යෝජිත ත්‍රස්ත විරෝධී පනතෙන් අධිකරණය සතු බලතල නීතිපතිවරයාට පවරා ඇති බවත්, එය ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවත් එම පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් නීතිඥ නුවන් බෝපගේ පැවසීය.
නීතිඥ බෝපගේ ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව පෙත්සම ඉදිරිපත් කර තිබුණේ, කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව වෙනුවෙනි.
මෙහි එන්නේ නීතිඥ නුවන් බෝපගේ ඉංග්‍රීසි භාෂාවෙන් සිදු කළ කරුණු ඉදිරිපත් කිරීමෙහි, සිංහල සංක්ෂිප්තයකි.
‘මා පෙනී සිටින්නේ, දේශපාලන පක්ෂයක ක්‍රියාකාරිකයෙකු සහ වෘත්තිය සමිති නායකයෙකු වෙනුවෙන්.
ත්‍රස්තවාදය පිළිබද අදහස මුලින්ම ප්‍රංශ විප්ලවයේදී විප්ලවයට එරෙහිව දේශපාලනිකව පාවිච්චි කළා. පලස්තීන අර්බුදයේදී පලස්තීනයට එරෙහිව එම තර්කය පාවිච්චි කළා. ජනතාවගේ නැගිටීම්වලට ත්‍රස්තවාදය පාවිච්චි කරන අවස්ථාවලදී, පීඩිතයන්ගේ කෝණයෙන් බැලූ කළ එය ත්‍රස්තවාදයක් ලෙස සලකන්නේ නෑ.
යම් නීතියක් අපැහැදිලි, විෂය පථය ඉක්මවන, අවිෂද (පුරවැසියාට නීතියෙන් ස්ථාපිත වන වරද හරිහැටි අවබෝධ නොවන) එකක් වන්‍නේ නම්, එහි වාසිය ඇත්තේ වරදකරුවන්ට පමණයි. (ත්‍රස්ත විරෝධී පනතක් අපැහැදිලි නම් එහි වාසිය ත්‍රස්තවාදීන්ටමයි. -සංස්කාරක)
පෝට් සිටි පනත පිළිබද සහ 20 වැනි සංශෝධනය පිළිබද ලබා දී ඇති ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවල සදහන් වුණා, නීතියක් අපැහැදිලි, නිශ්චිත නොවන විටදී එය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන බව.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වැනි ව්‍යවස්ථාව වන්නේ ‘නීතිය පසිදලීම සහ ක්‍රියාත්මක කිරීම ද, නීතියේ රැකවරණය ද, සර්ව සාධාරණ විය යුත්තේය.‘ යනුවෙන්.
මෙම පනත් කෙටුම්පතෙන් විධායකයට පුද්ගලයන් සිරභාරයට ගැනීමට ඉඩ සලසනවා. යම් කෙනෙකු ත්‍රස්ත ක්‍රියාවක් කරනවායැයි සිතුණොත්.
පනතේ 3.1 (ආ) වගන්තිය වන්නේ ‘යම් ක්‍රියාවක් සිදු කිරීමට හෝ සිදු කිරීමෙන් වැළකී සිටීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව හෝ වෙනත් යම් ආණ්ඩුවක් හෝ ජාත්‍යන්තර සංවිධානයක් සාවද්‍ය ලෙස හෝ නීති විරෝධී ලෙස පෙළඹවීමේ අරමුණින් යුතුව‘ සිදු කරන ක්‍රියාවක් හෝ නොකර හැරීමක් පිළිබද.
ඒ අකුන ආණ්ඩුවට පමණක් නෙවෙයි, වෙනත් ආණ්ඩුවකට හෝ ජාත්‍යන්තර සංවිධානයකට පවා යම් කිසි දෙයක් කරන්නට බලපෑම් කිරීම ත්‍රස්තවාදය වෙනවා.
වෘත්තිය සමිතිවලට සහ පොදුජනතාවට විරෝධය පෑමේ අයිතියක් තිබෙනවා. ඒ වගේම ඉන්දියාව කච්චතිව් දූපත අල්ලාගන්නට හැදුවොත්, එයට එරෙහිව ඉන්දියාවේ ප්‍රතිපත්තිවලට විරෝධය දැක්වීමේ අයිතියක් තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විවිධාකාර බදු ප්‍රතිපත්ති ආදිය ක්‍රියාත්මක කරවන විට, ඒ ප්‍රතිපත්තිවලට එරෙහිව විරෝධය පෑමේ අයිතියක් තිබෙනවා.
ජනතාවට ඒ ඒ තීන්දුවලට එරෙහිව විරෝධය දැක්විය හැකියි.
සෑම විරෝධයක්ම සාමකාමීව අවසන් වන්නේ නැහැ. රජයට වුණත්, විරෝධතා කඩාකප්පල් කිරීමේ අරමුණෙන් කෙනෙක්ව යෙදවීමේ හැකියාව තිබෙනවා. එහෙත් එය ත්‍රස්තවාදය විය හැකිද?
විරෝධයකදී යම් දේපළක් බිදුණොත් රජයට පුළුවන් ත්‍රස්ත ක්‍රියාවක් ලෙස ඒක නම් කරන්න. පනතේ මෙවැනි අපැහැදිලිතාව විසින් ඉතා බරපතල ප්‍රතිඵල ඇති කිරීමට ඉඩ තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි ව්‍යවස්ථාව – ‘ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය. පරමාධිපත්‍යය අත්හළ නොහැක්කෙක්ය. පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලයද ඇතුළත් වන්නේ ය.‘
මෙම බලය අවභාවිත කිරීමේ අවදානමක් පවතිනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වැනි සංශෝධය පිළිබද ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව බලය අවභාවිත කිරීමට යම් වරදක් කරන්නට ඉඩ තිබෙනවාදැයි සැකය පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. එහෙත්, එයින් පසුව ලබා දුන් සුභසාධක ප්‍රතිලාභ පනත් කෙටුම්පත පිළිබද නඩු තීන්දුවේ සදහන් වෙනවා ‘යම් නීතියක් හදුන්වාදුන් පසු, කුමක් සිදුවේදැයි අනුමානයන් ඉදිරිපත් කිරීම අධිකරණයේ විෂය පථයට අයත් නොවන නමුත්, අධිකරණය යම් පනත් කෙටුම්පතක් තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමෙන් වැළැක්වීම සදහා ‘ප්‍රමාණවත් ආරක්ෂණයන්‘ තිබේදැයි සලකා බැලිය යුතු බව. වෙනස්කම් කිරීම වැළැක්වීම සහ තීරණ ගැනීමේ ක්‍රියාවලියේ අත්තනෝමතික බව වැළැක්වීම සදහා ආරක්ෂණ ප්‍රතිපාදන තිබේදැයි සලකා බැලිය යුතු බව.‘
මීට පෙර ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත අවුරුදු 40ක් තිස්සේ පවතිනවා. ඒ අනුව අවභාවිතයන් පිළිබද උදාහරණ තිබෙනවා. ත්‍රස්ත විරෝධී පනත අහෝසි කරන ලෙස මේ වන විට පොදු විරෝධයක් පවතිනවා.
ප්‍රමාණවත් ආරක්ෂණයන් නොමැති තැන බලය අවභාවිත කිරීම් සිදු වෙවන්න පුළුවන්. මේ පනතේ ත්‍රස්තවාදියා පිළිබද අර්ථකතනය වටා තමයි සියල්ල තියෙන්නේ. මෙම පනත අවභාවිතය වැළැක්වීම සදහා කිසිම ආරක්ෂණ විධිවධානයක් නැහැ.
රදවා තබාගැනීම් නියෝගයක් නිකුත් කළාට පසුව තමයි මානව හිමිකම් කොමිසමට ආදී මැදිහත්වීම් ගැන ප්‍රතිපාදන සදහන් වන්නේ. එහෙත්, පනතේ ත්‍රස්තවාදය පිළිබද නිර්වචනය අපැහැදිලි නිසා, ආරක්ෂාව පිළිබද ප්‍රමාණවත් සහතිකයක් ලැබෙන්නේ නැහැ.
පනතේ 10 වැනි වගන්තියේ ‘ත්‍රස්තවාදය දිරිගැන්වීම‘ වරදක් ලෙස සදහන් වෙනවා. – ‘ජනතාවගේ ඇතැමෙක් විසින් හෝ සියලුම ජනතාව විසින් හෝ ත්‍රස්තවාදය පිළිබද වරද සිදු කිරීමට, ඒ සදහා සූදානම් වීමට ඔවුන් ඍජුව හෝ වක්‍රව දිරිගන්වන්නක් හෝ පොළඹවන්නක් ලෙස තේරුම් ගැනීමට ඉඩ ඇති යම් ප්‍රකාශයක් පළ කරන්නා වූ හෝ පළ කිරීමට කටයුතු සලස්වන්නා වූ හෝ එවැනි වචනයක් හෝ වචන කතා කරන්නා වූ හෝ සංඥා හෝ දෘෂ්‍ය නිරූපණය සිදු කරන්නා වූ සහ,
එමගින් ත්‍රස්තවාදය පිළිබද වරද සිදු කිරීමට, ඊට සූදානම් වීමට හෝ පෙළඹවීමට ජනතාව ඍජුව හෝ වක්‍රව දිරිගැන්වීමට හෝ පෙළඹවීමට අරමුණු කරන්නා වූ හෝ
ඒ ප්‍රකාශයෙන් ජනතාව ත්‍රස්තවාදය පිළිබද වරද සිදු කිරීමට, ඊට සූදානම් වීමට හෝ පෙළඹවීමට ඍජුව හෝ වක්‍රව දිරිගැන්වෙන්නේද නැතහොතත් පෙළඹවෙන්නේ ද යන්න පිළිබද අනවධානීව සිටින්නා වූ,
තැනැත්තෙකු මේ පනත යටතේ වරදක් සිදු කරනු ලබන්නේය.‘
ත්‍රස්ත ක්‍රියා පමණක් නෙවෙයි, මේ පනතෙහි නිර්වචනය වන ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීම පවා වැරදි ලෙස සදහන් කරනවා.
මුද්‍රිත, අන්තර්ජාල, ඉලෙක්ට්‍රොනික සහ අනෙකුත් මාධ්‍ය ඉලක්ක කරනවා.
මම පෙනී සිටින්නේ දේශපාලන පක්ෂයක නියෝජිතයෙකු වෙනුවෙන්. ඔහු වෘත්තිය සමිති ක්‍රියාකාරකම්වල යෙදෙනවා. ඔවුන් වෘත්තිය සමිති ක්‍රියාකාරකමක් සංවිධානය කළාට පසු, ෆේස්බුක් සහ වෙනත් මාධ්‍යවලින් ඒ විරෝධයට එන්න කියා ප්‍රවර්ධනය කරන්න පුළුවන්. පුද්ගලයන් ඒ පණිවිඩය හුවමාරු කරන්න පුළුවන්.
රජයේ ඕනෑම ක්‍රියාවක් ගැන විරෝධයක් සංවිධානය කළොත්, ඒ ගැන කතා කරන්න පුළුවන්. විධායකයට එම සිදුවීම අවභාවිත කළ හැකියි. එවැනි විරෝධයකදී යම් සිදුවීමක් සිදු වුණොත්, විරෝධය පිළිබද තොරතුරු හුවමාරු කළ අය ‘ත්‍රස්ත චෝදනා‘ ලැබිය හැකියි.
70 වැනි වගන්තිය අධිචෝදනා කිරීම අත්හිටුවීම සහ කල්තැබීම පිළිබද බලතල නීතිපතිවරයාට ලබා දෙනවා. – ‘නීතිපතිවරයා විසින්… මෙම පනත යටතේ වරදක් සිදු කර ඇතැයි කියනු ලබන යම් තැනැත්තකුට එරෙහිව අපරාධ නඩු පැවරීම වසර විස්සක් නොඉක්මවන කාල සීමාවක් සදහා අත්හිටුවීම සහ කල් තැබීම කරනු ලැබිය හැකිය.‘
72 වගන්තිය යටතේ නඩු විභාගය අවසන් වනතෙක් රදවා තැබීම සදහා බලතල නීතිපතිවරයාට දෙනවා. ‘ජාතික ආරක්ෂාව සහ මහජන සාමය සැලකිල්ලට ගනිමින් මහාධිකරණය නිශ්චය කරනු ලැබිය හැකි යම් කොන්දේසිවලට යටයත්ව යම් බලධරයෙකුගේ භාරයේ, යම් ස්ථානයක ඒ තැනැත්තා තැබීමට නියම කරනු ලැබිය හැකිය.‘
පළාත් පාලන පනත් කෙටුම්පත සහ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව යම් ආයතනයක ස්වෛරීත්ව බලය තවත් කොටසකට අන්සතු කළ නොහැකියි.
මෙම පනත අනුව නීතිපතිවරයා අපරාධ නඩු පැවරීම වසර 20ක් දක්වා කල් දැමීමට බලය ලබා ගන්නවා. දඩුවම් කිරීමේ හෝ නොකිරීමේ බලය අධිකරණය සතු ස්වෛරීත්ව බලයක්. යම් විදියකට සැකකරුවෙකුට හැකියාව තිබෙනවා වරද පිළිගැනීමට හෝ සමාව ගැනීම ආදී ක්‍රියාවන්ට. එහෙත් එය සිදු කළ යුත්තේ අධිකරණය ඉදිරියේ, අධිකරණය හමුවේ. එයට නීතිපතිවරයා මැදිහත් විය නොහැකියි.
අපි දන්නවා ප්‍රායෝගිකව මෙය සිදු වන ආකාරය. පුද්ගලයෙකුට රැදවුම් නියෝග දීලා, දීර්ඝ කාලයක් රදවාගෙන ඉදලා වෙහෙසට පත් කළාට පසු එම පුද්ගලයා සමග නීතිපති දෙපාර්තමේන්තුවට හෙට්ටු කිරීමේ හැකියාවක් ලැබෙනවා. නීතිපතිවරයා චෝදනා තිබේ නම් නඩු පැවරිය යුතුයි, චෝදනා නොමැති නම් නිදහස් කළ යුතුයි. මහේස්ත්‍රාත්වරයාට, මහාධිකරණයට තිබෙන බලයක් මේ. ඇප ලබා දීමේදී කොන්දේසි පැනවීම ආදිය කළ හැක්කේ අධිකරණයට.
මෙය විධායකයේ එක් අවයවයක බලය තවත් අවයවයකට පැවරීමක්. මෙය අධිකරණය එක් අතකින් බලය ලබා දී, තව අතකින් යළි පවරාගැනීමක්.
මෙම කරුණු නිසා මෙම පනත මූලික අයිතිවාසිකම් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි පරිච්ඡේදය උල්ලංඝනය කරන බවත්, ඒ අනුව තුනෙන් දෙකක බහුතරයකින් සහ ජනමත විචාරණයකින් මෙම පනත සම්මත කළ යුතු බවත් යෝජනා කරනවා.’
- මූලාශ්‍රය : www.whatnews.lk