සුසුම් රස්තියාදුව

Share post:

මා රූපවාහිනිය නැරඹීම අතහැර දමා දැන් සෑහෙන කාලයකි. මුලින් ම මා අතහැර දැමුවේ රූපවාහිනියේ ටෙලි නාට්‍ය නැරඹීම ය. ඒ අවරගණයේ ඉන්දියානු මෙගා ටෙලි නාට්‍ය හා ඒවා අනුකරණය කරමින් නිපදවූ හරසුන් සිංහල මෙගා ටෙලි නාට්‍ය විසින් රූපවාහිනිය ආක්‍රමණය කරන ලද නිසා ය. පසුව රූපවාහිනියෙන් ප්‍රවෘත්ති නැරඹීම ද අතහැර දැමුවෙමි. ඒ ප්‍රවෘත්ති විකාශය ද යට කී මෙගා ටෙලි නාට්‍යයවල තත්ත්වයට ම පිරිහුණු නිසා ය.
පසුව මා රූපවාහිනියේ කලාතුරකින් හෝ විකාශනය වූ හොඳ ටෙලි නාට්‍යයක් නැරඹුවේ යූ ටියුබ් මාධ්‍ය හරහා ය. මා මුලින්ම යූ ටියුබය හරහා නැරඹූ ටෙලි නාට්‍යය ලක්මාල් ධර්මරත්නගේ “කූඹියෝ” ය. ඉන් පසුව ජයන්ත චන්ද්‍රසිරිගේ “නන්නත්තාර”, ජගත් මනුවර්ණගේ “කොඩි ගහ යට”, ප්‍රසන්න ජයගොඩිගේ “එයා දැන් බැඳලා” ආදී ටෙලි නාට්‍යය යූ ටියුබය හරහා නැරඹුවෙමි. මේ දිනවල මම “සුසුම් රස්තියාදුව” නම් ටෙලි නාට්‍යයක් යූ ටියුබය හරහා නරඹමි. එය ස්වර්ණවාහිනී නාලිකාවේ තවමත් විකාශනය වන ටෙලියකි. සුසුම් රස්තියාදුව, ප්‍රියන්ත ප්‍රනාන්දු නම් අධ්‍යක්ෂවරයෙකුගේ නිර්මාණයක් බව ටෙලි නාට්‍යයේ නාමාවලියේ සඳහන් වෙයි.

සුසුම් රස්තියාදුව ටෙලි නාට්‍යයට මා ආකර්ෂණය වීමට ප්‍රධානතම හේතුව වූයේ එහි ‘භාතිය’ නම් චරිතය නිරූපණය කරන විශ්වජිත් ගුණසේකර නම් නළුවා ය. විශ්වජිත් ගුණසේකර මට ඉංගිරිසි භාෂාව ඉගැන්වූ ගුරුවරයෙකි. ඒ මීට දශක එකහමාරකට පමණ පෙර ය. මා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ආධුනික නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ (ස්ලීඩා) පුහුණුව ලබන අවධියේ ඔහු අපට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වී ය. එකල ද ඔහු, ඉංග්‍රීසි මාධ්‍යයෙන් නිර්මාණය වූ ශේක්ස්පියර් නාට්‍යවල රඟපෑ බව අපි දැන සිටියෙමු. නමුත් ඔහු දක්ෂ නළුවෙක් වුවත් සාමාන්‍ය ප්‍රේක්ෂකයා අතර එතරම් ප්‍රකට නො වී ය.

විශ්වජිත් ගුණසේකර අවරගණයේ නිර්මාණයකට දායක නොවන්නේ යැයි මා තුළ තිබූ පූර්ව නිගමනය, මා සුසුම් රස්තියාදුව ටෙලිය නැරඹීමට පෙළඹී ය. ටෙලි නාට්‍ය නරඹන විට මගේ ඒ පූර්ව නිගමනය වැරදී නැති බව මට දැනෙන්නට විය. මෙම ටෙලිය වත්මත් සමාජය තුළ ඇති මානව සබඳතා පිළිබඳ ගැඹුරු විවරණයක් රැගෙන එන නිර්මාණය කි. ප්‍රේමය, විවාහය, අඹුසැමි සබඳතාවය ආදී කරුණු පිළිබඳව මිනිසා තුළ ඇති ගූඩ හැගීම් දෙස මෙම නිර්මාණය ප්‍රබල ආලෝක ධාරාවක් එල්ල කරයි. වෙළඳපොළ අර්ථ ක්‍රමය තුළ මානව සම්බන්ධතාවල වටිනාකම ද පාරිභෝගික අවශ්‍යතා මත තීන්දුවන ආකාරය ( commodification of human relationships) මෙම නිර්මාණය අපට නිරාවරණය කර පෙන්වයි.

කෙසේ වූවද සුසුම් රස්තියාදුව පිළිබඳ නිගමනයකට එළඹීමට තවමත් වේලාසන වැඩි ය. ඒ මෙම ටෙලිය තවමත් විකාශනය වී අවසන් නොමැති බැවිනි. මෙය දැන් ඉහළ ප්‍රේක්ෂක අවධානයක් දිනාගෙන ඇත. එනිසා ඉල්ලුමට අනුව සැපයීමට ගොස් මෙම ටෙලිය අනවශ්‍ය ලෙස දිගැස්සෙන්නේ ද යැයි මට වරෙක සිතේ. එසේ වුවහොත් එය හොඳ ආරම්භයක් ලබාගත් මෙම ටෙලි නාට්‍යයට සිදුවන බලවත් අභාග්‍යයකි; අසාධාරණයකි. ධනවාදී වෙළඳපොළ අර්ථ ක්‍රමය තුළ පාරිභෝජනීකරණයට (commodification) ලක් වන්නේ මානව සබඳතා පමණක් ම නොවේ. කලා නිර්මාණ ද එසේ විය හැකි ය. ඒ කෙසේ වෙතත් සුසුම් රස්තියාදුවට එවන් ව්‍යසනයක් නො වේවායි මම ප්‍රාර්ථනා කරමි.

රවි කළුපහණ (fb)

(ලිපිය සංවාදයට විවෘතයි. සුසුම් රස්තියාදුව පිළිබඳ ඔබේ අදහස් ද දැනගනු රිසියෙමි. මගේ ලිවීමේ ගාස්තුව ඔබේ අදහස් ය. )

Related articles

කටුවන වෙඩි තියාගත්තෙ ජවිපෙ කණ්ඩායම් දෙකක් – පැය 02කින් මාධ්‍යයට කී හුළුගල්ලෙලා නිදහස්, අමරෙට විතරක් මරණ දඬුවම !

ජී.ජී. අමරසිරි හෙවත් ජූලම්පිටියෙ අමරේ 2012 වසරේදී කළ වෙඩිතැබීමත් සමග එවකට පැවැති ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ...

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි !

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින්...

මෛත්‍රීට ඉන්දියන් ඔත්තු සේවය වගේ කතාකරලා පාස්කු ගැන කිව්වෙ සජින් වාස්ද? – සීඅයිඩීයෙන් ප්‍රශ්න කරයි !

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුවන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතා...

සමස්ත ලංකා පාසල් සංචාරක සංසද අවසන් මහා තරගාවලිය සාර්ථකව අවසන් වේ !

පළාත් මට්ටමින් ආරම්භ වූ සමස්ත ලංකා පාසල් සංචාරක සංසද තරගාවලියේ අවසන් මහා තරගය බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී...