80,000කගේ ජල සැපයුම විසන්ධි කරද්දී ඇමැතිවරු 11ක් ජල සම්පාදනයට ලක්ෂ 46ක් පොලු තියති !

Share post:

ඇමැතිවරුන්ගේ නිල නිවාස 11ක ජල සම්බන්ධතා වෙනුවෙන් රුපියල් ලක්ෂ 46කට ආසන්න මුදලක් දීර්ඝ කාලීනව ගෙවා නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මේ අතර, ගාල්ල නගර සභාවේ නීති විරෝධී ජල සම්බන්ධතා දෙකක් සම්බන්ධයෙන් වසර 19ක සිට ගෙවා නොතිබූ රුපියල් ලක්ෂ දාහතක මුදලක්ද කොළඹ නගර සභාවේ ජල සැපයුමට අදාළ රුපියල් තුන් කෝටියකට ආසන්න මුදලක්ද 2022 වර්ෂය අවසන් වන විටත් අයකරගෙන නොතිබූ බව එම වාර්තාවේ දැක්වේ. වෙළෙඳ සහ අනෙකුත් ණයහිමියන්ගේ රුපියල් කෝටි 118ක ණය ශේෂයක් 2022 දෙසැම්බර් 31 වැනිදා වනවිට පියවීමකින් තොරව පැවතුණ බව වාර්තාව සඳහන් කරයි.

එමෙන්ම මණ්ඩලයේ සියයට අනූවකට වැඩි සේවක පිරිසක් රුපියල් එක් කෝටි හැත්තෑ පන්ලක්ෂයක ණය සහ අත්තිකාරම් මුදලක් අයකර ගැනීමෙන් තොරව විශ්‍රාම යෑමට ඉඩසලසා තිබූ බව පවසන විගණන වාර්තාව, මණ්ඩලයේ හිටපු සභාපතිවරයා වාහන තුනක් ද සහ හිටපු උපසභාපතිවරයා වාහන දෙකක් ද මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව ලබාගෙන තිබූ බව ප්‍රකාශ කර තිබේ.

මෙයට අමතරව මණ්ඩලයේ හිටපු සභාපතිවරයාට සහ උප සභාපතිවරයාට මසකට ඉන්ධන ලීටර් 150ට අමතරව රුපියල් 60,000ක ඉන්ධන අත්තිකාරමක්ද මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව ගෙවා තිබූ බව එහි දැක්වේ.

මෙම තොරතුරු සඳහන් වන්නේ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කර ඇති විගණන වාර්තාවේය.

මේ අතර පසුගිය වසර තුළ නොගෙවූ බිල්පත් හේතුවෙන්, ජල පාරිභෝගිකයන් 80,000කට වැඩි පිරිසකට ජල සැපයුම විසන්ධි කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව, එම මණ්ඩලයේ ප්‍රකාශකයකු සඳහන් කළේ, මිලියන 3ක පමණ පාරිභෝගිකයන්ගෙන් 80,970කගේ ජල සැපයුම මෙලෙස විසන්ධි කර ඇති බවයි.

එම පාරිභෝගිකයන් අතර, ගෘහස්ත පාරිභෝගිකයන් 63,150ක් සහ ගෘහස්ත නොවන පාරිභෝගිකයන් 17,820ක් වේ. ජල සැපයුම විසන්ධි වූ පාරිභෝගිකයන්ගෙන් රුපියල් මිලියන 1,909ක හිඟ මුදල් සහ ජල සැපයුම තවමත් විසන්ධි කර නොමැති පාරිභෝගිකයන්ගෙන් රුපියල් මිලියන 6,118ක් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට ලැබිය යුතු බව සඳහන් කරයි.

එසේම, මෙම හිඟ මුදල් සඳහා රෝහල්වලින් රුපියල් මිලියන 182ක්, පාසල්වලින් රුපියල් මිලියන 175ක්, ශ්‍රී ලංකා යුද හමුදාවෙන් සහ පොලිසියෙන් රුපියල් මිලියන 116ක් ද ඇතුළත් වන බව සඳහන් වේ. ජල සැපයුම විසන්ධි වූ පාරිභෝගිකයන්ට නියමිත ගාස්තුවෙන් සියයට 25ක් පියවීමෙන් ජල සැපයුම නැවත ස්ථාපිත කළ හැකි බවත්, ඉතිරි ගෙවීම් ඉන් පසුව සිදුකරන ලෙසත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් පවසයි.

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...