අසංගිගෙ කවි පොත ලැබුනේ පොත් ප්‍රදර්ශනයේ අන්තිම දවසේ. ඒකත් ප්‍රදර්ශනය බලලා එළියට යන මොහොතේ. ප්‍රදර්ශනයෙන් ගත්ත පොත් ටික කියවන්න වෙලාව හොයාගන්න ගොඩක් අමාරු වුන නිසා අසංගිගෙ පොත කියවන්න පටන් ගත්තෙ ඊයේ. ඒක කාලෙකට පස්සෙ ලැබිච්ච දැනෙන, හැඟෙන සහ කාගෙන වදින කවි ගණනාවක් තියෙන හොඳ කවි පොතක්.
ඇයගේ කවියක් තිබෙනවා “සැවැන්දරා මිත්තණිය” කියලා. මේ තියෙන්නේ ඒකේ එක පද පෙළක්,
“බණ කතා පොත් කාවො කා නැත
එහෙත් තැන තැන දුඹුරු පැහැ ලප
තාත්තට බැඳි සුරේ එහි ඇත
සාක්ෂියකිය සෙනෙහසට කැප
මදක් කහ උණු සිල් රෙද්දෙ ඇති
තැඹිලි ලකුණකි බුලත් විට හප
තැලුම් තෙල්කුප්පියට මතකලු
දන හිසේ ගෑ අයුරු මා සිප”
මට මේ කවිය ගොඩක්ම දැනෙනවා. ඇයට වගේම මටත් සුන්දරම සුන්දර ,ආදරණීයම ආත්තම්මා කෙනෙක් ඉඳලා තියෙනවා. ආත්තම්මාගෙ බණ පොත් මමත් පරිස්සමෙන් අරන් තියල තිබෙනවා. ඒවත් පොඩ්ඩක්වත් කාවො කාල නෑ. මම ඈත් එක්කම ලොකු වුන කෙනෙක්. මම කියන චරිතය ඇතුලෙ ඇය ලොකු කොටසක්, Inbuilt දෙයක්. අදත් මම කැමතිම ආසම කෑම, කැමතිම ගුණගරුක කම් අතරින් බොහොමයක් ඇගෙන් ගත් ඒවා. අසංගිගෙ ආත්තම්මා ගැන එයා ලියල තියන තරම් ලස්සන කවි මට ලියන්න බැරි වුණත් මගේ හැඟීමත් ඇගේ කවියේ හැඟීමත් එකම එකක් කියල මම හිතනව.
ඇයගේ කවි ඇතුලෙ මනුෂ්‍යත්වය දෝරෙ ගලනවා. ඇයට හදේ වෑහෙන තෙතමනය කඩදාසියට ගේන්න පුළුවන් හොඳ පෑනක් තියෙනවා.
මේ නත්තල් මාසෙ!
නත්තල ගැන ඇය ලියා තිබෙන කවිය කියවද්දි පපුව දනව.
“නත්තලේ සීතලට ඇස් තෙමෙන කතාවකි සැන්ට මෙහි ආවෙ පොඩි කාලේ එක වතාවකි කොට්ටේ යට තෑගි වල අකුරු හුරු ලතාවකි තාත්තගෙ දෑස් යට සැන්ටගෙම හිනාවකි”
“හැට්ට කටුවෙන් අමුණගත් සෙරෙප්පුව පයේ පාට දියවුණු කමිස කියයි තෙත ගැන ලයේ රතු තොප්පි ලොම් කබා පිනිමුවන් නැති රැයේ සැන්ටගෙ අතේ හංගාපු කරගැට තියේ”
ඇය තාත්ත කෙනෙක්ගේ ආදරය ගැන සම් ,මස් ,නහර, ඇටමිදුළු වෙනකම්ම දැනෙන්න ලියලා තියෙනවා.
“කහ ඉරක් ළඟ ඉරක් මල වග
අසා සඳ සිහිසුන්ව වැටුනා
ඉරුණු මළුවල අල ලූනු මැද
තරු වලට විස්කෝතු තිබුණා”
මේව කියවද්දි පපුව ගිනි ගන්නවා!
ඇගේ මේ කවිවල මනුෂ්‍යත්වයේ සාරය ඇගේ පවුලෙන්, සමීපතමයන්ගෙන් ඈතට පොදු සමාජය දක්වාත් විහිදෙනවා. ඒක බස් එකේ ටිකට් කඩන අමරට, හබරණ මාමාට, අරගලයේ සොයුරන්ට, ගෝතමීට ව්‍යාජයකින් තොරව විහිදෙනවා.
එමෙන්ම ඇගේ කවි තුළ සරල මනුෂ්‍යත්වයට එහා ගිය යුක්තිය පිළිබඳ වන තද හැඟීම ගේක මුදුන් ලීයක් වගේ තදින් කැපී පෙනෙන විදියට තිබෙනවා.
ඇගේ කවියක් තිබෙනවා “මං රැල්ල නිසා” කියල,
“නැව් ඔරු පාරු කුඩා බෝට්ටු
ඕන එකකට මග වෙන්න
හැබැයි තෙල්දිය මතට විසුලන
අසංවේදී උන්ට බැටදෙන්න”
ඇයට රළ වෙන්න ඕන වෙන්නෙ සමාජයේ විවිධ අයට මග වෙන්න, අත දෙන්න වගේම සමාජයට එරෙහි බලවේගයන්ට බැටදෙන්නත් ඇගේ කවිය යෝජනා කරනවා. මානව ප්‍රේමය ඇතුළේ ඇය පන්ති ප්‍රේමය ස්ථාපිත කරනවා බොහොම සියුම් විදියට.
ඇයගේ කවිවල මනුෂ්‍යත්වය, යුක්තිය පිළිබඳ හැඟීම වගේම සමාජ විමුක්තිය පිළිබඳ දැක්ම පැතිර තිබෙනවා.ඇය පොත් ලියන්නියක් පමණක් නොවී ඇය “සශෙන්කා” කෙනෙක් වීමේ තද හෘද සාක්ෂිමය ගින්නක් අවුලාගෙන ඇති වග ඇගෙ කවි ගණනාවකින් ම දැනෙනවා. ඇය පාවෙල් කෙනෙක් හොයනවා. ඒත් වැදගත්ම දේ සශෙන්කා කෙනෙක් වෙන එකයි.
ඇගේ ඒ සමහර කවි වල තවත් කවිත්වය, දැනෙන බව තවත් වැඩි වුනානං කියලත් මට හිතෙනවා.
ඇගේ මේ කවි අතර සාමාන්‍ය මනුෂ්‍යයා, තරුණියත් මතුවෙනවා. ජීවිතය පරත්රෝවාපණයට මුළුමනින්ම ලක්වෙච්ච එකක් නොවී තබාගන්න නම් හැම මනුස්සයෙක්ම පුද්ගල විමුක්තිය වගේම සමාජ විමුක්තිය වෙනුවෙනුත් එක විට කටයුතු කළ යුතු වෙනවා.
එතකොට තමයි පන්ති සමාජයෙන් හැම පුද්ගලයෙක්ටම උරුම කරන දෙබිඩි බව සැලකිය යුතු විදියට පරාජයට පත් කරන්න පුළුවන් වෙන්නේ. ඒක වෘථයක් නෙමෙයි. දැනුවත් තෝරා ගැනීමක්. ඇගේ මේ සමාජ පරමාර්ථ මුල් කරගත්තු කවි ඇතුළෙම සරල සාමාන්‍යය තරුණියත් අපට මුණ ගැහෙනවා.
“හිත ගාව නැවතිච්ච කුරුලු සර හන්දා
මේ තරම් සෙනෙහසක් දැනුනේ ඇයි මන්දා
ගී ගයන්නට ටිකක් අද පමා හන්දා
කවිකාර කුරුල්ලා නිවාඩු ද මන්දා”
ජීවිතයෙ “පතාගෙන ආව” ඒවා වගේම “ටක් ගාලා ස්පාක් වෙන” සම්බන්ධතාත් තිබෙනවා. ඒ ඔක්කොම ජීවිතයට අදාලයි.
මම හිතන්නේ අසංගි ආදරය කරන “සශෙන්කත්” එහෙම කෙනෙක්!
එක්තරා විදියකට කවි, කවියාගේ ආත්ම ප්‍රකාශනයක් වගේ. මෙගා ටෙලි නාට්‍ය වගේ චැනල් එකට ඕන විදිහට ලියපු පිටපතක් නොවන නිසා මේ කවි ඇගේ හෘද සාක්ෂියට වඩාත් කිට්ටු ඒවා වීමට ඇති ඉඩ වැඩියි.
“මං කැමති හැප්පෙන්න, විසිරෙන්න
විසිරෙමින් පෙන පිඬු නංවන්න
ඉරෙන් වුනත් ගේම ඉල්ලමින්
හැකි තරම් අහසට ඉස්සෙන්න
………….
ඇත්තටම පෙම්වත මම කැමති
නිදහස ඇතුලෙ දියවෙන්න
ඉදහිටක සුනාමි ආවත්
එයින් පසු ආයෙත් මෘදුවෙන්න
සඳ රැසින් මුදු කිරණ ඉරාගෙන
මතුපිට රටාවක් ඇඳගන්න
මාලුන්ට සහ කොරල් මිතුරන්ට
සඳ දියේ ලස්සන පහදන්න
නැව්ඔරු පාරු කුඩා බෝට්ටු
ඕන එකකට මග වෙන්න
හැබැයි තෙල්දිය මතට විසුලන
අසංවේදී උන්ට බැටදෙන්න
මහා දිය කඳක සිදු පතුලේ
නව රුවන් තිබේනම් සඟවන්න
මං කැමති ඒවා ගොඩගන්න
ගොඩ යන උන්ට ඉඩ දෙන්න
……..
ඉතින් ඔබට තිබුණෙම
අත්සනට කලින් ඒ ගැන තේරුම් ගන්න”
ඇගේ කවි ගණනාවකම නිදහස්, විමුක්තිකාමී (පුද්ගලික සහ සමාජමය) ගැහැණිය ඉතා සියුම්වත්, ගැඹුරෙනුත්, ස්ථාවරවත් මතු වෙනවා.
උඩින් තියෙන කවිය ඒවගේ එකක්.
“නෑසියොත් සපිරිවර
සියුම් තටු පිරිමදින
සෙනෙහසේ වරපටින්
එපා මා බැඳලන්න
පියාපත් විදා නිල’ඹර
තුටින් ඉගිලෙන්න
නිදහසේ මාවතට
මිටින් මා හැරලන්න “
ඇයගේ කවි සමාජයෙන් එන පීඩනය පමණක් නොව පවුලට තමාව ඇද බැඳ තබන සෙනෙහස පවා ගැහැණියකට තම පුද්ගලික සහ සමාජමය නිදහස අහිමි කරන ආකාරය ගැන ලියා තිබෙනවා. සාමාන්‍යයෙන් පීඩනයට එරෙහි අරගලයට වඩා “සෙනෙහසේ බලපෑම ” ඉක්මවීම මනෝ විද්‍යාත්මකව විශ්ලේෂණය කලොත් එය පීඩනය ඉක්මවීමට වඩා දුෂ්කර බව වැටහෙනවා. ඒක දැනුවත්ව කරන අභිනිෂ්ක්‍රමණයක් වගේ!
මගේ මේ සටහන අවසන් කරන්න මම හිතුවේ කවි පොතේ තිබෙන අරුත්බර රසබර කවි අතර මට දැනුණු විශේෂම කවියකින්.
ඒ කණදරාවේ කඳුළ නමින් යුත් මහා කනදරා වැව් තුරුලේ ජීවත් වූ අන්ධයා නම් ඇතා ඝාතනය කිරීම නිමිති කරගෙන ලද කවිය යි.
“ඉපල් තුරු අත් දරන්නී
නෙත් පියාගෙන හිඳින්නී
කඳුළු දියවර මුදන්නී
වැව් ලැමැද කිරි පුරන්නී
දුක ලකල් මත හොයන්නී
සිය පතට පණ පොවන්නී
කනදරා මව් හඬන්නී
කෝ මගේ පුත් අසන්නී
බඳේ සලකුණු දකින්නී
පා ලකුණු දැක සිඹින්නී
රැල් නගා ගෙන හැපෙන්නී
අද පුතා කෝ සොයන්නී
අනේ ඒ වැව් හිඟන්නී
මව් කමට ලය දවන්නී
පුතා නැසූ වග නොදන්නී
බතට දියවර ඉසින්නී
මලුත් සහලුත් පුදන්නී
ගතත් සනහා දොවන්නී
පුතු නැසූ අය නොදන්නී
උන්ට සෙනෙහස පුදන්නී”
දිවි මඟ තුළ ඇයට සාශෙන්කාත්,
මොනිකා රුවන් පතිරණත් හමුවේවා!