයක් හරහා යන ගමනක්, අපේ රටේදි අපි විසින්ම හෑල්ලු කිරීම නම් අනේ මන්දා. මගේ අදහස් පවා වැරදි ඇති. ඒත් පාගමන දිහා මම අද දවසම බලන් හිටියා. මාධ්‍යය අවුල්. කලබලය අවුල්. නිදහසක් නෑ. ඒ හැමදේම ඇත්ත. බොහොම ඉක්මනින් මේ පාගමන වෙහෙසට පත් වේවි.

ඒත් ඉතින් ලෝකෙ අනෙක් රටවල එහෙම වෙලා නෑ කියන කතාව නම්, අවස්ථාවාදී බොරුවක්. මමත් මුලින් හිතුවෙ ඒක ඇත්තක් කියලා. ඒත් පාගමනෙ නිල ෆේස්බුක් පිටුවෙ ඡායාරූප දැක්කහම පේනවා අමෙරිකාවෙ පාගමන වටේට එකතු වෙච්ච සෙනඟ, ඒ තරම් සිය ගානක බෞද්ධ ජන ඝනත්වයක් සහිත ලංකාවෙදි එකතු වෙලා නැති බව.

මේ සටහන ලිව්වෙ, මමත් මුලින් රැවටුණු බොරුවක් ගැන දිගින් දිගටම දැකපු නිසා. අපේ එක අජූතයි නෙවෙයි, මේක ලෝකෙ හැටි. ලංකාව කියන්නෙ බහුතර බෞද්ධ රටක්. මේකෙදි එකතු නොවන සෙනඟ, ලෝකෙ කොහෙවත් බෞද්ධ පාගමනකට එකතු වෙන්නෑ. අපි සාමූහිකත්වය වගේම ආගමත් ශිෂ්ටාචාරයෙන්ම අරගෙන එන රටක්. හොඳම දේ තමයි, පවතින ස්වභාවය තේරුම් ගැනීම. පමණ ඉක්මවා ලංකාවේ දෙයක් සැහැල්ලු කරද්දී දෙවරක් සිතීම.

නුවන් ඉෂාර මහගමගේ (fb)