FCID ප්‍රධානියා ක්‍රිෂ් සමාගමේ අධ්‍යක්ෂවරයෙක් කරලා – අධිකරණය අලුතින් විමර්ශන වාර්තා කැඳවයි : මම සතයක්වත් අරන් නෑ – නාමල්

Share post:

කුප්‍රකට ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනය කොට සම්පූර්ණ වාර්තාවක් කඩිනමින් ඉදිරිපත් කරන ලෙස කොළඹ – කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් පසුගිය 10 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවෙන් ද මේ පිළිබඳව වාර්තාවක් කැඳවීමට මහේස්ත්‍රාත්වරයා විසින් තවදුරටත් නියෝග කෙරිණි. මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ විසින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කරන ලද පැමිණිල්ලකට අදාළ නඩු විභාගය පෙරේදා නැවත කැඳවිණි.

එහිදී පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුනිල් වටගල සහ නීතිඥ හර්ෂණ නානායක්කාර අධිකරණය ඉදිරියේ අනාවරණය කළේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාව සිටි රවී වෛද්‍යලංකාර 2022 වසරේ ක්‍රිෂ් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්වී ඇති බවයි.

2016 ජූලි 11 දින පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ එවකට අධ්‍යක්ෂ රවී වෛද්‍යලංකාර විසින් මෙම ආන්දෝලනාත්මක ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් වසන්ත සමරසිංහ කළ පැමිණිල්ලක් පිළිබඳව කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි. එම බී වාර්තාවේ සඳහන් වූයේ මෙම ගනුදෙනුවේදී විශාල කොමිස් මුදලක් හුවමාරු වී ඇති බවට කරුණු ඇති බවත්, මෙහිදී බරපතළ අපරාධයක් සිදු වී ඇතැයි අනාවරණය වන බවත් ය.

එහෙත් ඊට පසු දින, එනම් 12දා රවී වෛද්‍යලංකාර විසින් ක්‍රිෂ් සමාගමට ලිපියක් මගින් දැනුම් දී ඇත්තේ අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළ ද, මෙම ගනුදෙනුව පිළිබඳව අපරාධයක් අනාවරණය නොවන බවයි.

මෙවැනි තත්ත්වයක් යටතේ 2022 වසරේදී රවී වෛද්‍යලංකාර ක්‍රිෂ් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙස වැඩ බාරගෙන ඇති බවත්, එය බරපතළ කරුණක් බවත් පැමිණිලිකාර වසන්ත සමරසිංහගේ පාර්ශ්වය නියෝජනය කරමින් නීතිඥවරු අධිකරණයට පෙන්වා දුන්හ.

මෙහිදී කොළඹ – කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ සඳහන් කළේ අධිකරණයට ඉදිරිපත් කරන ලද කරුණු අනුව මෙහි බරපතළ ගැටළු සහගත තත්ත්වයක් ඇතැයි පෙනීයන බවයි. එම නිසා මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සහ අල්ලස් කොමිසමෙන් පූර්ණ වාර්තා 02ක් කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙම ගනුදෙනුවේදී සිදුවූ රුපියල් මිලියන 70ක අයුතු මුදල් හුවමාරුවක් සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට චෝදනා එල්ල වී තිබේ. මේ පිළිබඳව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ප‍්‍රකාශයක් ලබාදෙමින් නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා එවකට පවසා තිබුණේ මිලියන 70ක් 100ක් තියා සතයක්වත් මං අරන් නෑ යනුවෙනි.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ මීට අදාළ පැමිණිල්ලේ මෙසේ සඳහන් විය.

‘කොළඹ, කොටුව ට‍්‍රාන්ස්වර්ක් චතුරස්‍රයේ අක්කර 4.3ක් බදු දීමේදී සිදු වී ඇති මූල්‍ය වංචාව සම්බන්ධ විමර්ශනය (ක්‍රිෂ් ගනුදෙනුව) :

‘…. එහිදී නිමල් හේමසිරි පෙරේරා විසින් … බැංකුවේ සහ ….. බැංකු ගිණුම්වලින් නිකුත් කරන ලද චෙක්පත් බැර වූයේ කුමන ගිණුමටද යන්න අනාවරණය කරගැනීම සඳහා එම බැංකුවල කළමනාකරුවන්ගෙන් ප‍්‍රකාශ සටහන් කළ අතර, එමගින් එම චෙක්පත් බැර වී ඇත්තේ කිෂින් රාම්චන්ද් බූටානි යන අයගේ බැංකු ගිණුම්වලට බව….’

නිමල් හේමසිරි පෙරේරා යනු දකුණු ආසියාවේ ප‍්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් අතර සිටින, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයකු ලෙස ද නම සඳහන් කෙරෙන ධම්මික පෙරේරාගේ ව්‍යාපාරික සගයා ය. වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායකවරයා ව සිටි කාලයේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පැවති සමයේ ප‍්‍රකෝටිපතියන් වූ හතර දෙනකු ගැන කිව්වේය. ඔහු ඔවුන් හැඳින්වූයේ 4P’s කියා ය.

ඒ ධම්මික පෙරේරා, නිමල් පෙරේරා, සුමල් පෙරේරා සහ අශෝක් පතිරගේ ය. එනම්, මේ පී අකුරෙන් නම් ඇති හතර දෙනාගෙන් අයකු වන නිමල් පෙරේරා මේ මූල්‍ය වංචා චෝදනා සිදුවීමේ චෙක්පත් සම්බන්ධයෙන් සිටී.

‘…… ඉහත ගිණුම්වල මුදල් තැන්පත් වීමෙන් පසුව එම තැන්පත් වූ මුදල් වියදම් කළ ආකාරය පිළිබඳව විමර්ශනය කිරීමේදී නිමල් පෙරේරා යන අයගේ ගිණුමට අදාළව නිකුත් කරන ලද චෙක්පත් අංක 331894 දරන චෙක්පත් මගින් 2012.10.19 වැනි දින රුපියල් මිලියන 60ක මුදලක් ද, 2012.12.08 වැනි දින අංක 332532 දරන චෙක්පත මගින් රුපියල් මිලියන 38ක් ද, එදින ම සම්පත් බැංකුවේ අංක 206246 දරන චෙක්පත මගින් රුපියල් මිලියන 90ක් ද කිෂින් රාම්චාන්ද් බූටානිට ලබා දී ඇත.’

‘ …… මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු පැවැත්වීමේදී නිමල් හේමසිරි පෙරේරාට අයත් එන්.කැපිටල් සමාගම නමින් අංක 07/01, ගවර් ස්ට්‍රීට්, කොළඹ 05 ලිපිනයේ පිහිටි ඉඩම මිලදී ගැනීමට ගිවිසුම් අත්සන් කරමින් අත්තිකාරම් මුදලක් ලබා දී ඇති 2012.10.19 වැනි දිනට ආසන්නතම දිනයක් වන 2012.10.18 වැනි දින ක‍්‍රිෂ් සමාගම මගින් නිමල් හේමසිරි පෙරේරා යන අයට අයත් ගිණුම් අංක 006040042001 දරන ගිණුමට රුපියල් මිලියන 40 ක් ද, 2012.11.19 වැනි දින රුපියල් මිලියන 10 ක් එම ගිණුමටමද බැර වී ඇති බවට හා ක‍්‍රිෂ් සමාගම මගින් ම ලබා දෙන ලද රුපියල් මිලියන 20 ක් වටිනා අංක 633216 දරන චෙක්පත 2012.12.18 දින නිමල් හේමසිරි පෙරේරාට අයත් සම්පත් බැංකුවේ 002950014922 දරන ගිණුමට බැර වී ඇති බවට කරුණු අනාවරණය වී තිබේ.’

ඉන්පසු මේ ගනුදෙනුවට නන්දන ජයදේව ලොකුවිතාන ද සම්බන්ධ වී තිබේ. නන්දන ජයදේව ලොකුවිතාන යනු මහින්ද රාජපක්ෂ පවුලේ සමීපතම ව්‍යාපාරික සගයෙකු ලෙස ප‍්‍රකට අයෙකි. ඩුබායි මැරියට් හෝටලයේ හිමිකරු ලෙස පෙනී සිටින්නේද මේ ලොකුවිතාන ය. සජින් ද වාස් ගුණවර්ධන හරහා ය, ඔහු රාජපක්ෂ පවුලේ සමීපතමයකු බවට පත්ව ඇත්තේ. මේ බව සජින් ද වාස් ගුණවර්ධන විසින් මාධ්‍ය හමුවකදී ද සඳහන් කරන ලදි.

ශ‍්‍රී ලංකා වානේ සංස්ථාව නමින් පෙර පැවති ආයතනය ඇමරිකානු ඩොලර් මිලියන 77 කට මිලට ගෙන තිබුණේ ද මේ ලොකුවිතාන ය. ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ අන්තර්ජාතික සමූහය මගින් අනාවරණය කරන ලද සුප‍්‍රකට පැනමා පේපර්ස්වල ද මේ ලොකුවිතානගේ නම සඳහන් වී තිබේ.

‘…… එසේ හෙයින් මේ ගනුදෙනුවට සම්බන්ධ වී ඇති කිෂින් රාම්චන්ද් බූටානිට අයත් ගිණුම්වල ද, නිමල් හේමසිරි පෙරේරා යන අයට අයත් ගිණුම්වලද, එන්.කැපිටල් ආයතනයේ නමින් හා නන්දන ජයදේව ලොකුවිතාන යන අයගේ ජාතික හැඳුනුම්පත් අංක 6835……vට අදාළ ව පවත්වාගෙන යනු ලබන සියලුම වාණිජ බැංකු ආයතන මගින් මුදල් හුවමාරු වී ඇති ආකාරය සම්බන්ධයෙන්….’

නාමල් රාජපක්ෂ මේ ක‍්‍රිෂ් ව්‍යාපෘතිය ගැන නොදන්නා බව පැවසුවද, ඇමරිකානු ඩොලර් මිලියන 650ක වටිනාකමකින් යුත් මේ ව්‍යාපෘතියට අදාළ සියලු ගිවිසුම් සකස් කර ඇත්තේ එන්.ආර්. ඇසෝසියේට් නම් නීතීඥ සමාගමයි. මේ නීතීඥ සමාගම යනු නාමල් රාජපක්ෂට අයත් එකක් බව විමර්ශන අංශ සඳහන් කර තිබිණි. එනම්, බැඳුම්කර වංචාව පිළිබඳ කොමිසමේදී ආර්.කේ. යනු රවී කරුණානායක බව හෙළි වුණා සේ ම, ඒ.එම්. යනු අර්ජුන් මහේන්ද්‍රන් බව හෙළි වුණා සේ ම, එන්.ආර්. යනු නාමල් රාජපක්ෂ ද විය හැකිය.

මෙම ගනුදෙනුව සිදු වූ 2012 – 2014 කාලයේ විපක්ෂ නායක ධුරය දැරූ රනිල් වික‍්‍රමසිංහ ඒ දිනවල දිගින් – දිගටම පැවසුවේ මේ ක‍්‍රිෂ් ව්‍යාපෘතියේ දී දැවැන්ත කොමිස් ගනුදෙනුවක් සිදු වී ඇති බවයි. 2015 ඔහු අගමැති ධුරයට පත්වූ පසු, ඔහු යටතේ තිබූ අමාත්‍යංශයක නියෝජ්‍ය ඇමැතිවරයකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ද ඒ සම්බන්ධයෙන් පුවත්පත්වලට ලිපි ලියමින් අනාවරණය කරන ලදි.

ශාලික විමලසේන

Related articles

කුමුදු කුමාරසිංහගේ “කොළඹ මතක”

ජීවිත කාලයම කොළඹ නගර සීමාවෙ ජීවත් වුන කුමුදු ඇගේ ජීවිත මතක මේ පොතට අපූරුවට හකුළුවනවා. කොළඹ මතක පාඨකයාට...

‘ඇදුරාභරණ’ – නිමල් විජේසිරි

උසස් අධ්‍යාපනය සඳහා විදේගත වීම වර්තමානයේ විශේෂයක් නොව සාමාන්‍යයකි. එමෙන්ම මේ වන විට ශිෂ්‍යත්වයක් ලැබ ආචාර්ය උපාධිය සඳහා...

කලාගාරය තුළ Boney M සංගීතය ඇසීමට සලස්වමින් පැවති උපාලි ආනන්දගේ “කැළල” (SCAR) චිත්‍ර ප්‍රදර්ශනය

උපාලි ආනන්දගේ “කැළල” (SCAR) චිත්‍ර ප්‍රදර්ශනය ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ මැයි මස 14, 15 සහ 16 තෙදින තුළ පවත්වන...

තිළිණා වීරසිංහගේ ‘මධු සමය අහිමි මංගල්‍ය’යෙන් දශක දෙකකට පසු

ඊයේ (17) තිළිණගෙ හවස, තිළිණා වීරසිංහ සහෝදරීගෙ මධු සමය අහිමි මංගල්‍ය කෘතිය පාදක කරගෙන ඇගේ නිර්මාණාවලිය ගැනම කෙරෙන...