Cast Away – පොරවල් නොවන අය නැති ලෝකයකට පොරවල් අවශ්‍යම නැත

Share post:

සෑම සුවිශේෂී මිනිසෙකුටම තමාට වඩා, සෙසු මිනිසුන් වැදගත් හා අත්‍යවශ්‍ය බව අප කෙදිනක හෝ ඉගෙන ගෙන තියෙනවා ද? නෑ. අපි කිසි දවසක ඒක ගැන හිතලා නෑ. කිසිසේත්ම වටහාගෙනත් නෑ. එහෙත් සත්‍යය ඒක තමයි. මොකද, අපි කොතරම් සුවිශේෂී මිනිසෙක් ද යන්න තීරණය කරන් පුලුවන් අපි වෙන මිනිස්සු ගොඩක් මැඳ ඉන්නවා නම් විතරමයි.

ඉදිකිරීම් කරන්න වෙන මිනිස්සු කව්රුවත් නැත්තම්, අපට දක්ෂ ඉංජිනේරුවෙක් වෙන්න බෑ. බෙහෙත් ගන්න අසාධ්‍ය ලෙඩ්ඩු ගොඩක් නැත්තම් අපට කවදාවත් දක්ෂ දොස්තර කෙනෙක් වෙන්න බෑ. නඩු හබවලට පටලැවිච්ච කාලකණ්ණි මිනිස්සු ගොඩක් මේ ලෝකේ නැත්තම් කිසිම නීතීඥයෙක්ට දක්ෂ නීතීඥයෙක් වෙන්න බැහැ. මෙහෙයවන්න අඩු දකෂතා හා කුසලතා තියෙන මිනිස්සු ගොඩාක් නැත්තම් කිසිම කෙනෙකුට හොඳ කළමනාකාරයෙක් වෙන්නත් බෑ. මේ විදිහට මට දිග ලිස්ට් එකක් ලියාගෙන යන්න පුලුවන්.

සරලව කියනවා නම්, කාට හරි පොරක් වෙන්න ඕන නම්, පොරවල් නොවෙන මිනිස්සු ගොඩක් මැඳ ඉන්න ඕන. මේ සරල ඇත්ත අපි කවදාවත් හිතන්නෙත් නෑ. තේරුම් ගන්නෙත් නෑ.

2000 වසරේ ඇමරිකානු සිනමාකරුවෙක් වන Robert Zemeckis විසින් අධ්‍යක්ෂණය කරපු Cast Away කියන චිත්‍රපටිය අපිට මේ ගැන ටිකක් ගැඹුරින් හිතන්න පොළඹවනවා. දකුණු පැසිෆික් සාගරයේ දී තමන්ගේ ගුවන් යානය කඩා වැටීමෙන් පස්සේ ජනශූන්‍ය දූපතක අතරමං වෙච්ච FedEx සමාගමේ ගැටළු නිරාකරණය කිරීමේ විධායක නිලධාරියෙකුගේ ජීවිතය මෙම නිර්මාණයට පසුබිම් කරගෙන තියෙනවා. මහා රටක, බලවත් සමාගමක, බලසම්පන්න විධායක් නිලධාරියක් වුනු චක් නොලන්ඩ් තමන්ගේ ජීවිතේ ගලවාගෙන ආපහු තමන්ගේ රටට එන්න දරන මංමුලා සහගත උත්සාහයන් පිළිබඳව මෙම සිනමාකෘතිය උත්ප්‍රාසාත්මකව සාකච්ඡා කරනවා.

චක් නොලන්ඩ් (ටොම් හෑන්ක්ස්) යනු FedEx සමාගමේ කලට වෙලාවට භාණ්ඩ සැපයීම සම්බන්ධයෙන් උමතු අවධානයකින් පසුවන නිලධාරියක්. මෙවැනි සමාගම්වල ලාභය යන බොහෝ විට අදාල භාණ්ඩ කොපමණ කෙටි කාලයක් තුළ, විශ්වසනීයව, සුරක්ෂිතව හා පාරිභෝගික තෘප්තිය ඉහළ නංවමින් බාරදීම මත පදනම් වෙනවා. ඒ අනුව, එහි සාර්ථක විධායක නිලධාරියෙක් කියන්නේ කිසියම් ආකාරයකින් වෙලාවට වැඩ කිරීම සම්බන්ධයෙන් උමතුවකින් පසුවෙන්නෙකේ. වර්තමානයේ ක්‍රියාත්මක වන, අප මත විවිධ නම් ඔස්සේ උත්කර්ෂයට නංවමින් නැවත නැවතත් පටවමින් සිටින වෙළඳපොල ක්‍රමය කියන්නෙම මේ වගේ උමතු මිනිස්සු “සාර්ථක මිනිස්සු” විදිහට නාමකරණය කරන ලෝකයක්.

ඔහුගේ මේ ස්වභාවය නිසාම අදාල සමාගම තමන්ගේ සමාගමේ ලෝකයා පුරාම විහිදිලා,පැතිරිලා තියෙන ශාකා ජාලයේ පැන නගින ගැටළු නිරාකරණය කරන්න යවන්නේ චක් නොලන්ඩ්වම තමයි. ඒ නිසාම අතිශය කාර්යබහුල ජීවිතයක් ඇතුළේ, අනෙක් මිනිස්සු තමන්ටත් වඩා කාර්යබහුල කර කර මිනිසුන් අතර සමාගම වඩ වඩාත් ජනප්‍රිය කරවමින්, ලාභය වඩ වඩාත් වඩවා ගැනීමට හැකිවෙන පරිදි කළමනාකරණය කිරීම තමයි මිනිහගෙ ජොබ් එක වුනේ. ඒ විදිහට කාර්යබහුල වෙලා ඉන්න එක්තරා දවසක, එක්තරා ගුවන් ගමනකදී යානය අනතුරකට ලක්වෙනවා. ඒකෙන්, චක් නොලන්ඩ් කව්රු හරි තමං ගලවා ගන් එනවයි කියන එක ප්‍රාර්ථනයක් හෝ සිහිනයක් පමණක් වන විදිහට, දකුණු පැසිපික් සාගරයේ බලාපොරොත්තුවක් රහිත පාළු දූපතක අතරමං වෙනවා.

හුදකලා වෙච්ච චක් නොලන්ඩ්ට, තමන්ගේ ජීවිතයේ වටිනාකම් විදිහට අර්ථ දක්වාගෙන හිටපු සියල්ලටම පටහැනිව, ජීවිත පැවැත්මේ කටුක යථාර්ථයන්ට මුහුණ දෙන්නට සිදුවෙනවා. කාලය ගැන අතිශය සැලකිලිමත් මෙම විධායක නිලධාරියා, කාලය යන්න සම්බන්ධයෙන් සටහනක් නොමැති තත්වයකට මුහුන දෙනවා. තමන්ගේ රස්සාවෙදි දින, පැය, මිනිත්තු මතු නොව, තත්පර ගැන පවා තදින් අවධානය යොමු කරපු රළු නිලධාරියාට දින, සති, මාස විතරක් නෙවෙයි වර්ෂයක ආරම්භය හෝ අවසානය මොකක්ද කියලා වටහා ගන්න පවා බැරි තත්වයක් ඇති වෙනවා. ඔහුගේ අවධානය කළමනාකරණය ගැන නෙවෙයි, මේ කටුක දුෂ්කරකම් ළඟ කන්න මොනවා හරි හොයා ගන්නත්, වැස්සට නොතෙමී, අව්ට නොපිලිස්සී ඉන්න හෙවනක් හදා ගන්නත්, මානසික හා කායික යහපැවැත්ම පවත්වා ගන්නත් විතරක් යොමු කරන්න සිද්ද වෙනවා. ඒකට, නොලන්ඩ් දරන අසීමිත, නිමකළ නොහැකි, අනවරත අරගලය චිත්‍රපටයෙන් නිරූපණය කරනවා. පළමු වසර හතරක කාලයක් ගතවෙනකොට චක් නොලන්ඩ් ප්‍රාථමික පැවැත්මේ කුසලතාවන්හි දක්ෂ බවට පත්කර ගන්නවා. ඒ එක්කම, ඔහු විසින් විල්සන් නමින් නම් කරන වොලිබෝලයක් එක්ක මිත්‍රත්වයක් ද ගොඩනඟා ගන්නවා, ඒකෙන් තනිකමට සාර්ථකව මුහුණ දෙන්න, සාමාන්‍ය ජීවිතේ දී තමන්ට කවදාවත්ම හිටියේ නැති මිතුරෙක් තාවකාලිකව හරි හදා ගන්නත් නොලන්ඩ් සමත් වෙනවා.

විශේෂත්ව වෙන්නේ චක් නොලන්ඩ්, දිවයිනේ ඔහුගේ නව ජීවිතයට අනුවර්තනය වන අතරතුර කිසි විටෙකත් යම් දිනක කිසිවෙකු විසින් තමා ගලවා ගනු ඇතැයි යන බලාපොරොත්තුව අත් නොහැර තියාගෙන ඉන්න එකයි. ඔහු ගුවන් යානයේ සිට වෙරළට පාවී එන ෆෙඩෙක්ස් පැකේජවලින් භාණ්ඩ ගලවාගෙන උදව්වක් බලාපොරොත්තුවෙන් පෝරුවක් හදනවා. අවසානයේදී, ඔහු පසුකර යන භාණ්ඩ නැවක අවධානය ආකර්ෂණය කරන සංඥා ගින්නක් දල්වලා තමන්ව බේර ගන්න මඟ පෙන්වන්නත් සමත් වෙනවා.

බාධකයක් කියන්නේ සියල්ලේම අවසානය නෙවෙයි. අත්නොහැරීමත්, පොරබැදීමත්, බලාපොරොත්තු සහිතව කටයුතු කිරීමත් තුළින් ඕනෑම බාධකයක් ජයගත් හැකි බව මේ විශිෂ්ට මිනිසා ඔප්පු කරනවා. ඇත්තටම, කිසිම බලාපොරොත්තුවක් නැතැයි හිතෙන තැනකදිත් බලාපොරොත්තු අත්නොහැර සටන්වදින්නේ විශිෂ්ට මිනිස්සුම තමයි.

කොහොම වුනත්, ආපසු ගෙදරට එන නොලන්ඩ්, තමන් හිටියේ නැති කාලය ඇතුළේ ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙන බව දැන ගන්නවා. ඔහුගේ පෙම්වතිය වන කෙලී ෆ්‍රියර්ස් (හෙලන් හන්ට්) ඔහු මියගොස් ඇතැයි උපකල්පනය කර ඇයගේ ජීවිතය ඉදිරියට අරගෙන ගිහිල්ලා. තමන් නැතිව ඉදිරියට ගිය ලෝකයකට නැවත සම්බන්ධ වෙන්න චක් නොලන්ඩ් දරන අරගලය වගේම රැකියාව වෙනුවට ජීවත් වෙන්න අලුත් අරමුණක් හොයා ගන්න චක් නොලන්ඩ් දරන උත්සාහය මේ චිත්‍රපටිය තවදුරටත් ගවේශනය කරනවා.

“Cast Away” චිත්‍රපටය මගින් පැවැත්ම, හුදකලාව, මිනිස් ආත්මයේ ඔරොත්තු දීමේ හැකියාව සහ විපත්තිවල පරිවර්තනීයව මුහුන දීමේ බලය, බලාපොරොත්තු අත්නොහැරීමේ ගුණය කියන දේවල් තේමාවන් විදිහට පෙන්වනවා. කාලය පිළිබඳ සංකල්පය සහ ජීවිතය ක්ෂණයකින් වෙනස් විය හැකිය යන අදහස ද අවධාරණය කරනවා. සියල්ලටම ඉහළින් ක්‍රමය පවතින බවත්, ක්‍රමයට ඔබ බෙහෙවින් ආදරය කළත්, ඔබ කොතරම් දක්ෂයක් වුනත්, රැකියාවේ නිරතවන විට ඔබ කොතරම් වැදගත් වගේම අත්‍යවශ්‍ය පුද්ගලයෙකු ලෙස ඔවුන් විසින් පෙන්වා සිටියත්, ඔබ යනු අහිමි වූ අවස්ථාවක හෝ ඉවත් කරනු ලැබූ අවස්ථාවක පහසුවන් ආදේශ කළ හැකි මෙවලමක් පමණක් බවට මේ චිත්‍රපටිය සනාථ කරනවා.

ඒක එහෙමම වෙන්න ඕන. ක්‍රමය නිතරම පුද්ගලයාට ඉහළින් සිටින අතරේ යම් යම් පුද්ගලයින් විසින්, තමා ක්‍රමය මෙහෙයවමින් සිටින බව සිතීම කොතරම් උත්ප්‍රාසාත්මක ද කියන එක මේ චිත්‍රපටිය අවධාරණය කරනවා.

අවසාන වශයෙන් “මේ චිත්‍රපටය අපට මෙහෙම දෙයක් හිතන්න පොළඹවනවා. ඔබ සුවිශේෂී කෙනෙක් වෙන්නේ අනෙක් අය හිටියොත් විතරක් නිසා, නිතරම තමන්ට වඩා අනෙක් අය ගැන විශේෂ සැලකිල්ලකින් වැඩ කරන්න” කියන පණිවුඩය මං මගේ ගානේ සටහන් කරනවා.

(පිංතූර අන්තර්ජාලයෙන්)

කපිල ජනක බණ්ඩාර

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...