කීර්ති වැලිසරගේගෙ අළුත්ම බර අඩිය ‘උත්පත්ති’

Share post:

ඒ උණු දූවිලි, මායා තීර්ථ, කාල සර්ප, ගරුඩ මුහුර්තය, රුදු රොන් සුනු වැනි කෘතීන් තුළින් සාහිත්‍ය ලෝකයේ බර අඩි තියා ආ කීර්ති වැලිසරගේගෙ අළුත්ම බර අඩිය. උත්පත්ති.

කීර්තිගෙ හැම පොතකම හමුවන ඔහුගේ භාෂාව මේ පොතෙත් නොඅඩුව මුණගැහෙනවා. ඔහු චරිත සංයමයෙන් ගොඩනංවන්නෙත්, සිද්ධි ඉවසිලිවන්තව විස්තර කරන්නෙත් ඔහුට ආවේණික ඒ සුමට නමුත් විදග්ධ භාෂාවේ ආධාරයෙන්. පළමුවැනි පිටුවේදීම මුණගැහෙන ඒ භාෂාව පොත අත නොහැර කියවන්න රුකුලක් වෙනවා.

කතාව පටන් ගන්නෙ අවුරුදු හැටකට එපිටින්. 1963 මැයි මාසයෙන්. කතාව ගලාගෙන යද්දි, තවමත් වැඩවසම් ලක්ෂණ නොබිඳි අවුරුදු හැටකට එපිට යුගයේ පැවති සමාජ ආර්ථික වටපිටාව කතුවරයා අතින් යටිපෙළක් ලෙසින් විස්තර වෙනවා. පාඨකයාට හිරිහැරයක් නොවී.

ඉඩම් හිමි ප්‍රභූ තරුණයෙකු අතින් අගතියට පත්වන යුවතියක පාඨකයාට පොතේ මුණගැහෙනවා. එය අපේ සාහිත්‍ය කෘතිවල දුලබ දෙයක් නෙවෙයි. නමුත් මේ කෘතියේදි ඒ චරිත එතැන් සිට හැසිරෙන ආකාරය වැලිසරගේ සුවිශේෂ කතා ගොතන්නකු බවට පත් කරනවා.

ඇතැම් චිත්‍රපට වලදි ඉතා කුඩා චරිත සඳහා ඒ චරිතයන්ට ගැලපෙන නළුවන්/නිළියන් යොදා ඒ චරිතයන් අපේ හිතේ සදහට ජීවමාන කරවන්නාසේ මේ පොතේ පිටු තුන හතරකට හෝ පිටු හත අටකට සීමා වෙන කුඩා චරිත පවා කතුවරයා මැනැවින් අකුරු ගන්වා තිබූ බැවින් පාඨකයාගේ හිතේ රැඳෙනවා.
පොත අවුරුදු තිහකට කිට්ටු කාලයක් පුරා දිවෙන පරම්පරා දෙකක කතාවක්. පරම්පරා කතාවක් ලියන එක ලේඛකයකුට කිසියම් අභියෝගයක්. මොකද පලවෙනි පරම්පරාවෙ කතාව කියලා, ඊළඟට ඒ චරිත පිටිපස්සෙ ආසනයට දාලා, පොඩියට හිටපු උන්ව එක පාරටම ලොකු කරලා, උන්ගෙ කතාව කියන්න වෙන නිසා. පාඨකයා තාමත් හිතින් ඉන්නෙ කලින් පරම්පරාවෙ චරිත එක්ක නම් වැඩේ අමාරුයි. දෙවෙනි පරම්පරාවෙ කතාව මුල් කතාව විතර පාඨකයාට ඇල්ලුවෙ නැති නම් කතෘගෙ ව්‍යායාමය අසාර්ථකයි. කීර්ති මේ භාරධූර රාජකාරියෙ අවදානමට මූණ දෙනවා ඔහුගේ භාෂාව පහුරක් කරගෙන.
තමන්ගේ ළබැඳියෙකුට සමාව දෙන්නට හිත හදා ගන්නට නොහැකිවීම ජීවිත කාලයක් පුරා තමන්ටම ආරෝපණය කරගන්නා දඬුවමක් නොවන්නේද? තමන්ටම සමාව දීගන්නට නොහැකිව පශ්චත්තාපයේ ගිලී යාම ඊටත් එහා ගිය ව්‍යාධියක් නොවන්නේද? ඒවා තමයි පොත කියවද්දි පපුවට දැනුනු කාරණා.
පොත කියවා අවසන් කල මොහොතේ හිතුනේ කීර්ති වැලිසරගේ නම් සාහිත්‍යධරයාට අප, එනම් ඔහුගේ පාඨක ප්‍රජාව, සලකනවා මදි නේද කියලයි.

සුසන්ත ආරියරත්න

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...