සුසුම් රස්තියාදුව

Share post:

මා රූපවාහිනිය නැරඹීම අතහැර දමා දැන් සෑහෙන කාලයකි. මුලින් ම මා අතහැර දැමුවේ රූපවාහිනියේ ටෙලි නාට්‍ය නැරඹීම ය. ඒ අවරගණයේ ඉන්දියානු මෙගා ටෙලි නාට්‍ය හා ඒවා අනුකරණය කරමින් නිපදවූ හරසුන් සිංහල මෙගා ටෙලි නාට්‍ය විසින් රූපවාහිනිය ආක්‍රමණය කරන ලද නිසා ය. පසුව රූපවාහිනියෙන් ප්‍රවෘත්ති නැරඹීම ද අතහැර දැමුවෙමි. ඒ ප්‍රවෘත්ති විකාශය ද යට කී මෙගා ටෙලි නාට්‍යයවල තත්ත්වයට ම පිරිහුණු නිසා ය.
පසුව මා රූපවාහිනියේ කලාතුරකින් හෝ විකාශනය වූ හොඳ ටෙලි නාට්‍යයක් නැරඹුවේ යූ ටියුබ් මාධ්‍ය හරහා ය. මා මුලින්ම යූ ටියුබය හරහා නැරඹූ ටෙලි නාට්‍යය ලක්මාල් ධර්මරත්නගේ “කූඹියෝ” ය. ඉන් පසුව ජයන්ත චන්ද්‍රසිරිගේ “නන්නත්තාර”, ජගත් මනුවර්ණගේ “කොඩි ගහ යට”, ප්‍රසන්න ජයගොඩිගේ “එයා දැන් බැඳලා” ආදී ටෙලි නාට්‍යය යූ ටියුබය හරහා නැරඹුවෙමි. මේ දිනවල මම “සුසුම් රස්තියාදුව” නම් ටෙලි නාට්‍යයක් යූ ටියුබය හරහා නරඹමි. එය ස්වර්ණවාහිනී නාලිකාවේ තවමත් විකාශනය වන ටෙලියකි. සුසුම් රස්තියාදුව, ප්‍රියන්ත ප්‍රනාන්දු නම් අධ්‍යක්ෂවරයෙකුගේ නිර්මාණයක් බව ටෙලි නාට්‍යයේ නාමාවලියේ සඳහන් වෙයි.

සුසුම් රස්තියාදුව ටෙලි නාට්‍යයට මා ආකර්ෂණය වීමට ප්‍රධානතම හේතුව වූයේ එහි ‘භාතිය’ නම් චරිතය නිරූපණය කරන විශ්වජිත් ගුණසේකර නම් නළුවා ය. විශ්වජිත් ගුණසේකර මට ඉංගිරිසි භාෂාව ඉගැන්වූ ගුරුවරයෙකි. ඒ මීට දශක එකහමාරකට පමණ පෙර ය. මා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ආධුනික නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ (ස්ලීඩා) පුහුණුව ලබන අවධියේ ඔහු අපට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වී ය. එකල ද ඔහු, ඉංග්‍රීසි මාධ්‍යයෙන් නිර්මාණය වූ ශේක්ස්පියර් නාට්‍යවල රඟපෑ බව අපි දැන සිටියෙමු. නමුත් ඔහු දක්ෂ නළුවෙක් වුවත් සාමාන්‍ය ප්‍රේක්ෂකයා අතර එතරම් ප්‍රකට නො වී ය.

විශ්වජිත් ගුණසේකර අවරගණයේ නිර්මාණයකට දායක නොවන්නේ යැයි මා තුළ තිබූ පූර්ව නිගමනය, මා සුසුම් රස්තියාදුව ටෙලිය නැරඹීමට පෙළඹී ය. ටෙලි නාට්‍ය නරඹන විට මගේ ඒ පූර්ව නිගමනය වැරදී නැති බව මට දැනෙන්නට විය. මෙම ටෙලිය වත්මත් සමාජය තුළ ඇති මානව සබඳතා පිළිබඳ ගැඹුරු විවරණයක් රැගෙන එන නිර්මාණය කි. ප්‍රේමය, විවාහය, අඹුසැමි සබඳතාවය ආදී කරුණු පිළිබඳව මිනිසා තුළ ඇති ගූඩ හැගීම් දෙස මෙම නිර්මාණය ප්‍රබල ආලෝක ධාරාවක් එල්ල කරයි. වෙළඳපොළ අර්ථ ක්‍රමය තුළ මානව සම්බන්ධතාවල වටිනාකම ද පාරිභෝගික අවශ්‍යතා මත තීන්දුවන ආකාරය ( commodification of human relationships) මෙම නිර්මාණය අපට නිරාවරණය කර පෙන්වයි.

කෙසේ වූවද සුසුම් රස්තියාදුව පිළිබඳ නිගමනයකට එළඹීමට තවමත් වේලාසන වැඩි ය. ඒ මෙම ටෙලිය තවමත් විකාශනය වී අවසන් නොමැති බැවිනි. මෙය දැන් ඉහළ ප්‍රේක්ෂක අවධානයක් දිනාගෙන ඇත. එනිසා ඉල්ලුමට අනුව සැපයීමට ගොස් මෙම ටෙලිය අනවශ්‍ය ලෙස දිගැස්සෙන්නේ ද යැයි මට වරෙක සිතේ. එසේ වුවහොත් එය හොඳ ආරම්භයක් ලබාගත් මෙම ටෙලි නාට්‍යයට සිදුවන බලවත් අභාග්‍යයකි; අසාධාරණයකි. ධනවාදී වෙළඳපොළ අර්ථ ක්‍රමය තුළ පාරිභෝජනීකරණයට (commodification) ලක් වන්නේ මානව සබඳතා පමණක් ම නොවේ. කලා නිර්මාණ ද එසේ විය හැකි ය. ඒ කෙසේ වෙතත් සුසුම් රස්තියාදුවට එවන් ව්‍යසනයක් නො වේවායි මම ප්‍රාර්ථනා කරමි.

රවි කළුපහණ (fb)

(ලිපිය සංවාදයට විවෘතයි. සුසුම් රස්තියාදුව පිළිබඳ ඔබේ අදහස් ද දැනගනු රිසියෙමි. මගේ ලිවීමේ ගාස්තුව ඔබේ අදහස් ය. )

Related articles

සිහි විකල් කරවන යථාර්ථයක විකාරරූපී ප්‍රතිබිම්බය: බන්දුජීවගේ ‘ධූමලාවණ්‍යාගාරය’

සිය දෙවන කාව්‍ය සංග්‍රහයෙන් වසර දහයකට පසුව, රුවන් බන්දුජීව සිය තෙවන කෘතිය වන 'ධූමලාවණ්‍යාගාරය' රචනා කරන්නේ, පෙර කෘතියට...

මව්බිම මාධ්‍යවේදීන් වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කම්කරු කොමසාරිස්ට ලියයි !

දිනපතා පුවත්පත් කිහිපයක මුද්‍රණය අත්හිටුවීම හේතුවෙන් මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතතාවයට එල්ල වී ඇති සෘණාත්මක බලපෑම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ...

සංරක්ෂණයේ පදනම බිඳ දමා ‘වනජීවී දිනය’ සමරා ඵලක් වේද?

පාරිසරික යුක්තිය සහ සාධාරණත්වය, පරිසරය සහ සංවර්ධනය අතර සමබරතාව, තිරසාර සම්පත් භාවිතය සහ පූර්වාරක්ෂක ක්‍රමවේද ආදී දහසක්වචන අවභාවිතා...

තරිඳුගේ පෙත්සම : වාචික පැමිණිල්ලක් කළ නිසා කාලාවරෝධයෙන් සහනයක් ඕනෑ – පැමිණිලිකරු : කොමිසමේ ස්වයංක්‍රීය පරීක්ෂණයක සහනය පෙත්සම්කරුට නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

මානව හිමිකම් කොමිසම මගින් ආරම්භ කරන ලද පරීක්ෂණයක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීම සඳහා ලැබෙන සහනය ලබාදීමට අදාළ නොවන බව...