ක්‍රිකට් ක්‍රීඩාවේ මංගල ලෝක කුසලානයයි

Share post:

ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග ආධුනික ශ්‍රී ලංකාව අතර තරගය ඕවල් පිටියේ පැවැත්වෙමින් තිබේ.

ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ භයානකම වේග පන්දු යවන්නා වන ජෙෆ් තොම්සන් (Jeff Thomson) එක් අන්තයකින් පන්දු යවමින් සිටියි.

පසුකාලීනව කොතරම් වේග පන්දු යවන්නන් බිහි වූවත් ජෙෆ් තොම්සන් තරම් වේගයකින් පන්දු යැවූ වේග පන්දු යවන්නෙක් ක්‍රිකට් ක්‍රීඩාවේ නොසිටි බව කියවේ.

ඔහු එතරම් වේගවත් ය.

එමෙන්ම ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්වත් භයානක ය.

එය තරමක ‘ස්ලිංගි’ ඉරියව්වකි. පිතිකරුවන්ට කියවීමට අසීරුය.

ඔහු පැයට කිලෝමීටර 160 සීමාව සළකුණු කළ ලොව පළමු වේග පන්දු යවන්නායි.

මේ සියල්ලටම වඩා ඔහු ක්‍රීඩා කළ සමයේ පන්දු යවන යන්ත්‍ර තිබුණේ නැත.

පිතිකරුවන්ට පැයට කිලෝමීටර 150 ඉක්මවූ වේග පන්දු වලට පුහුණු වීමට ඇති අවස්තා සීමිතය.

මේ සියල්ල සළකා බැලූ විට ජෙෆ් තොම්සන් ක්‍රිකට් ක්‍රීඩාවේ භයානකම වේග පන්දු යවන්නා යැයි කියනු ලැබේ.

ඕස්ට්‍රේලියාව හමුවේ ලකුණු 329 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු බිල්ල ප්‍රවේගකාරී පිතිකරු දුලිප් මෙන්ඩිස් විය.

ජෙෆ් තොම්සන්ගේ මාරාන්තික බවුන්සර් පන්දුවක් හිසේ වැදී ඇද වැටුනු දුලිප් මෙන්ඩිස් වහා රෝහල් ගත කරන ලදි.

ඒ වනවිට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු දෙකකට ලකුණු 150කි.

ආරම්භක පිතිකරු රංජිත් ප්‍රනාන්දු ලකුණු 22කටත්, නොම්මර තුන පිතිකරු බන්දුල වර්ණපුර ලකුණු 31කටත් දැවී ගොස් තිබුණි.

ටෙස්ට් වරම් හෝ නොලැබූ, කුඩා දිවයිනකින් පැමිණි කණ්ඩායමකට, යෝද ඕස්ට්‍රේලියාව ඉදිරියේ එය ඉතා හොඳ ලකුණකි.

ජයග්‍රහණයට පන්දුවාර 28කට ලකුණු 179ක් අවශ්‍ය වූ අතර එය ලබා ගත හැකි ඉලක්කයකි.

කෙසේ වෙතත් අර්ධ ශතකයක් රැස් කර ගෙන සිටි ආරම්භක පිතිකරු සුනිල් වෙත්තමුණිගේ ඉරණමත් වෙනස් වූයේ නැත.

ජෙෆ් තොම්සන් සතුව තිබූ එකම මාරාන්තික පන්දුව බවුන්සර් පන්දුව පමණක් නොවේ.

“සෑන්ඩ් ෂූ ක්‍රෂර්” (Sandshoe Crusher) නමින් විචාරකයන් හැඳින්වූ භයානක යෝකර් පන්දුවක් ද ඔහු සතු විය.

එය සපත්තුවේ ආරක්ෂාව අභිබවා පාද තුවාල කළ හැකි පන්දුවකි.

ක්‍රිකට් ක්‍රීඩාවට ආධුනික දූපත් ක්‍රීඩකයන්ට තොම්සන්ගෙන් කිසිඳු අනුකම්පාවක් හිමි වූයේ නැත.

ඔහුගේ පළමු යෝකර් පන්දුව හමුවේ සුනිල් වෙත්තමුණි ඇද වැටුනේය.

නමුත් දැඩි වේදනාව ද නොතකා නැගී සිටි ඔහු යළිත් පිත්ත අතට ගත්තේය.

නමුත් තොම්සන්ගේ ඊළග පන්දු වාරයේදී පෙර යෝකර් පන්දුව ගැටුනු තැනටම යළිත් වේගවත් යෝකර් පන්දුවකි.

ඇද වැටුණු වෙත්තමුණි යළිත් පිත්ත අතට ගත්තේ නැත. ඔහු වහා රෝහල් ගත කරන ලදි.

ඉන්පසුව පිටියට එක් වූ නායක අනුර තෙන්නකෝන් සහ මයිකල් තිසේරා නිර්භීත සම්බන්ධයක් ගොඩනැගුවේය.

ඔවුන් දෙදෙනා තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 82ක් එක් කිරීමට සමත් විය.

පන්දුවාර 60 අවසානයේ ශ්‍රී ලංකාව කඩුලු හතරකට ලකුණු 276ක් ලබා සිය ඉනිම නිමා කළේය.

එය යෝද ඕස්ට්‍රේලියාව හමුවේ ගෞරවාන්විත පරාජයකි.

පසුදා උදෑසන ලංඩනයේ රෝහළට පැමිණි බ්‍රිතාන්‍ය පොලිස් නිළධාරියෙකු දුලිප් මෙන්ඩිස්ගෙන් ප්‍රශ්න කළ බව කියවේ.

ඕවල් පිටිය තුල නොසිටි, නමුත් ගුවන් විදුලියෙන් තරගය ශ්‍රවණය කළ ඔහුට ‘ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දෙදෙනෙකුට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකුගෙන් ප්‍රහාරයක්’ වැකිය ඇසී තිබුණි. (Two Sri Lankans assaulted by an Australian cricketer)

‘කවුද ඔබට මේ අපරාධය කළේ ?’ පොලිස් නිළධාරියාගෙන් නැගුණු ප්‍රශ්නයයි.

‘තොම්සන්’ යනුවෙන් දුලිප් මෙන්ඩිස් පිළිතුරු දී තිබුණි.

‘ඔබට මේ ගැන පැමිණිල්ලක් කිරීමට අවශ්‍යද ?’ තරගය නොබැලු පොලිස් නිළධාරියා දුලිප් මෙන්ඩිස්ගෙන් යළිත් විමසා තිබුණි.

මෙවැනි උද්වේගකර පසුබිමක ජෙෆ් තොම්සන්ගේ ඉලක්කයක් නොවීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු රංජිත් ප්‍රනාන්දු අනුගමනය කර තිබුණේ අපූරු උපක්‍රමයකි.

ජෙෆ් තොම්සන් පන්දුව අතට ගන්නා සෑම විටකම ඔහු ඉතා සුහඳශීලිව තොම්සන් සමග සිනා වී තිබේ.

සිය සිනහව නිසා ජෙෆ් තොම්සන් ගේ ආවේගය සහ ආක්‍රමණය අවම වන්නට ඇතැයි පසුකාලීනව තරගය පිළිබඳ මතකය අවදි කරනා රංජිත් ප්‍රනාන්දු සිනාසෙමින් කියනා කතාවයි.

රංජිත් ප්‍රනාන්දු

ඉරේෂාන් සිරිවර්ධන (fb)

2023. 12. 27

Related articles

මෝදිගේ සංචාරයේදී සිදු වූ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ කතාව ඉන්දීය විදේශ ලේකම් කියයි !

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ ඩොලර් බිලියන 1.4 ක පමණ ණය...

මාරවිල මහෙස්ත්‍රාත් කොටු කළ වෙස්වලාගත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ මෙහෙයුම !

ඉතිහාසයේ මුල් වරට අධිකරණ සේවා කොමිසම නියෝජනය කරන ජ්‍යේෂ්ඨ විනිසුරුවරුන් දෙදෙනකු පෞද්ගලික නිරීක්ෂණයකින් පසු මහෙස්ත්‍රාත්වරයකුගේ වැඩ තහනම් කරයි. මෙසේ...

ශ්‍රේෂ්ඨාධිකරණයටත් අපහාස කරන පොලිස් වධහිංසාව : ආණ්ඩුව හරි පාරට වැටෙන්නේ කවදාද?

වැලිකඩ පොලිසිය මගින් පසුගිය 01දා අත්අඩංගුවට ගත් 25 හැවිරිදි බදුල්ල, මීගහකිවුලේ පදිංචි තරුණයකුට වධහිංසා කර ඇති බව අනාවරණය...

අධිකරණයට අපහාස කිරීම පිළිබඳ පුළුල් සංවාදයක් අවශ්‍යයි !

අධිකරණයට අපහාස කිරීම පිළිබඳව අලුතින් සංවාදයක් ඇති වී තිබේ. ඊට හේතු වී තිබෙන්නේ පසුගිය මාර්තු 28  වැනිදා පුත්තලම...