“උරග සනුහරේ ක්ෂීරපායී ප්‍රේමවන්තයා” මැයෙන් ආචාර්ය ඇන්ස්ලම් ද සිල්වාණන් පිළිබඳ ලියැවුණු චරිතාපදානය කියැවූයෙමි. එය ලාංකේය චරිතාපදාන සාහිත්‍යයට එක් වූ අනගි කෘතියකි. මෙය වෙනත් භාෂාවලින් ද පළවන්නේ නම් ලොව පුරා පාඨක සම්භාවනාවට පාත්‍ර වන කෘතියක් වනු නිසැකය.
මීට වසර කිහිපයකට පෙර කොටස් වශයෙන් රැස පුවත්පතෙහි පළ වූ ලිපි මාලාව කෘතියක් හැටියට පළවනු දැකීමේ නොතිත් ආසාව මට තිබිණ. එය සැබෑවක් වීම සම්බන්ධයෙන් කතුවරියට ස්තුතිවන්ත වෙමි.
රටේ විවිධ ක්ෂේත්‍රවල කැපවුණු ඉතා කලාතුරෙකින් පහළ වන විශිෂ්ටයන්ගේ කාර්යභාරය පිළිබඳ අවබෝධයක් විද්‍යාර්ථීන්ට මෙන් ම මහජනයාට ද තිබිය යුතුය. ළමා ලෝකයෙහි බොරු වීරයන්ද අධ්‍යාපනයේ නාමයෙන් රජ වී සිටින ටියුෂන් කාරයන්ද වෙනුවට සැබෑ වීරයන් හඳුන්වා දිය යුතුය. දරුවන්ගේ පෙලපොත්වලට ඒ කතා ඇතුළත් විය යුතුය. එවැන්නක් පෙනෙන තෙක් මානයක නැත.
ලෝකය වෙනස් කළ මිනිස්සු මැයෙන් ලිපි මාලාවක් මවිසින් මිහිර පත්‍රයට සම්පාදනය කරන ලද්දේ යට කී අරමුණ ඇතිව ය. රැස පුවත්පතෙහි දී මේ කාරිය තවත් ඉදිරියට ගෙන යමින් චරිතාපදාන කිහිපයක් ලිවීමට කර්තෘ මණ්ඩලයෙහි ලේඛක ලේඛිකාවන්ට ඇරියුම් කළෙමි. නදීට පැවරුණේ ආචාර්ය ඇන්ස්ලම් ද සිල්වාගේ චරිත කතාව ලිවීමේ වගකීමයි. ඇය එය නිර්මාණශීලී අයුරින් ද ඉතා උනන්දුවෙන් ද කළ බව පෙනිණ.
ආචාර්ය ඇන්ස්ලම් ද සිල්වා ගැන මට උනන්දුවක් ඇති වූයේ 1970 ගණන්වල, එනම් මගේ සිසු වියෙහිදීය. මාර්ටින් වික්‍රමසිංහයන් ලියූ මුහුදු වෙරළ, කුරුකුහුඹු සත්තු, විද්‍යා විනෝද කතා, සත්ත්ව සන්තතිය යනාදී කෘති කියවූ ආස්වාදයද ග්‍රෝව් සහ නෙවිල්ගේ සත්ත්ව ජීව විද්‍යාව කෘතිය හදාරා ඇවිස්සුණු මනස ද අනුව ජෛව ලෝකය පිළිබඳ ව සමාජගත ව තිබූ ඇතැම් මිථ්‍යා මත ඛණ්ඩනය කරගෙන සිටියෙමි. එවක ජාතික තලයේ පුවත්පත්වල අපූරු පුද්ගලයකුගේ අදහස් උදහස් කියවන්නට ලැබිණ.
ඔහු ඇන්ස්ලම් සිල්වාය. උරගයන් හා ආත්‍රොපෝඩා වංශික සතුන් පිළිබඳ මිථ්‍යාවන්ට අභියෝග කරන ගවේශකයකු ලෙස මට ඔහු පෙනිණ. සර්පයන් හා මකුළුවන් පිළිබඳ දුරුමත රාශියක් තවමත් සමාජයෙහි වෙයි. මීටත් වඩා බියකරු ලෙස මිථ්‍යා මත සමාජගත ව තිබූ අවධියක සත්‍ය තොරතුරු ලේඛනගත කිරීම නිසා එක් යුගයක මාර්ටින් වික්‍රමසිංහයන් විවේචනයට ලක් වූ පරිදි ම ආචාර්ය ඒබ්‍රහම් ටී කොවුර් ද ආචාර්ය ඇන්ස්ලම් ද සිල්වා ද මුග්ධයන්ගේ ප්‍රහාරයට ලක් වනු පෙනිණ. ඇන්ස්ලම්ට එරෙහි වූවන් අතර ගොඩ වෙද්දු ප්‍රමුඛ වූහ. එහෙත් ඔහුගේ පර්යේෂණකාමය එයින් නොනැවතිණ. උභය ජීවින් සම්බන්ධයෙන් මෙතෙක් ඔහුකර ඇති අධ්‍යයනවලට ලෝක මට්ටමේ පිළිගැනීමක් ඇත.
1990 ගණන්වල රාවය පත්‍රයෙහි මා සේවය කළ අවධියෙහි මගේද මැදිහත් වීමෙන් හේතුවාදී සංගමය නැවත ආරම්භ කෙරිණ. එහිදී සමාජගත මිථ්‍යාවන් ඛණ්ඩනය කිරීමේ වගකීම අපට විය. පුවත්පත් කලාවේදියකු ලෙස මට හැඟී ගියේ සර්පයන් හා මකුළුවන් පිළිබඳ මිථ්‍යා මත ඛණ්ඩනය සඳහා සුදුසු ම විද්වතා ආචාර්ය ඇන්ස්ලම් ද සිල්වා බවය. ඒ අනුව දුරකතනයෙන් ඔහු සම්බන්ධ කර ගැනිණ. රාවයේ පුවත්පත්කලාවේදියකු මාර්ගයෙන් සම්මුඛ සාච්ඡාවක් පළ කරන ලදි.
ඒ හැර ඔහු සමග පුද්ගලික සම්බන්ධයක් නොතිබූ නමුත් දශක කිහිපයක් ඔහුගේ නාමකාය ඇසුරු කළෙමි. රූපකාය තවමත් දැක නැත.
නදී මානික්කගේ ලියූ කෘතිය ඔහුගේ රූපකාය තරමට ම මට සමීප විය. ඔහු තම ක්ෂේත්‍රයෙහි ගැඹුරු පර්යේෂණයන්හි නියැළි විශිෂ්ටයෙකි. ලොව උභයජීවී විවිධත්වය අතින් ඉහළම රටක් වන ශ්‍රී ලංකාවෙහි මෙබඳු පර්යේෂකයකු ජීවත්වීම අපගේ වාසනාවකි. ඔහු උසස් චින්තනයක් ඇත්තෙකි. මුදු මොලොක් හදක් ඇත්තෙකි. ගහකොළ සතා සීපාවා පිළිබඳ ප්‍රේමයෙන් පසුවන අපූරු සුහදයෙකි.
මෙවන් චරිතයක් පිළිබඳ ලිවීම අසීරු කටයුත්තකි. ඒ සඳහා හදවතෙහි කරුණා ගුණය, ඉවසීම අවශ්‍ය වේ. ශාස්ත්‍රකාමය අත්‍යාවශ්‍ය වේ. නදීට ඒ සියලු සුදුසුකම් ඇති බව මේ කෘතියෙන් පෙනේ.
චරිතාපදාන සාහිත්‍යය පුළුල් විෂයකි. ස්වයංලිඛිත චරිතාපදාන, යම් පුද්ගලයකු තවත් පුද්ගලයකු ගැන ලියන චරිතාපදාන, යම් චරිතයක් පිළිබඳ ව විවිධ අයගේ ලිපි ඇතුළත් සංස්කරණ සහ යම් අයකු තම ජීවන තොරතුරු වැඩි ප්‍රමාණයකට බර තබා ප්‍රබන්ධ විලාසයෙන් සම්පාදනය කරන කෘති වශයෙනි.
මාර්ටින් වික්‍රමසිංහයන්ගේ උපන් දා සිට කේ.ජයතිලකගේ පුංචි පැළේ ගසවෙනා ස්වයං ලිඛිත චරිතාපදානයි. වික්‍රමසිංහයන් ලියූ මානව විද්‍යාව හා එතෙර වියත්තු කෘතියෙහි ලෝක මට්ටමේ ප්‍රකට චරිත කිහිපයක් පිළිබඳ ලියූ සටහන් ඇතුළත් වෙයි. මහින්ද සෙනරත් ගමගේ සංස්කරණය කළ වෝල්ටර් සර්, තිඹිරියාගම බණ්ඩාරගේ සමසංස්කාරක දායකත්වය ඇති ව පළ වූ හඬ ගුණදාස කපුගේ නිර්මාණ, එස්.ජී.පුංචිහේවා සිතුවිලි විවරණ යන කෘති පුද්ගලයකු පිළිබඳ ව විවිධ අය ලියූ ලිපි ඇතුළත් ග්‍රන්ථ වෙත්. දෙනගම සිරිවර්ධන ලියූ යුගයේ මිනිසා සේනක බිබිලේ, සිසිර කුමාර වන්නිආරච්චි ලියූ සිරිවර්ධන යන කෘති ලේඛකයකු යම් පුද්ගලයකු විෂය කරගෙන ලියූ චරිතාපදාන ලෙස හැඳින්විය හැක. ඉසබෙල් අයියන්දේ ලියූ මායාවාස කෘතිය ප්‍රබන්ධයකි. එමෙන්ම තම ජීවන විත්තිය සාහිත්‍ය රීතියක් ඔස්සේ අවලෝකනය කිරිමකි.
“උරග සනුහරේ ක්ෂීරපායි ප්‍රේමවන්තයා” කෘතිය ලේඛිකාවක විසින් උරග විද්‍යාඥයකුගේ ජීවිතය විෂය කරගෙන ලියූ චරිතාපදානයක් ලෙස බැලූ බැල්මට නම් කළ හැකිය. එහෙත් මෙහි සන්දර්භය ගොඩ නැගෙන්නේ ප්‍රබන්ධාලෝකයෙනි. සංවාද බහුල සාහිත්‍ය කෘතියකට ළංවූ රීතියකිනි. මෙය එක්තරා අත්හදා බැලීමකි. චරිතාපදාන සාහිත්‍යයට එක් වූ නව මානයකි. දක්ෂ සාහිත්‍යකාරියකගේ ආගමනයක් හැටියට ද එය වැදගත් ය. ආචාර්ය ඇන්ස්ලම් ද සිල්වාගේ ජීවන විත්තිය, පර්යේෂණ සහ ඔහුගේ හැඟීම් පරිස්සමින් වටහාගෙන ලියා ඇති මේ කෘතිය පාඨකයාගේ මන බඳනාසුලු බස්වහරකින් නිර්මාණය වී තිබේ.