80,000කගේ ජල සැපයුම විසන්ධි කරද්දී ඇමැතිවරු 11ක් ජල සම්පාදනයට ලක්ෂ 46ක් පොලු තියති !

Share post:

ඇමැතිවරුන්ගේ නිල නිවාස 11ක ජල සම්බන්ධතා වෙනුවෙන් රුපියල් ලක්ෂ 46කට ආසන්න මුදලක් දීර්ඝ කාලීනව ගෙවා නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මේ අතර, ගාල්ල නගර සභාවේ නීති විරෝධී ජල සම්බන්ධතා දෙකක් සම්බන්ධයෙන් වසර 19ක සිට ගෙවා නොතිබූ රුපියල් ලක්ෂ දාහතක මුදලක්ද කොළඹ නගර සභාවේ ජල සැපයුමට අදාළ රුපියල් තුන් කෝටියකට ආසන්න මුදලක්ද 2022 වර්ෂය අවසන් වන විටත් අයකරගෙන නොතිබූ බව එම වාර්තාවේ දැක්වේ. වෙළෙඳ සහ අනෙකුත් ණයහිමියන්ගේ රුපියල් කෝටි 118ක ණය ශේෂයක් 2022 දෙසැම්බර් 31 වැනිදා වනවිට පියවීමකින් තොරව පැවතුණ බව වාර්තාව සඳහන් කරයි.

එමෙන්ම මණ්ඩලයේ සියයට අනූවකට වැඩි සේවක පිරිසක් රුපියල් එක් කෝටි හැත්තෑ පන්ලක්ෂයක ණය සහ අත්තිකාරම් මුදලක් අයකර ගැනීමෙන් තොරව විශ්‍රාම යෑමට ඉඩසලසා තිබූ බව පවසන විගණන වාර්තාව, මණ්ඩලයේ හිටපු සභාපතිවරයා වාහන තුනක් ද සහ හිටපු උපසභාපතිවරයා වාහන දෙකක් ද මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව ලබාගෙන තිබූ බව ප්‍රකාශ කර තිබේ.

මෙයට අමතරව මණ්ඩලයේ හිටපු සභාපතිවරයාට සහ උප සභාපතිවරයාට මසකට ඉන්ධන ලීටර් 150ට අමතරව රුපියල් 60,000ක ඉන්ධන අත්තිකාරමක්ද මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව ගෙවා තිබූ බව එහි දැක්වේ.

මෙම තොරතුරු සඳහන් වන්නේ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කර ඇති විගණන වාර්තාවේය.

මේ අතර පසුගිය වසර තුළ නොගෙවූ බිල්පත් හේතුවෙන්, ජල පාරිභෝගිකයන් 80,000කට වැඩි පිරිසකට ජල සැපයුම විසන්ධි කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව, එම මණ්ඩලයේ ප්‍රකාශකයකු සඳහන් කළේ, මිලියන 3ක පමණ පාරිභෝගිකයන්ගෙන් 80,970කගේ ජල සැපයුම මෙලෙස විසන්ධි කර ඇති බවයි.

එම පාරිභෝගිකයන් අතර, ගෘහස්ත පාරිභෝගිකයන් 63,150ක් සහ ගෘහස්ත නොවන පාරිභෝගිකයන් 17,820ක් වේ. ජල සැපයුම විසන්ධි වූ පාරිභෝගිකයන්ගෙන් රුපියල් මිලියන 1,909ක හිඟ මුදල් සහ ජල සැපයුම තවමත් විසන්ධි කර නොමැති පාරිභෝගිකයන්ගෙන් රුපියල් මිලියන 6,118ක් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට ලැබිය යුතු බව සඳහන් කරයි.

එසේම, මෙම හිඟ මුදල් සඳහා රෝහල්වලින් රුපියල් මිලියන 182ක්, පාසල්වලින් රුපියල් මිලියන 175ක්, ශ්‍රී ලංකා යුද හමුදාවෙන් සහ පොලිසියෙන් රුපියල් මිලියන 116ක් ද ඇතුළත් වන බව සඳහන් වේ. ජල සැපයුම විසන්ධි වූ පාරිභෝගිකයන්ට නියමිත ගාස්තුවෙන් සියයට 25ක් පියවීමෙන් ජල සැපයුම නැවත ස්ථාපිත කළ හැකි බවත්, ඉතිරි ගෙවීම් ඉන් පසුව සිදුකරන ලෙසත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් පවසයි.

Related articles

සිහි විකල් කරවන යථාර්ථයක විකාරරූපී ප්‍රතිබිම්බය: බන්දුජීවගේ ‘ධූමලාවණ්‍යාගාරය’

සිය දෙවන කාව්‍ය සංග්‍රහයෙන් වසර දහයකට පසුව, රුවන් බන්දුජීව සිය තෙවන කෘතිය වන 'ධූමලාවණ්‍යාගාරය' රචනා කරන්නේ, පෙර කෘතියට...

මව්බිම මාධ්‍යවේදීන් වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කම්කරු කොමසාරිස්ට ලියයි !

දිනපතා පුවත්පත් කිහිපයක මුද්‍රණය අත්හිටුවීම හේතුවෙන් මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතතාවයට එල්ල වී ඇති සෘණාත්මක බලපෑම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ...

සංරක්ෂණයේ පදනම බිඳ දමා ‘වනජීවී දිනය’ සමරා ඵලක් වේද?

පාරිසරික යුක්තිය සහ සාධාරණත්වය, පරිසරය සහ සංවර්ධනය අතර සමබරතාව, තිරසාර සම්පත් භාවිතය සහ පූර්වාරක්ෂක ක්‍රමවේද ආදී දහසක්වචන අවභාවිතා...

තරිඳුගේ පෙත්සම : වාචික පැමිණිල්ලක් කළ නිසා කාලාවරෝධයෙන් සහනයක් ඕනෑ – පැමිණිලිකරු : කොමිසමේ ස්වයංක්‍රීය පරීක්ෂණයක සහනය පෙත්සම්කරුට නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

මානව හිමිකම් කොමිසම මගින් ආරම්භ කරන ලද පරීක්ෂණයක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීම සඳහා ලැබෙන සහනය ලබාදීමට අදාළ නොවන බව...